කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් කළුතරට ගංවතුර තත්ත්වයක්

266

පහත්බිම් යට වෙයි:
ගමන් බිමන් ඔරු පාරුවලින්

පසුගිය දින කිහිපයේම සිංහරාජ කලාපයට සහ කුකුළේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට අධික වැසි පතිත වීම නිසා කුකුළේ ජලාශයේ පිටකරන ජලධාරිතාව තප්පරයට ඝන මීටර් 190 දක්වා වැඩිකර ඇති බැවින් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් මේ නිසා මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බවත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා පවසයි.

මේ හේතුවෙන් බුලත්සිංහල – මෝල්කාව මාර්ගයේ පරගොඩ, දඹල්ල, නාලියද්දල, ඇටඹගහ හන්දිය යන ස්ථාන මෙන්ම පහත්බිම් රැසක් මේවන විටත් ගංවතුරෙන් යටව පවතින අතර මෙම තත්ත්වය නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත. කුකුළු ගඟ, මගුරු ගඟ, පැලැන් ගඟ සහ යටගම්පිටිය ආදී ගංගා සියල්ලම පිටාර මට්ටමට පත්ව ඇති අතර ඒ ආශ්‍රිතව ගලහිටිය, මෝල්කාව, කපුගෙදර, පරගොඩ, දෙහිපිටිය, බොරලැස්ස, දඹල, මොරවක, ඉහළ වෙල්ගම ආදී ප්‍රදේශවල ජනතාව ගමනාගමන කටයුතු පවත්වාගෙන යන්නේ ඔරු පාරු සේවාව මගිනි.

එයට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලල්ලාවිට – අවිත්තාව මාර්ගයේ කියලකන්ද ප්‍රදේශයද, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලක්පඳුර – ඉලුක්පොත මාර්ගයේ දකුඹුරද, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලත්සිංහල කිතුල්ගලවිල – ගල්ලනමුල්ල මාර්ගයේ පරෙයිදොල ප්‍රදේශයද බුලත්සිංහල – ඉහළ වෙල්ගම මාර්ගයේ කල්ලුමලේ මාර්ගයද, පාරුතල්විල – හීන්පන්දල හරහා මොරවක වත්ත මාර්ගයේ දෙහිපිටිය ප්‍රදේශයද, පරගොඩ මොරවක්වත්ත මාර්ගයේ කළුවල වෙල්යාය අසලද සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇතිවී තිබේ.

එයට අමතරව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලමැදිරිය මිල්ලනිය මාර්ගයේ කැපූඇල ප්‍රදේශයද, අටලුගම කිම්මන්තුඩාව මාර්ගයේ ගල්ගේ මණ්ඩිය ප්‍රදේශයද, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලනිය බටගොඩ මාර්ගයේ පිංවේල්ල සහ ඇලමෝදර පැල්පොල මාර්ගයේ ඇලමෝදර මංසන්ධියද ජලයෙන් යටවී ඇත. එමෙන්ම මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාල කදන මාර්ගයේ වේරවත්ත ප්‍රදේශයද ජලයෙන් යටවී ඇත.

පසුගිය දින දිවයිනේ වැඩිම වර්ෂාපතනය පතිතව ඇත්තේ කුකුලේගඟ ප්‍රදේශයට බැවින් ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළයෑමේ අවදානමක් පවතින බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment