දැල්පන්දු ලෝක කුසලාන අදින් ඇරඹේ – ශ්‍රී ලංකාවේ පළමු තරගය අද ජැමෙයිකාව සමග

296

2023 ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී අද (28 වැනිදා) ආරම්භ වේ.

ආසියානු දැල් පන්දු ශූරියන් ලෙස එම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගය ලෙස ජැමෙයිකා කණ්ඩායම සමග අද තරග වැදීමට නියමිතය.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 6.00ට ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායමේ නායිකාව ලෙස ගයංජලී අමරවංශ කටයුතු කරයි.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 16 වන අදියර ලෙසින් ආරම්භ වන මෙම තරගාවලිය අද සිට ලබන 6 වැනිදා දක්වා පැවැත්වේ.

ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, එංගලන්තය, උගන්ඩාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව යන රටවල් 6 තරගාවලියට සහභාගි වීමට සෘජුවම සුදුසුකම් ලබා තිබේ. ඊට අමතරව ඕෂනියා කලාපය නියෝජනය කරමින් ටොන්ගෝ සහ ෆීජි දූපත් ද, අප්‍රිකා කලාපය නියෝජනය කරමින් මලාවි සහ සිම්බාබ්වේ ද, යුරෝපා කලාපය නියෝජනය කරමින් ස්කොට්ලන්තය සහ වේල්සය ද, ඇමෙරිකා කලාපය නියෝජනය කරමින් බාබඩෝස් සහ ටි්‍රනිඩෑඩ් සහ ටුබැගෝ යන රාජ්‍යයන් ද ආසියානු කලාපය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ද මෙම තරගාවලියට එක් වේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී “සී” කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිත අතර ජැමෙයිකාවට අමතරව වේල්සය සහ සත්කාරක දකුණු අප්‍රිකාව සමග ඔවුන් මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

අවසන් වරට නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීමේ 15 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී සිටී.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම: ගයංජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උප නායිකාව), තිසාලා අල්ගම, සේමිණී අල්විස්, ශානිකා පෙරේරා, රශ්මි පෙරේරා, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, කෞෂල්‍යා විජේසූරිය, භාෂිණී ද සිල්වා සහ තර්ජිනී සිවලිංගම්.

advertistmentadvertistment
advertistmentadvertistment