හරක් කටාට පැන යෑමට සහාය දුන් සීඅයිඩීයේ තවත් කොස්තාපල්වරයකු අල්ලයි

181

දොළපිදේනි ගත් තවත් පිරිසක් දෙස ටීඅයිඩී ඇස

ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමට පාතාල කල්ලි නායක හරක්කටා සිදුකළ උත්සාහයට ආධාර කළ බව කියන එම දෙපාර්තමේන්තුවේ තවත් කොස්තාපල්වරයකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් පෙරේදා (30දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කොස්තාපල්වරයාටද හරක්කටා විසින් ලක්ෂ ගණනක මුදල් සහ වටිනා දේපළ ලබා දී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. හරක් කටාගේ පළායෑමේ උත්සාහයට සහාය දීමේ චෝදනාවට ලක්ව මේ වන විට අතුරුදන්ව සිටන කොස්තාපල්වරයාගේ සමීප මිතුරකු වන මෙම කොස්තාපල්වරයා රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කර ගෙන යයි. අතුරුදන්ව ඇති කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යන අවස්ථාවේ රැගෙන ගොස් ඇත්තේ පෙරේදා අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනය බව විමර්ශනවලින් හෙළි වී ඇත. අතුරුදන්ව සිටින කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔවුන් රැගෙන යෑමට පැමිණ සිටි පාතාල සාමාජිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ එම ජංගම දුරකථනයෙන් බව ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා රාජකාරි කර ඇත්තේ ද හරක් කටා රඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ බව ද පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින හරක් කටාට විවිධ අයුරින් උපකාර කර ඇති එම කොස්තාපල්වරයා ඔහුට ආහාරපාන ලබාදීම ජංගම දුරකථන ලබා දීම ඇතුළු අනිකුත් අවශ්‍යතාවන් සඳහා සියලු උපකාර සිදුකර ඇති බවද අනාවරණය වී ඇත. එමෙන්ම හරක් කටා ට උපකාර කරමින් ඔහුගෙන් විවිධ වරප්‍රසාද ලබාගත් තවත් නිලධාරීන් කීපදෙනකු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පවත්වාගෙන යන බව ත්‍රස්ත විමර්ශන ඒකකය පවසයි.
නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment