මල්වතු මාහිමි ලෙස රඟපා රට රැකියා මවා ලක්‍ෂ ගණන් ගරලා – සැකකරු රිමාන්ඩ්

157

මල්වතු මහනාහිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබා දෙමින් පිටරට රැකියාවලට යවන බව පවසා දිවයින පුරා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා සිදු කළ පුද්ගලයකු මේ මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ඩී. විජේවික්‍රම මහතා නියෝග කළේය. නුවරඑළිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉකුත් 28 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51ක් වයසැති සිරිමල් ප්‍රියන්ත නමැති පුද්ගලයෙකි. සැකකරු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් වංචනික ලෙස රුපියල් එක්ලක්ෂ තිස්හත් දහසක් (රු.1,37000.00) ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මල්වතු මාහිමි ලෙස රඟපා රට රැකියා මවා ලක්‍ෂ ගණන් ගරලා - සැකකරු රිමාන්ඩ්

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගෙන තෙරුවන් සරණ පතා දුරකථන ඇමතුම ආරම්භ කරන බව කියයි. තමන් මල්වත්තේ මහානායක ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටිමින් තමන්ගේ සහෝදර සහෝදරියන් ඔස්ටේ්‍රලියාවේ පදිංචි බවත් තම මිතුරකු ඔස්ටේ්‍රලියාවේ මහ කොමසාරිස්වරයකු බවත් පවසා මුලින්ම තමන්ගේ සහෝදරයාට ඉඩමක් නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩනඟා ගනී. අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඔස්ටේ්‍රලියාවේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කරවන බව පවසා මෙම මුදල් වංචාව සිදු කර ඇති බව නුවරඑලිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් පමණක් ගෙවිය යුතු බව සඳහන් කරමින් එම මුදල් සැකකරු සතු බැංකු ගිණුම් වෙත ගෙන්වා ගෙන මහා පරිමාණයේ මුදල් වංචා රාශියක් සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. බොහෝ අවස්ථාවලදී ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමට මෙම පුද්ගලයාම කටයුතු කර ඇති බවට විමර්ශනවලදී හා සාක්ෂි සටහන් කර ගැනීමේදී අනාවරණ වී ඇති බව ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී ජාතික හැඳුනුම්පත්ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වා ගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාදී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100ත් 120ත් අතර ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත් විශාල ප්‍රමාණයක්, විවිධ නම්වලින් සැකසූ නිල මුද්‍රා තොගයක්, දුරකථන අංක ලියා ගැනීමට භාවිත කළ පොත් කිහිපයක්, විවිධ පුද්ගලයන්ගේ නම්වලින් සැකසූ විසිටින් කාඩ්පත් විශාල ප්‍රමාණයක් ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් බහු විවාහ කිහිපයක්ද සිදුකර ඇති බවත්, එම විවාහවලින් දරුවන්ද සිටින බවත් වංචනික ලෙස උපයන මුදලින් බහු විවාහ භාර්යාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවටත් තොරතුරු තහවුරු කර ගැනීමට නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.

ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්වල නම්ගම්වලට අනුව මතුගම, මහර, පන්නිල කොළඹ කොටුව, කෑගල්ල, දඹුල්ල, නුවරඑළිය, ගාල්ල, බලපිටිය, අනුරාධපුර, නුගේගොඩ, කළුතර, අලුත්කඩේ යන අධිකරණවල මුදල් වංචා කිරීම් අධිකරණය නොමඟ යැවීම බහු විවාහ සිදු කිරීම වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූඨ ලේඛන සැකසීම ඇතුළු වැරදි රාශියක් සම්බන්ධව මෙම පුද්ගලයාට විරුද්ධව නඩු විශාල ප්‍රමාණයක් පැවැත්වෙන බවට තොරතුරු සනාථ වී ඇති බවද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් 28 දා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ඩී. විජේවික්‍රම මහතා විසින් නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ හා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.
නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment