අඩු මහන්සියෙන්  මුදල් සොයන්න ගිය  ‘රූම් බෝයි’ කූඩු

1317

උණවටුන සංචාරක හෝටලයක නතරව සිටි විදේශීය සංචාරක යුවළකගේ ඩොලර් 2000ක් සහ රුපියල් 40,000ක් සොරකම් කරන ලද හෝටලයේ කාමර සේවකයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

ඉකුත් 25වනදින තම දරු දෙදෙනාද සමග රුසියානු ජාතික යුවළක් මෙම හෝටලයට පැමිණ නවාතැන් ගෙන ඇති අතර 29වනදින උදේ කාමරය වසා මුහුද වෙරළට ගොස් ඇත. පසුව දහවල් ඔවුන් කාමරයට පැමිණ බැලීමේදී මුදල් පසුම්බිය අල්මාරියේ වෙනත් තැනක තිබීම නිසා පරීක්ෂා කර බැලීමේදී එහි තිබූ ඩොලර් සහ මෙරට මුදල් කිසිවකු විසින් සොරකම් කර ඇති බව දැනගෙන හෝටල් කළමනාකාරිත්වයද දැනුවත් කොට පොලිසියට පැමිණිලි කර ඇත.

පසුව පොලිස් නිලධාරින් පැමිණ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂාකර කර බලා 27 හැවිරිදි සැකකාර කාමර සේවකයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු විසින් සොරකම් කරගෙන ගොස් උඩු මහලේ වතුර ටැංකියක් යට සඟවා තිබූ මුදල් සොයාගෙන තිබේ.

හබරාදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක විමල් මහතා ඇතුලූ නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අහංගම – සුගතපාල දියගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment