පළාත් 3ක – දිස්ත්‍රික්ක 3ක අයහපත් කාලගුණයෙන් 5051ක් පීඩාවට

101

● ගිං – කළු – නිල්වලා සහ අත්තනගලු ඔය පිටාර ගලයි
● අවට පහත්බිම් ජලයෙන් යටවෙයි
● දිස්ත්‍රික්ක 8 ක් නාය අවදානමේ

පළාත් තුනක දිස්ත්‍රික්ක තුනකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 1275 ක පුද්ගලයන් 5051 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (01 දා) පැවසීය.

පීඩාවට පත්ව ඇත්තේ බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වල රත්නපුර, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවල පදිංචි ජනතාව වෙති. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 316 කට අර්ධ හානි සිදු වී කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳසල් 04 කට බලපෑම් සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

බස්නාහිර, සබරගමුව හා දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පවතින වර්ෂාවත් සමඟ ගිං, නිල්වලා, කළු යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා එම ගංගා සහ අත්තනගලු ඔය අවට පහත්බිම් කීපයක් ජලයෙන් යටවී ඇතැයි වාර්තාවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීස්වර (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) මහතා පැවසීය. මෙම ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිත මාර්ග රැසක් ද ජලයෙන් යටව පවතින නිසා රිය පදවන්නන් ඉතාමත් කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, තිහගොඩ යන ප්‍රදේශ ද ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් නාගොඩ, උඩුගම, බද්දේගම ඇතුළු ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කීපයක් ද, කළුඟග පිටාර ගැලීම නිසා බුලත්සිංහල, පාලින්දනුවර, දොඩන්ගස්ලන්ද ඇතුළු ප්‍රදේශ කිහිපයක් ද අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් වත්තල, ජාඇල, ගම්පහ ප්‍රදේශ කිහිපයක පහත්බිම් යට වී ඇති බවට වාර්තා වී ඇති බව ද ඒ මහතා කීය.

වර්ෂාව අඩුවීමත් සමඟ ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම පහළ යනු ඇති බවත්, ජලය පිරී ඇති ගංගා, ඇළදොළවල පිහිනීම, දියනෑම, ඔරු පැදීමට යෑම ඉතා අවදානම් බවත් සුගීෂ්වර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ද රත්නපුර, මාතර, කෑගල්ල, මහනුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රා. ලේකම් කොට්ඨාස 30 කට නාය යෑම් අවදානම පවතින බව ප්‍රකාශ කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment