මෙරට ප්‍රථම ප්‍රජා විශෝධන වැඩසටහන ආරම්භ කළේ පාතකඩ සර්වෝදයේ…

අපරාධකරුවන් විසිපහක්, තිහක් එක තැනක රඳවාගෙන බලාගෙන තියෙන්නෙ බෝධානන්ද හාමුදුරුවෝ…

අසූව දශකය වෙනකොට මෙරට විශාලතම මැණික් කොල්ලය සිදු කරපු ගනේගම වික්‍රම හතර පෝයට සිල් සමාදන් වෙන තැනට පත් වුණා…

නම ගිය දාමරිකයන් විදිහට ආයතනගත වෙච්ච පුද්ගලයන් අදටත් සමාජයේ යහපත් කල්කිරියාවෙන් ජීවත් වෙනවා…

සර්වෝදය විශෝධන මධ්‍යස්ථානයේ දී බෝධානන්ද හාමුදුරුවෝ නඩුත් අහලා…

මිනිසාගේ පැවැත්ම අනතුරට ලක් කිරීම හෝ ඔහු වනසා දැමීම සමාජ අපරාධයකි. සියදිවි නසාගැනීමේ සිට අකල් මරණ ගෙන එන වාහන අනතුරු මෙන්ම, ගබ්සා, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, පුද්ගලික ඝාතන, දේශපාලන ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය ආදී වශයෙන් විවිධකාර අපරාධ වේ. එමෙන්ම සංවිධානාත්මක අපරාධ සහ පෞද්ගලික මට්ටමෙන් පුද්ගලයන් අතර සිදුවන අපරාධ වශයෙන් දෙවර්ගයකි. පුද්ගලයන් අතර සිදුවන අපරාධ පොලිසිය හෝ නීතිය ක්‍රියාත්මක කරන වෙනත් ආයතනයක් මැදිහත් වී වළක්වාගත නොහැකිය. එම අපරාධ වැළැක්වීමට වැරැදිකරුවන් පසුපස පොලිස් රාලහාමිලා තැබීමට ද නොහැකිය. විය යුත්තේ සමාජයේ සාරධර්ම හා යහපත් ගුණාංග වර්ධනය කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමය. පාසල්, ආගමික ස්ථාන ඇත්තේ එම කාර්යය ඉෂ්ට කිරීම සඳහා ය. එහෙත් මෙරට පාසල් පද්ධතිය තුළින් ආගමික සිද්ධස්ථානවලින් එම කාර්ය සිද්ධ නොවෙන බව අපගේ හැඟීමය. එවැනි පසුබිමක ආගමික ගුණ වගාව තුළින් අපරාධකරුවන් සුමගට යොමු කරන යතිවරයෙක් අපට හමු විය. ඒ මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්, මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝය. තරුණ භික්‍ෂූන් වහන්සේනමක් ලෙස දරුණු ගනයේ අපරාධකරුවන් විශෝධනය කරමින් යහමඟට ගත් අරුම, පුදුම කතාවක් උන්වහන්සේ අපට කීහ. මේ පෙළගැසෙනුයේ ඒ කතාවය.

පාතාලයත් - මත්ලෝලීන් මෙල්ල කළ දශක හතරක ගමන
මිතුරු මිතුරෝ ආරම්භක සෙවණේ සිට බෝධානන්ද හාමුදුරුවෝ දන් වළදමින්

‘මගේ ගම කුප්පියාවත්ත. මම ගිහිගෙයි ඉන්න කාලේ හැමදාම උදේට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් මාලිගාකන්ද උසාවියට අරගෙන යනවා දැක්කා. ඒ කාලේ අද වගේ රැඳවියන් අරගෙන යන්න බස් තිබුණේ නෑ. එක දම්වැලේ දහයක්, පහළොවක් මාංචු දාලා අමානුෂික විදිහට තමයි අරගෙන ගියේ. මම පුංචි කාලෙත් ඒ ක්‍රියාව අමානුෂිකයි කියලා අදාළ අංශවලට ලිපි යොමු කළා. තාරුණ්‍යයට එබිකම් කරනවිට මට ජීවිතය සම්බන්ධයෙන් ලොකු කලකිරීමක් දැනෙන්න පටන් ගත්තා. උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල එන්න ඉස්සර වෙලා ශාසනයට ඇතුළත් වුණා. මාව ශාසනයට ඇතුළත් කරගත්තෙ කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටි කහටපිටියේ සුමතිපාල නායක හාමුදුරුවෝ. ඊට ටික කාලයකට පස්සේ පැල්මඩුල්ල, පාතකඩ සර්වෝදයේ භික්‍ෂු පුහුණු ආයතනයේ ප්‍රජා නායකත්ව භික්‍ෂූ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට සම්බන්ධ වුණා. පාඨමාලාව අවසාන වුණාට පස්සෙ එම ආයතනයේ නායක හිමි හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවෝ මාව සර්වෝදය කර්යමණ්ඩලයට සම්බන්ධ කරගත්තා. ඒ ආයතනයේ සේවය කරගෙන යනකොට සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් කළා. ඒ තුළින් ප්‍රදේශයේ තරුණ, තරුණියන් අපිත් එක්ක එකතු වුණා. 1983 කළු ජූලිය අවස්ථාවේදී ගම්මානවල දෙමළ මිනිස්සුන්ට පහරදීලා එළුවො, කුකුළුන්, මුදල්, කනකර හොරකම් කරනකොට පැල්මඩුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ගම්මානවල වතු නිවාස ආරක්‍ෂා කරන්න සිංහල තරුණයන් එකතු කරලා කණ්ඩායම් හදලා ගම්මාන ආරක්‍ෂා කරන වැපිළිවෙළක් මම හඳුන්වා දුන්නා. ඒ වැඩසටහන සාර්ථක කරගන්න රත්නපුර මහා දිසාපති, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පැල්මඩුල්ල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ගොඩක් උදව් උපකාර කළා. එතකොට මේ රටේ ග්‍රාම ආරක්‍ෂක සේවය හඳුන්වාදීලවත් නෑ. එම වැඩසටහනත් එක්ක සබරගමුව පළාතේම මම ප්‍රසිද්ධියට පත් වුණා. එවකට මට තිබුණු පිළිගැනීමත් එක්ක 1984 අවුරුද්දෙ බන්ධනාගාරගත වන අපරාධකරුවන් විශෝධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න අධිකරණ අමාත්‍යාංශයට මම යෝජනා කළා…”

කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීමට අවධානය යොමු කරමින් අපරාධකරුවන් විශෝධනය කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අවසර ලබා දී ඇත්තේ එවකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ව කටයුතු කළ ආචාර්ය රංජිත් අමරසිංහ මහතාය. එම විශෝධන මධ්‍යස්ථානයට අපරාධකරුවන් යොමු කර ඇත්තේ අධිකරණය මගිනි. එහි බහුලව විශෝධනය වී ඇත්තේ පැල්මඩුල්ල, රක්වාන, බළංගොඩ, රත්නපුරය, ඇඹිලිපිටිය සහ ඒ අවට ප්‍රදේශවල අපරාධකරුවන්ය. වරදෙ ස්වභාවය අනුව නියම කරන කාලවකාවනුවලට අදාළව මාස තුන, හය සහ අවුරුද්දක අධිකරණ නියෝග මත වැරැදිකරුවන් වරින්, වර එම ආයතනයේ විශෝධනය වී ඇත. ඒ අතර නම ගිය අපරාධකරුවන් ලෙස කුරුගම්මෝදර ගාමිණී ප්‍රසිද්ධය. මිනී මැරුම් චෝදනා ඇතුළුව සම්පූර්ණ චෝදනා අනූ නවයක් පමණ ඔහුගේ නම ඉදිරියේ අධිකරණ පොතේ සටහන් වී ඇත. කුඩා කාලයේ සිට නිවසින් පැන ගොස් හොරු රැළක් සමග උස් මහත් වී සිටින කුරුගම්මෝදර ගාමිණී එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයකුගේ මුහුණ කපා මහා දාමරික ක්‍රියාවල නිරත වූ කෙනෙකි. ඇල්ලරාවේ අබේකෝන් ද ප්‍රසිද්ධ දාමරිකයෙකි. ඔහුට එරෙහිව චෝදනා එකසිය ගාණක් අධිකරණ පොතේ සටහන් වී ඇත. අත්හිට වූ සිරඳඬුවම ඔහුගේ ජීවිත කාලයටත් වැඩිය. 1980 දශකය වනවිට සබරගමුව පළාතේ විශාලතම මැණික් මංකොල්ලය සිදු කර අහසට වෙඩි තබා පැන ගිය ගනේගම වික්‍රම ද කාලයක් සිරගත වී සිට අවසානයේ අධිකරණය විසින් සර්වෝදය විශෝධන මධ්‍යස්ථානයට යොමු කර තිබිණි. පානදුරේ දීපාල් කුරේ ඇතුළුව එවකට නම ගිය අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් පාතකඩ සර්වෝදය ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයේ විශෝධනය වී තිබේ. එමෙන්ම වසර දෙකක් තුළ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 609 ක් විශෝධනය කර තිබිණි.

“අධිකරණ නියෝගවලට අනුව වැරැදිකරුවන් 30, 40 එක පාර අපේ ආයතනයට අරගෙන එනවා. දම්වැල් දාගෙන බන්ධනාගාර නිලධාරීන්ම ගෙනත් භාර දෙනවා. රැඳවියන්ගේ ආහාරපාන අවශ්‍යතා අධිකරණයෙන් සම්පූර්ණ කළා. අපේ ආයතනයෙන් වෙන සේවය දැකලා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් කෑම, බීම ගෙනත් දුන්න අවස්ථා තිබුණා. විශෝධන මධ්‍යස්ථානය ආරම්භ කරපු කාලෙ ඉඳලා සෑම දිනකම පුද්ගලයන් විසිපහක්, තිහක් විශෝධනය වුණා. ඒ සියලුදෙනාව පාලනය කරන්න හිටියෙ මම විතරයි. බන්ධනාගාර නිලධාරීන් ගෙනත් භාරදෙනකොට සමහර අපරාධකරයෝ ආයතනය ඇතුළට ආවේ සද්ද දාගෙන.

ගානේගම වික්‍රම විනාඩි හතළිස් පහක් විතර මට සද්දෙ දැම්මා. මම අවුරුදු පහළොවක් හිරේ ඉඳලා ආපු කෙනෙක්. හිරේ ඉඳලත් හැදිච්චෙ නැති අපිව ඔබවහන්සේට හදන්න පුළුවන්ද? කියලා ඇඟිල්ල දික් කරගෙන මට කෑගැහුවා. මිනිහට කෑගහන්න දීලා නිශ්ශබ්ද වුණාට පස්සෙ පුටුවක වාඩි කරවලා ආයතනයේ ස්වභාවය තේරුම් කළා. අවසානයේ වික්‍රම හතර පෝයට සිල් සමාදන් වෙන තරමට දුසිරිතෙන් ඈත් වුණා. මාස ගාණක් අපේ ආයතනයේ ඉඳලා ගිහිල්ලත් මැරෙනකම් කිසිම වැරැද්දකට යොමු වෙලා තිබුණේ නෑ. එයාට දරුවො හත්දෙනෙක් හිටියා. ඒ ළමයි සියලුදෙනා හොඳට හැදිලා මේ වෙනකොට සමාජයේ යහපත්, දියුණු පුරවැසියන් විදිහට කටයුතු කරනවා. එක පුතෙක් මේ රටේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් විදිහට ප්‍රසිද්ධයි…”

“ඒ වගේම විශෝධන වෙච්ච කිසිම පුද්ගලයෙක් ආයතනය තුළ දී ගැටුම් ඇති කරගෙන නෑ. ඒකට හේතුව පාන්දර 5ට බුද්ධ වන්දනාවෙන් දවස ආරම්භ කරලා රාත්‍රියේ නින්දට යන තෙක් කාලසටහනකට අනුව විවිධ වැඩසටහන්වලට යොමු කිරීම. එතකොට ඔවුන්ට කල්ලි ගැහෙන්න, නිදැල්ලෙ හැසිරෙන්න කාලයක් ලැබුණේ නෑ. රෑටත් බුදුන් වැඳලා, සින්දුවක් කියලා විනෝද වෙලා නින්දට ගියා. ආයතනගත දින චර්යාව වුණේ ඒක තමයි. එවැනි දැහැමි පරිසරයක ඉඳලා අධිකරණය විසින් සමාජගත කළාට පස්සෙ නැවත ඒ පුද්ගලයන්ගේ නම් පොලිස් පොතේ ලියැවිලා තිබුණේ නෑ. අපේ ආයතනයේ විශෝධනය වෙච්ච තුන්හතර දෙනෙක්ව සර්වෝදය ආයතනයේම රැකියා කටයුතුවලට සම්බන්ධ කරගත්තා. තව පිරිසක් රාජ්‍ය, පෞද්ගලික ආයතනවල රැකියාවලට සම්බන්ධ වෙලා මේ වෙනකොට ඉහළ තනතුරුවලට පත් වෙලා ඉන්නවා. රටේ ම නම ගිය දැවැන්ත ව්‍යාපාරිකයන් ඉන්නවා. සමහර අය අදටත් මාසයකට, දෙකකට සැරයක් ඇවිත් මාව බලල යනවා. සමහර පුද්ගලයන්ව 1987, 89 කාලේ නොමග ගිය දේශපාලන පක්‍ෂයකින් ඝාතනය කළා. කුරුගම්මෝදර ගාමිණීවත් මරා දාලා තිබුණා…”

“ඒ වගේම අපේ ප්‍රජා විශෝධන වැඩසටහන විවේචනය කරලා ඒ කාලෙ පත්තරවල කාටුන් පළ කළ අවස්ථා එමටයි. ඒත් මඩ කාටුන්වලට අපි සැලුණේ නෑ. අපේ වැඩේ කරගෙන ගියා. ඒ කාලය වෙනකොට ලංකාවේ සමථ මණ්ඩලත් නෑ. ප්‍රජා විශෝධන වැඩසටහන සාර්ථකව කරගෙන යනකොට සුළු සිද්ධිවලට පැල්මඩුල්ල අධිකරණයට එන දෙපාර්ශ්වයම රෝහිණී පෙරේරා මහෙස්ත්‍රාත්තුමිය විසින් අපේ විශෝධන මධ්‍යස්ථානයට යොමු කළා. ඒ නඩු විභාග කරන්න වුණේ මටයි. දෙපාර්ශ්වයට ම ඇහුම්කන් දීලා අවසානයේ කරුණු පැහැදිලි කරලා අධිකරණයට නිර්දේශ කරනවා. අධිකරණයෙන් නැවත ඒ නඩු විභාග කරලා තීන්දුවක් ලබාදෙනවා…” කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ මොහොතකට නිහඬ වූහ.

සර්වෝදය විශෝධන මධ්‍යස්ථානය ආරම්භ කර වසර දෙකකට පසු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එකතුව එම ආයතනයේ විශෝධනය වී සමාජගත වූ පුද්ගලයන් ගැන සමීක්‍ෂණයක් සිදු කර තිබිණි. එම සමීක්‍ෂණයේ දී ලැබී ඇති තොරතුරු මත විශෝධනය වූ හයසිය නවදෙනෙකුගෙන් නැවත වැරැදි ක්‍රියාවලට යොමු වී ඇත්තේ පුද්ගලයන් 9 ක් පමණි. අපරාධකරුවන් විශෝධනය කරන වැඩසටහනේ සාර්ථකත්වය ගැන අවධානය යොමු කළ අන්තර්යාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ එවකට සිටි සභාපති, හිටපු බන්ධනාගාර කොමසාරිස් සී. ටී. ජෑන්ස් මහතා විසින් මත්ලෝලී දරුවන්ට ප්‍රජා ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙසට කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම සිදු කර ඇති 1987 වර්ෂය වනවිට මෙරට ප්‍රජා විශෝධන වැඩසටහන් කිසිවක් නොතිබිණි. එම ඉල්ලීමට අවධානය යොමු කළ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ මත්ලෝලීන් සඳහා ප්‍රජා විශෝධන වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කළහ. ගලා බසිනා දිය පහරක් සහිත කඳු මුදුනක විශෝධන මධ්‍යස්ථානය ආරම්භ කිරීමට උන්වහන්සේ සිහින දකිමින් සිටීහ. අවසානයේ උන්වහන්සේගේ සිහිනය සැබෑ කරමින් පෙර කිසිදු දිනෙක පය නොතැබූ රිල්හේන කඳු මුදුනේ අති සුන්දර පරිසරයක අක්කර දහයක් ලබාදීමට එවකට ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිව සිටි රන්ජන් විජේරත්න මහතා කටයුතු කර තිබිණි.

“මේ ඉඩම නොදී ඉන්න ප්‍රදේශයේ දේශපාලනඥයෙක් නොසෑහෙන්න වලි කෑවා. ඒත් අරමුණ යහපත් නිසා මම ඉල්ලපු අක්කර හතාමාරට රන්ජන් විජේරත්න මහත්තයා ඉඩම් අක්කර දහයක්ම දුන්නා. ඒත් කන්ද පහළ පදිංචි මිනිස්සු ගැන හිතල මම ගත්තෙ අක්කර හතයි. 1987 ජූලි 21 වැනිදා මේ ඉඩමට ඇවිත් වස් සමාදන් වුණේ ටකරන් කොළ කිහිපයක් යට බූරුඇඳක් තබාගෙන. ඊට පස්සෙ මැටියෙන් පුංචි කුටියක් හදාගෙන බණ, භාවනා කටයුතු කරගෙන වැඩ හිටියා. ජේ.වී.පී කලබල උග්‍රව පැවැති ඒ කාලේ පොලිසියේ ඔත්තු කාරයෙක් කියලා ජේ.වී.ප.ී එකෙන් ඇවිත් මගේ පපුවට තුවක්කුව තියලා මේ ඉඩමෙන් ඉවත් වෙන්න කියලා තර්ජන කළා. මම ජේ.වී.පී. පන්ති පවත්වනවා කියලා සැක කරලා පොලිස් නිලධාරීන් ඇවිත් හොර අල්ලන්න කැලේ හැංගිලා ඉඳලා තියෙනවා. අන්තිමේ පොලිසි යයි, ජේ.වී.පී ඒකයි දෙපාර්ශ්වයම මම කවුද කියලා තේරුම් අරගෙන මට පාඩුවේ ඉන්න දුන්නා. ඊට පස්සෙ ටිකෙන්, ටික මේ ගමත් දියුණු කරගෙන මේ ස්ථානය දියුණු කළා. මේ ගොඩනැඟිල්ල හදන්න මුල් කාලයේදී ගල්, වැලි, සිමෙන්ති ඇද්දෙ කරෙන්. එතකොට පාරවල් නෑ. වැසිකිළි ගියේ කැලේට. අන්තිමේ මේ ගමේ ම පවුල්වලට වැසිකිළි ලබා දුන්නෙ මමයි. ගමේ මිනිස්සු පදිංචි ඉඩම්වලට ඔප්පු අරගෙන දුන්නෙ මමයි. විදුලිය, වතුර, දුරකථන සියලුම පහසුකම් ලබා දුන්නෙ මමයි. අද මේ ගම අංගසම්පූර්ණ ගමක්. දැන් අපේ ආයතනයට ම කාපට් පාර තියෙනවා. ඒ වගේම අපේ ආයතනය මේ වෙනකොට මෙරට තිබෙන විශාලතම, අංගසම්පූර්ණ මත්ද්‍රව්‍ය විශෝධන ආයතනය…”

පාතාලයත් - මත්ලෝලීන් මෙල්ල කළ දශක හතරක ගමන
මිතුරු මිතුරෝ ආරාමයේ ආරම්භක කුටිය

මේ වෙනකොට මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීය සම්මාන විසිඅටක් මට ලැබිලා තියෙනවා. මම ඉගෙන ගත්ත කොළඹ නාලන්දා විදුහල විසින් පුද්ගලයකුට එක වතාවක් පමණක් ලබාදෙන සම්මානය මට පිරිනැමුවා. සර්වෝදය ආයතනය විසින් ජාතික වශයෙන් ඇගයීමට ලක් කරලා පුද්ගලයෙක්ට එක වතාවක් පමණක් ලබාදෙන සම්මානය මම දිනාගත්තා. මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා සිදු කරන ලද අද්විතීය සමාජ මෙහෙවර අගයමින් ලෝක රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව විසින් මට සම්මානයක් පිරිනමලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය විසින් තරුණ නායකත්වය සඳහා පිරිනමන සම්මානය මට ලැබුණා. ජාත්‍යන්තර ලෝක සමුළුවෙන් සම්මානයක් පිරිනැමුවා. ශ්‍රී ලංකා රජයෙන් පිරිනමන හොඳම සේවා සපයන ආයතනයට හිමි සම්මානය පිට, පිට සිව් වතාවක් මට හිමි වුණා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මම කරගෙන යන මෙහෙවර අගයමින් ලැබෙන ඕනෑම ඇගයීමක් ඉතාම නිහතමානීව පිළිගන්නවා. ඒ වගේම මම මේ සමාජ සද්කාරය කරගෙන ආවේ විවිධ බාධක මැද. මේ වන තෙක් කිසිම රජයකින් අනුග්‍රහයක් ලැබිලා නෑ. ඒත් අපි පසු බැහැලා නෑ. පසුබහින්නෙත් නෑ. දවසින්, දවස මිතුරු, මිතුරෝ ආයතන ජාලය දියුණු කරමින් ඉදිරියට ම ගමන් කරනවා. මේ වෙනකොට මත්ද්‍රව්‍ය විශෝධන ක්‍රියාවලියෙන් ඔබ්බට ගිහින් මිතුරු මිතුරෝ මානව ඇගැයුම් සංවර්ධන අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයක් බවට සංවර්ධනය කරලා තියෙනවා. ජාතික සමාජ සේවා විද්‍යා ආයතනය සමග සම්බන්ධ වී අපේ දරුවන්ව විවිධ පාඨමාලාවලට යොමු කරනවා. මේ වෙනකොට ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළුව විශ්වවිද්‍යාල කිහිපයක අපේ දරුවො උපාධි පාඨමාලා හදාරමින් ඉන්නවා.

දැන් මිතුරු මිතුරෝ ආයතනය තක්ෂලාවක්. ඒ පාසලෙන් අධ්‍යාපනය ලබාගෙන යහපත් ගමනක් ගිය දරුවො ලෝකය පුරා රටවල විවිධ වෘත්තීන්වල නිරත වෙමින් ජීවිත ගොඩනඟාගෙන තියෙනවා…” දිගු සුසුමක් පිට කර හද සැහැල්ලු කරගත් උන්වහන්සේ මීදුම බේරෙන ඈත කඳු යාය දෙසට දෑස් යොමු කළහ. සතර දෙසින් කඳු යායකින් වට වූ පැල්මඩුල්ල රිල්හේන කඳුමුදුනේ අසිරිය දෑසින් විඳගත යුතුය. ඒ අසිරිය වචන කිරීමට මේ පත්ඉරුව මදිය.

එවැනි අති සුන්දර රිල්හේන කඳුමුදුනේ ටකරන් මඩුවකින් ආරම්භ කළ ‘මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානය’ මේ වනවිට රට පුරා අතු, රිකිලි පැතිරී ගොස් මහා රුක්ෂයක් බවට පත් වී ඇත්තේ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ අධිෂ්ඨානශීලී බලයෙනි. සමාජයට බණ දහම් දේශනා කරමින් දහම් දීපයක් නිර්මාණය කිරීමේ ශාසනික මෙහෙවරෙන් ඔබ්බට ගොස් මත් රකුසාට බිලී වී සිටින මෙරට තරුණ පරපුර නිදහස් කරගැනීමට දිවි පරදුවට තබා කරන කැපකිරීමේ ශක්තියෙනි. එහෙයින් මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ කරගෙන යන වැඩපිළිවෙළ ජාතියේ ඇගයීමට ලක්විය යුතු මානුෂීය සත්කාරයකි. එහෙත් උන්වහන්සේට රජයෙන් ලැබෙන අනුග්‍රහය අතිශය අල්ප ය. උන්වහන්සේගේ සමාජ සද්කාරයට ලෝකයෙන් සහ මෙරට සමාජයෙන් ලැබෙන කීර්ති ප්‍රශංසා අති විශාලය. ඒ ඇගයීම උන්වහන්සේව තව, තවත් ශක්තිමත් කරන බව සැබෑය.

එමෙන්ම මේ මස 26 වැනිදා එනම් අද දින ජීවිතයේ 67 වැනි ජන්ම දිනය සමරන උන්වහන්සේ පැමිණි කටුක ගමන ගැන සටහන් තබමින් අපේ මේ වෑයම ද මතින් රට මුදාගැනීමට උන්වහන්සේ කරගෙන යන මානුෂීය මෙහෙයුමට ශක්තියක් වීමය. නැවත වරක් උන්වහන්සේට ශක්තිය, ධෛර්ය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි සමුගත්තෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment