සුගතදාස ක්‍රීඩා සංකීර්ණ සේවකයයෝ ප්‍රසාද දීමනා නැතැයි විරෝධතාවක – බොරු ලාභයක් පෙන්වා නිලධාරීන් සේවකයන් නොමඟ යවලා

195

ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඉලංගකෝන් කියයි

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ 2023 වර්ෂයේ ආරම්භක සේවක වරප්‍රසාද දීමනාව නොගෙවීමට එරෙහිව පොදු සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය යන සේවක සංගම් හතරෙහි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් විසින් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් සිදුකර ඇති අතර එම ඉල්ලීම අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්ගේ මූලිකත්වයෙන් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පාලනාධිකාරිය සහ සේවක වෘත්තීය සංගම් ප්‍රධානීන් සමග පසුගිය 05 වැනි දින අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී කරුණු සලකා බැලීමේදී අනාවරණය වූ තොරතුරු නම් 2022.12.21 දින මුදල් අමාත්‍යාංශයේ පොදු ව්‍යවසාය චක්‍ර ලේඛ අංක ඡෑෘ 9/ 2022 චක්‍රලේඛයට අනුව රුපියල් 25,000 ක දීමනාවක් අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මූල්‍ය විසින් සේවකයන් වෙත ලබාදීමට හැකියාව ඇති බව ප්‍රකාශ කර ඇත. පසුව ඔහු පවසා ඇත්තේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන පමණක් එය ලබාදීමට හැකි බවයි.

අධ්‍යක්ෂ මණ්ඩලය මේ පිළිබඳව කරුණු සලකා බැලීමේදී තහවුරු වී ඇති කරුණු වලට අනුව පැහැදිලි වූයේ සමස්ත අධිකාරියේ ආදායම් ලැබීම් රුපියල් මිලියන 53.94 ක් පමණ වන බවත් එහෙත් භාණ්ඩාගාරය විසින් ගෙවනු ලැබූ පුනරාවර්තන මුදල් රුපියල් මිලියන 262.59 සහ තවත් මුදලක් ද සමගින් එකතුවක් ලෙස ආයතනය ආදායම රුපියල් මිලියන 436.12 ක් ලෙස ගිණුම් අංශයෙන් ගණනය කර තිබුණු බවයි.

මේ පිළිබඳව සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආචාර්ය ඉලංගකෝන් මහතාගෙන් දිවයින කරන ලද විමසීමකදී ඒ මහතා සඳහන් කළේ බොරු විගණන වාර්තා ඉදිරිපත් කරමින් නිලධාරීන් විසින් සේවකයන් සහ වෘත්තිය සමිති සහ අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවා ඇති බවයි.

ආයතනයේ සමස්ත වියදම රුපියල් මිලියන 420.55 ක් බවත් එබැවින් රුපියල් මිලියන 15.56 ක් ශුද්ධ ලාභයක් පවතින බවත් ප්‍රකාශ කර එම ලාභයට අදාළව එක් සේවකයකු සඳහා උපරිම රුපියල් 25000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට හැකි බවට ඔවුන් ගණනය කර ඇති බවත් එහෙත් සත්‍ය වශයෙන්ම භාණ්ඩාගාරය මගින් ලබා දුන් මුදල් ආයතනයේ ඉපයීමක් ලෙස ගණනය සිදු කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය. අධ්‍යක්ෂ මණ්ඩලය මේ තත්ත්වය යටතේ බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණ දී ඇති බවත් සත්‍ය වශයෙන්ම ආයතනයේ සමස්ත ඉපයීම රුපියල් මිලියන 53.94 ක් වන අතර ආයතනයේ වියදම රුපියල් මිලියන 420.55 ක් බවත් ඒ අනුව ආයතනය ලබා ඇති මුදල් හිඟය රුපියල් මිලියන 366.61 ක් බවත් ඒ මහතා සඳහන් කළේය. මෙවැනි අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අදාළ නිලධාරීන් විසින් විගණනකාධිපති පවා නොමඟ යවා ඇති බවත් ඔවුන් මීට පෙර ද මෙම ක්‍රියාව සිදු කර ලාභ ලබන බව පෙන්වා ප්‍රසාද දීමනා ලබා ගෙන ඇති බව පැහැදිලි වනු ඇති බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් එවන් පසුබිමක් තුළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් තොරව සේවකයන් වෙත ප්‍රසාද දීමනාව ලෙස රුපියල් විසිපන් දහසක් ගෙවීමට පරිපාලන අංශය සහ මූල්‍ය අංශය එකඟ වීම පිළිබඳව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම් විසින් අතිරේක ලේකම් වරයාට ලබාදුන් උපදෙස් මත අද (09වෙනිදා) දින පියවරක් ගැනීමට නියමිත අතර අද දින පවත්වනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයේ දී නිසි පරිදි සිදු කරනු ලබන ගණනය කිරීම් අනුව ප්‍රසාද දීමනාවක් වේ නම් ආයතනයේ සේවකයන් සඳහා එය ලබාදීමට නියමිතය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment