අනාගතය වෙනුවෙන් අතීතයේ පලතුරු විවිධත්වය රකිමු – ශ‍්‍රී ලංකාව කියන්නේ විචිත‍්‍ර පලතුරු උයනක්

1113

* වාණිජ ප‍්‍රභේද කීපයකට දක්වන වැඩි සැලකිලි නිසා ජෛව විවිධත්වය අනතුරේ
 
 * ඩොලර් ඉපයීමට හැකි දේශීය පලතුරු වර්ග තවමත් ඌන භාවිත එකතුව තුළ

අනාගතය වෙනුවෙන් අතීතයේ පලතුරු විවිධත්වය රකිමු - ශ‍්‍රී ලංකාව කියන්නේ විචිත‍්‍ර පලතුරු උයනක්

ශ‍්‍රී ලංකාව යනු ආසියාවේ තිබෙන නිවර්තන කලාපීය වනාන්තරයක් යයි හැඳින්වූවාට එතරම් වරදක් නැත. වසර පුරාවටම මෙහි ඇත්තේ ගහකොළ වැඩෙන්නට හොඳටම සුදුසු පරිසරයකි. ඒ නිසාම බැලූ බැලූ අත පෙනෙන්නේ හරිත වර්ණයයි. ඒ තුළ සැඟවී ඇත්තේ අගනා ජෛව විවිධත්වයකි. ඉහළ වටිනාකමකින් යුත් මෙම ජෛව විවිධත්වය අපගේ පහසුව තකා පලතුරු ගස්, අපනයන කෘෂි බෝග, වැවිලි බෝග යනාදී වශයෙන් කොටස්වලට බෙදාගෙන තිබේ. කෑමට ගතහැකි පලතුරු වර්ගම දෙසිය පනහකට වඩා තිබෙනා බව පවසන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය කපිල දිසානායක මහතාය.

අනාගතය වෙනුවෙන් අතීතයේ පලතුරු විවිධත්වය රකිමු - ශ‍්‍රී ලංකාව කියන්නේ විචිත‍්‍ර පලතුරු උයනක්

”මේ තරම් විශාල පලතුරු විශේෂ සංඛ්‍යාවක් අප සතුව තිබුණත් මෙයින් භාවිතයට ගන්නේ 50 ක් විතර තමයි. ඒ අතරිනුත් ජනප‍්‍රිය පලතුරු හැටියට ඉතා සුළු කොටසක් වාණිජව වගා කෙරෙනවා. බොහෝ දෙනෙක් පලතුරු කියන්නේ ඒවාට. අනෙක් ඒවා අපි හඳුන්වන්නේ ඌන භාවිත පලතුරු කියලයි. ඒවා සමහරු නමින් දැනගෙන හිටියත් දැකලාවත් නොතිබෙන්න පුළුවන්. නමුත් එම ශාක අනාදිමත් කාලයක සිට පරිසරයේ තේරීමට හසුවෙලා ඉතිරිව සිටින පිරිසක් නිසා, අපිට හඳුන්වන්න වෙන්නේ පරිසරය ජයගත් අය හැටියටයි. ඔවුන් සතුව විවිධාකාර ජාන සංයෝජනයන් තිබෙනවා. ඒවා අපිට ප‍්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙත් මෙම ශාක කොට්ඨාශය ගැන තිබෙන අවධානය අඩුවීම හේතුවෙන් ඔවුන් අද මිහිතලයෙන් අතුරුදන් වීමේ අවදානමකයි ඉන්නේ.”

අනාගතය වෙනුවෙන් අතීතයේ පලතුරු විවිධත්වය රකිමු - ශ‍්‍රී ලංකාව කියන්නේ විචිත‍්‍ර පලතුරු උයනක්

මහාචාර්යවරයා පවසන මෙම අවදානම ජාත්‍යන්තර සංවිධානයන් ගණනාවක් විසින්ද මේ වනවිට පෙන්වා දී තිබේ. එම වාර්තාවලට අනුව 2050 වසර වනවිට මෙම විවිධත්වයෙන් තුනෙන් පංගුවක් පමණ වඳවී යන්නේය. ඔවුන් ප‍්‍රාවේණික හායනය සේ හඳුන්වා දෙන්නේ මෙම විනාශයයි. ජනගහන ප‍්‍රසාරණයට අනුලෝමව වැඩිවෙන ඉඩම් එළිපෙහෙළි කිරීම, අසාමාන්‍ය ලෙස ඇතිවෙන දේශගුණ විපර්යාසයන් දරාගත නොහැකිවීම වැනි කරුණු මෙම අතුරුදන්වීමට හේතු වන්නේය.

 ”අද දවසේ මෙම පලතුරු ප‍්‍රභේද ගැන අවධානයක් නොතිබුණාට අතීතයේදී මේවා යහමින් අපේ ග‍්‍රාමීය ජනතාව අතර ගැවසුනා. මාදං, උගුරැුස්ස, නෙල්ලි, නමිනන්, වෙරළු, ලාවුලූ වැනි පලතුරු අතීතයේදී අදට වඩා අනුභව කෙරුනා. මේවාහි තිබෙන පරිසරයට පෙන්වන අනුවර්තන නිසා කොටසක් අතුරුදන් වෙත්දී, ඉතිරිවෙන කොටසත් මේවා වෙන්න පුළුවන්. ඒ නිසා අනාගතයේදී පලතුරු වශයෙන් මේවාට තිබෙන ඉල්ලූම වුණත් ඉහළ යාවි. ඒ නිසා විද්‍යාඥයන් මේවා ”අනාගත බෝග” ලෙස හඳුන්වනවා.”

 මහාචාර්ය දිසානායක පෙන්වාදෙයි. එසේනම් අතීතයේද තිබී, අනාගතයේදීද වුවමනා වෙන මේ පලතුරු විවිධත්වයට වර්තමානයේදී පමණක් අනවධානයක් ගොඩනැගී තිබීම අප අතින් සිදුවුණු බලවත් අඩුපාඩුවකි. මීට පූර්ණ ලෙස වගකිව යුත්තේද අපමය. වාණිජ වගා වෙතට පලතුරු වර්ග කීපයක් තල්ලූ කරමින් ඒවා මත පමණක් යැපෙන්නට අප කටයුතු කෙරුවා පමණක් නොව, මෙහි නොවැවෙන පලතුරු වර්ග කීපයක් විදේශ විනිමය වැයකර තොග පිටින් ගෙන්වමින් ඒවාද ජීවිතයට පුරුදු කරගැනීමේ වරදත් මේ වනවිට සිදුකර අවසානය. 2018 වසරේදී ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති ඇපල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 27253 කි. ඒ සඳහා රුපියල් මිලියන 4302 ක් වැයකර තිබේ. මෙතරම් පලතුරු බහුල ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති මුළු පලතුරු ප‍්‍රමාණයම වන්නේත් මෙටි‍්‍රක් ටොන් 24718 කි. ඊට අයත් වන පලතුරු බෝග අතර තිබෙන්නේ කජු, අන්නාසි, පැපොල්, අඹ,

 අලිගැටපේර, මැංගුස්, කොමඩු හා පේර වැනි ජනප‍්‍රිය පලතුරු වර්ග මිස නෙල්ලි, වෙරළු, ගල්සියඹලා වැනි ඌණ භාවිත පලතුරු ප‍්‍රභේදයන් නම් නොවේ. අපනයනය කළ තොගයට අමු පලතුරු මෙන්ම වියලන ලද පලතුරු කැබලිද හරි හරියට සම්මාදම් වී තිබේ. එනම් මෙම ප‍්‍රමාණය යනු 2018 දී ශ‍්‍රී ලංකාවෙන් රට පටවන ලද සමස්ත වාර්ෂික පලතුරු ප‍්‍රමානයයි. උපයා ඇති මුදල රුපියල් මිලියන 3918 කි. කෝටි 391 ක පලතුරු රට පටවා කෝටි 430 ක් වියදම් කර ඇපල් ගෙන්වාගෙන කෑම කෙතරම් සාධාරණදැයි කියා යළි යළිත් විමසා බැලීම වටී. ආනයනය කරන ලද මිදි, දොඩම්, පෙයාර්ස් යනාදී විදෙස් පලතුරු සියල්ලම මෙයට එකතු කළානම් ආනයන අපනයන පරතරය තව තවත් ඉහළ යනවා ඇත.

 ”මේ බොහොමයක් දේශීය පලතුරු ප‍්‍රභේද පරපරාගනයෙන් තමයි ඵල සහ බීජ හදන්නේ. මම වැඩිය කැමතියි මාදං ගැන කතාකරන්න. ඒ ගැන මම පර්යේෂණ ගණනාවක් කරලා තියෙනවා. මාදං ගසක වරකට ගෙඩි දහස් ගණනක් හැදෙනවා. ඒ හැම එකක්ම පරපරාගනයේ ප‍්‍රතිඵල නිසා බීජවල ජාන සංයුතිය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ මෙම බීජ පැළවෙලා හැදෙන දරුවන් සියල්ලම අලූත් ප‍්‍රභේද ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් හිතල බලන්න මොන තරම් විවිධත්වයක්ද නිහඬවම බිහිවන්නේ කියලා. මගේ අධ්‍යයනයන්හිදී දුටුවා මෙම ඉහළ විවිධත්වය ඉතා පැහැදිලිව. අම්පාර, කල්පිටිය වගේ පැතිවල මාදං ගෙඩි අනෙක් පැතිවල ඒවාට වඩා ලොකුයි. මේ සමග තිබෙන පින්තූරය බලන්න. එහි තිබෙන්නේ ලංකාවේ විවිධ පළාත්වලින් එකතු කරන ලද මාදං ශාක පත‍්‍ර කීපයක්. විශාල පරාසයක රූප විද්‍යාවක් එතන තියෙනවා. ඇසට පෙනෙන වෙනස්කම් මෙහෙම නම්, ගෙඩිවල අන්තර්ගත ද්‍රව්‍ය සංයුතියත් මේ වගේම විවිධත්වයක් පෙන්වනවා ඇති. ඒ සියල්ලම පාලනය වන්නේ ජාන වලින් නිසා. ඒ නිසා තමයි මම කියන්නේ අප සතු මේ විවිධත්වය ආරක්ෂා කරගත යුතු බව.”

 මාදං සම්බන්ධයෙන් මහාචාර්ය කපිල විසින් කළ පර්යේෂණයට අදාළ පර්යේෂණ පත‍්‍රිකාවක් Morphological characterization” antioxidant capacity and diversity of Syzygium cumini trees from Sri Lanka. යටතේ Horticultural Plant Journal සඟරාවේ පළකර තිබේ.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පලතුරු සඳහාම වෙන්වූ පර්යේෂණායතනය පිහිටා ඇත්තේ හොරණ කනන්විලය. එහි ඉඩම පමණක් ගත්තද අක්කර 300 ක භූමියකි. ගොඩනැගිලි කීපයක් සඳහා සුළු බිම්කඩක් වෙන්වූ පසු වැඩි ප‍්‍රදේශයක් වසාගෙන ඇත්තේ රක්ෂිත වනයකින්ය. ඒ සමග ”ක්ෂේත‍්‍ර ජාන බැංකුව” නම් විශාල උද්‍යානයද පිහිටා තිබේ. වනගතව හෝ ඇතැම් හුදකලා තැන්වල ගෘහාශ‍්‍රිතව හෝ වැවෙන පරිසරය ජයගත් පලතුරු ශාක සොයායන පර්යේෂකයන් ඒවාහි අංකුර රැුගෙනවිත් බද්ධපැළ සාදා මෙම උද්‍යානයේ රෝපණය කර පරිස්සමෙන් රැුකබලා ගනු ලැබේ. එම මවු ශාකයන් පිහිටි ස්ථානයන්හි තොරතුරුද ලේඛනගත කෙරේ. ඒ අනාගත ප‍්‍රයෝජනය උදෙසාය.

 වැඩිදෙනෙක් නොසිතුවාට අප සතු පලතුරු විවිධත්වය විදේශ විනිමය උල්පතක් බවට පත්කරගැනීමේ අවස්ථාවද අපට තිබේ. ඒ ගැන කතාකිරීමට මෙය හොඳම අවස්ථාවක් වන්නේ විදේශ විනිමය අවශ්‍යතාව ගැන බහුලව මේ දිනවල කතා කෙරෙනා බැවිනි. අප නොසලකා හිටියත් අපගේ අසල්වාසී රටවල් නම් මෙම අංශයෙන් මේ වනවිට සෑහෙන තරමින් ඉදිරියට ගොස් ඇත. තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංගලාදේශය වැනි රටවල් තම භූමියේ වැවෙන ආවේනික පලතුරු ප‍්‍රභේද හඳුනාගෙන ඒවා විදේශ විනිමය උල්පත් බවට පත්කරගෙන තිබෙන්නේය.

 ජනප‍්‍රිය ලෙස භාවිතයට  නොගන්නා මෙම පලතුරු වර්ග ගෙවතුවල හෝ වනාන්තරවල තවමත් ඉතිරිව ඇත්තේ ස්වභාවික වරණයෙන් ජයගත් නිසා බවත්, ඒවා දේශගුණ විපර්යාස වලට පහසුවෙන් පරාදවෙන ඒවා නොවන බවත් අප අමතක කළයුතු නොවේ. අපගේ සාත්තුවක් නොමැතිව වුවත් මේවා හොඳ අස්වැන්නක් ලබාදෙන අතර, කාබනික රසායනික යනාදී කිසිම වර්ගයක පොහොරක් වුවමනා වන්නේද නැත. පළිබෝධ හානි දිලීර රෝග ආදිය සෑදෙන්නේද නැත. සුළු ‘තට්ටුවක්’ දමා මේවා අපේ පැත්තට හරවාගෙන ආර්ථික බෝග ප‍්‍රභේද බවට පත්කර ගැනීමට ඉතා පහසුය. කර්මාන්තකරුවන් ඉදිරියට පැමිණිය යුත්තේ වගාකරුවන්ට පමණක් තනිවම මෙම කටයතු කළ නොහැකි බැවිනි. තවමත් අපගේ ඌණ භාවිත ලැයිස්තුවේ සිටින කටු අනෝදා (Annona muricata) උදාහරණයකට ගන්න. මෙය පහතරට තෙත් කලාපයේ හොඳින් වගා කළ හැකි පලතුරකි. එහි පලතුරු වටිනාකම මෙන්ම ඖෂධීය ගතිගුණද ඇති නිසා කාබනිකව වැවූ වගාවකින් අනෝදා ගෙඩි සපයන්නේ නම් දීලා පිරිමහන්න බැරි තරමේ ඉල්ලූමක් ජාත්‍යන්තරයේදී මෙයට තිබේ. අපේ පලතුරු අපනයන ක‍්‍රියාකාරීන් ජනප‍්‍රිය පලතුරු ප‍්‍රභේද කීපයක් මතම රැුඳී සිටිනවා මිස මෙවන් දේශීය පලතුරක් ඔසවා තබන්නට සිතන්නේ නැතිවීම බලවත් අඩුපාඩුවකි. මේ පලතුරු වනයේ වටිනාකමත්, එම ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමේ වැදගත්කමත් සමාජය විසින් හොඳින් අවබෝධ කරගෙන තීන්දු තීරණ ගතයුතු මංසන්ධියක් වෙතට අප පැමිණ සිටින්නෙමු. මංමුළා නොවී නිසිමග තෝරා ගත යුතුය. ඒ අනාගත පරපුර වෙනුවෙන්ය.

 ජෛව සංරක්ෂණ සංගමය (BCSL), එංගලන්තයේ රෆඞ් (The Rufford Foundation) ආයතනයේ සහයෝගය මත සංවිධානය කර ඉකුත්දා මහනුවර ඕක්රේ රීජන්සි හෝටලයේදී පැවැත්වූ ‘‘ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සුරකිමු” මැයෙන් වූ පර්යේෂණ සමුළුව ඇසුරෙනි.

 සනත් එම්. බණ්ඩාර
[email protected]
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment