මව පියා මැරීම, දූ දරුවන් මැරීම සහ ගරුඬ පූර්නම්

980

මව මැරීම සහ පියා මැරීම ආනන්තරීය පාප කර්මයක් ලෙස හඳුන්වනු ලැබේ. එසේ නම් පියා විසින් පුතා මරණු ලැබීම කවර වර්ගයේ පාප කර්මයක්ද? ඉතාම කාලකණ්ණි අධම සහ නරුම පීචං තාත්තලා දෙදෙනකු පිළිබඳ කතන්දර දෙකක් අද අපි ඔබට කියමු. ලිඳුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි පියෙක් බීමතින් ගෙදර පැමිණ සිය මව සමග බහින්බස්වී මුළුතැන්ගෙට ගොස් නටන වතුර සහිත කේතලය ගෙනවිත් සිය කුඩා දරුවාගේ ඇඟට වත්කොට ඇත. මෙහිදී කොන්ද, වම් අත, සහ ඇලපත ප්‍රදේශයේ හටගත් දරුණු පිළිස්සුම් සහිත කුඩා දරුවා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මේ වනවිට අධික වේදනාවෙන් අපා දුක් විඳිමින් සිටී. මේ පීචං තාත්තා දැනට පොලිස් අත්අඩංගුවේ පත්වෙයි. මීට සියවස් කිහිපයකට පෙර ඉන්දියානු වධක මණ්ඩලයක් විසින් ‘ගරුඬ පූර්නම්’ නමැති වධක ග්‍රන්ථයක් ලියන ලදී. විවිධ අපරාධ සඳහා නිර්දේශ කරන ලද වධ බන්ධන 28 ක් මේ පොතේ ඇත. මේවා ඇසූ සැණින් මැරී වැටෙන ඉතා දරුණු සහ වේදනාකාරී වධ බන්ධනයන්ය. මේ පොතේ 23 වන වධය ලෙස හඳුන්වනු ලබන්නේ ‘කුම්භි පාකම්’ නමැති වධයයි. තමන්ගේ සතුට පතා සතුන් ඝාතනය කරන සහ තමන්ගේ කේන්තිය පිරිමසාගැනීම පිණිස දරුවන්ට වධ දෙන අය වෙනුවෙන් මේ දණ්ඩනය නිර්දේශ කර ඇත. මේ දඬුවම කුමක්ද යන්න මෙහිදී විස්තර කරනු නොලැබේ. එය ඒ තරමට භයානකය. සිය පුතාගේ ඇඟට උතුරන වතුර වත්කළ පියාටද එම දඬුවම දිය යුතු බව අපගේ පෞද්ගලික මතය වේ. එහෙත් අපගේ පෞද්ගලික මතයෙන් කාටවත් වැඩක් නැති බවත් අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයක් මේ රටේ ඇති බවත් අපි පිළිගනිමු. මෙතැන් සිට අප විස්තර කරන්නේ දෙවැනි නීච සහ පීචන් පියා පිළිබඳ කතාවය. කහටගස්දිගිලියේ කුඩා පට්ටිය නමැති ගමේ පදිංචි අවුරුදු 54 ක් වයසැති පියෙක් අවුරුදු 10 – 15 ක් තිස්සේ සිය දියණිය අපයෝජනය කිරීමය පුරුදුව සිටියේය. දැරියගේ සහෝදරයා වූ අමිල ප්‍රියන්ත මෙයට විරුද්ධ විය. එහෙත් මේ කාලකණ්ණි පියා සිය පුරුද්ද අත්හළේ නැත. සිය දියණිය දූෂණය කිරීමට ඇති එකම බාධකය වන පුත්‍රයා ඝාතනය කිරීමට තීන්දු කළ පියා 2022 සැප්තැම්බර් 4 දා පැවති බණ පිංකම් මාලාවකට සහභාගි වී නිවසට එමින් සිටි තරුණ පුතා මරා දැමීය. ඔහු මේ මිනී මැරුම සිදුකරන්නේ කැලෑ මණ්ඩියකදීය. ඉන්පසු සිය පුතාගේ මළ සිරුර කරේ තබාගෙන පැමිණි පියා එය වගා ළිඳකට දැමුවේය. පසුව ළිඳෙන් ගොඩගන්නා ලද සිරුර මරණ පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව මිනී මැරුමක් බව හෙළිවූ නමුදු කවරකු විසින් කරන ලද්දක්ද යන්න සොයාගැනීමට බැරිවීම නිසා ප්‍රදේශයේ පොලිසිය නිහඬ බවක් දැක්වීය. මේ වැඩේ කවදාවත් හසුනොවන බව තීන්දු කළ මේ කෲර මිනී මැරූ පියා ගෙදර ගොස් දිගින් දිගටම සිය දියණිය කෙළෙසන්නට ඇත. මෙහිදී දියණියගේ මව ගැන කිසිවක් වාර්තා වන්නේ නැත. මේ රටේ පොලිසිය ගහන්නේ අමුතු ගේමකි. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය පිළිබඳ සොයා ගැනීමට බැරි වුවද මේ රටේ පොලිසිය හිටපු ගමන් අවුරුදු 40 – 50 පැරණි මළ මිනී ගොඩගෙන ඒවා ඝාතනය වූ මිනිසුන්ගේ සිරුරු බව සොයාගෙන සැකකරුවෝ අත්අඩංගුවට ගනිති. ඇතැම්විට මේ සැකකරුවන් උසාවි එන්නේ රෝද පුටුවෙන් හෝ හැරමිටියෙනි. අපට ඇති දැනුමට අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳ සියලු තොරතුරුද, සිද්ධියට අදාළ පසුබිමද, දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරන් ගැනද, අපරාධය පිළිබඳ සියලු සෙසු කාරණාද පොලිසිය විසින් සොයාගනු ලැබ අවසන්ය. එහෙත් කිසියම් හේතුවක් නිසා පොලිසිය දැනට තමන් දන්නා කරුණු ලීක් කරන්නේ නැත. (මෙය අපේ මතය පමණි. සමහරවිට තත්ත්වය අපේ මතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබේ)

කෙසේ හෝ වේවා දයාබර පාඨකයිනි, කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිකන් හිටියේ නැත. තම කොට්ඨාසයට අයත් කුඩා පට්ටිය ග්‍රාමසේවා වසමේ වගා ළිඳෙන් හමුවූ තරුණයාගේ මළ සිරුර ගැන ඒ පොලිසියේ අය දිගටම පරීක්ෂණ පැවැත්වූහ. අවසානයේදී මිනී මැරුම සිදුවී මාස දහයකට පසු පුත්‍ර ඝාතක පියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. ගරුඬ පූර්නම් ග්‍රන්ථයේ එන වධ බන්ධන 28 ම මේ වනචාරි තිරිසනාට ලබා දිය යුතුය. එසේම ස්ත්‍රී දූෂකයන්ට අප්‍රිකා මහාද්වීපයේ ඇතැම් ගෝත්‍ර විසින් දෙනු ලබන විශේෂ දඬුවමද මේ නීච පියාට දිය යුතුය.

ලංකාව සාපරාධි රාජ්‍යයක් හෙවත් Criminal nation එකක් ලෙස හඳුනාගත් රටක් නොවේ. එවැනි ඉතිහාසයක් අපට නැත. 1970 වන තුරුම ශ්‍රී ලංකාව පැවතියේ අන් අයගෙන් ගුටිකන තමන්ගේම වියදමෙන් කැඩුණු අත පයවලට බෙහෙත් දමාගන්නා මිනිසුන් ජීවත්වූ අහිංසක ගැමි රාජ්‍යයක් ලෙසය. ඊට පෙර මේ රට පැවතියේ අඳුරු වනගත රාජ්‍යයක් ලෙසය. වනය ගමක් බවට පත්ව ගම නගරයක් බවට පත්වීමේදී ශ්‍රී ලංකාව ක්‍රමයෙන් චර්යාත්මක වශයෙන් නන්නත්තාර වීමට පටන් ගත්තේය. 1977 න් පසු ගෝලීය ආර්ථිකය සහ ගෝලීය සමාජය මේ රටේ ආර්ථිකය සහ මේ රටේ ජන සමාජය සමග මිශ්‍ර වීමෙන් පසු ඒ නන්නත්තාර වීම ඉක්මන් විය. මෙය රටේ හෝ එහි සිටින ජනතාවගේ වරදක් නොව රටේ ආර්ථිකය සහ සමාජය සම්පාදනය කළ දේශපාලන මොඩලයේ වරදකි. අප බඳුම රටක් වූ භූතානය අදටත් කිසිදු ආකාරයකට පිරිහී නැත. මීට අවුරුදු 250 කට පෙර පැවති ශුද්ධ සහ ධාර්මික මොඩලයට අනුව ඒ රට තවමත් එහෙමම පවතී. භූතානය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය නොකරයි. ඒ රට සංචාරකයෙක් ඇතුළට ගන්නේ නොකරම බැරි අවස්ථාවකය. තිබ්බතයේ තත්ත්වයත් මෙයමය. හොඳට හෝ නරකට තිබ්බතය මේ මොහොතේදී චීනයට අයත්ව පවතී. චීනය මේ රට යටත්කර ගන්නා ලද්දේ බලහත්කාරී ලෙස නිල නොවන ආක්‍රමණයක් කිරීමෙනි. තිබ්බතය තුළටද සංචාරකයන් වැද්දගනු නොලැබේ. තිබ්බතයේ සංචාරය කිරීමට කෙනකුට අවශ්‍ය නම් ඒ සඳහා වන ගමන පටන්ගත යුත්තේ චීනයෙනි. චීනය තිබ්බතයට යන සංචාරකයාට වීසා දෙන්නේ ඔහුගේ බොකු බඩවැල්ද පරීක්ෂා කිරීමෙන් පසුවය. කෙසේ වුවද නීච පීතෘවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් අප ලියූ මේ කතු වැකිය මගින් වෙනත් විෂයන්ද සාකච්ඡා කර ඇති බව පෙනේ. එබැවින් අදට මෙතැනින් නවතිමු.

advertistmentadvertistment
advertistmentadvertistment