දේශීය වෙදකමේ භාවිත කරන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස අල්ලන්න එපා – ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරි වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා

121

ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සලකා අත්අඩංගුවට ගැනීමෙන් සිය වෘත්තීය ගෞරවයට හානියක් වන බව ආයුර්වේද වෛද්‍යවරු පවසති.

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ලැයිස්තුවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ භාවිත වන කාමේෂ්වරී සහ මදනමෝදක වැනි දෑ සඳහන් වීමෙන් සිය වෛද්‍ය ක්‍රමය පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ඇති කරන බව පවසන එම වෛද්‍යවරු මේ තුළින් දේශීය වෛද්‍යවරුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව කියා සිටිති.

ඉකුත් 3 වැනිදා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරි වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා අවධාරණය කළේ ආයුර්වේද පනත තුළ කංසා ඖෂධයක් සේ භාවිතයට ගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින පසුබිමක යුක්තිය මෙහෙයුම යටතේ සිය වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ ලෙස භාවිතයට ගැනෙන මෝදක වර්ග අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත නොවන බවයි. දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසාවල විෂ හරණය කර ඖෂධ සඳහා යොදාගන්නා අතර එය ඖෂධ වට්ටෝරුවක භාවිත වන එක් ඖෂධ රැසක් අතුරින් එකක් පමණක් වන බවත් එවන් පසුබිමක් තුළ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදකයන්ටද අගතියක් වන බවත් ඔහු පැවසීය.

ජාතික වෛද්‍ය පදනමේ ලේකම් වෛද්‍ය ශ්‍රීනාත් පරණයාපා සහ ආයුර්වේද වෛද්‍ය නිමල් වර්ණසූරිය මහත්වරුද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව ද මේ පිළිබඳව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවධානය වහාම යොමු විය යුතු බව ද කියා සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment