ඈවරයි! දෑවරයි තිස් අටයි!!

544

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද අස්සේ ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ගේ දොලදුක් සංසිඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදුවී තිබේ. නොබෝදා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනාගෙන් වර්තමාන සමාජ ආර්ථික අර්බුදවලට කවර හෝ සාධනීය බලපෑමක් සිදු විය හැකිද යන්න ඒ සම්බන්ධයෙන් සිදුවන විවේචන, දෝෂාරෝපණ ආදියෙන් දැඩිව අවධාරණය කෙරේ. ජනාධිපති රනිල්ටත් ආණ්ඩුවටත් මේ අසීරු දේශපාලන අර්බුදය කළමනාකරණය කිරීමේ දුෂ්කරතාව පොහොට්ටුවේ මුල්පෙළ නායකයෝ පළමුවෙන්ම වටහා ගත යුතු වෙති. එහෙත් ජනාධිපති රනිල්ට ඔවුන්ගෙන් එල්ලවන බලපෑම් හා පීඩනය මුලික වශයෙන්ම තම දේශපාලන බල ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගත් එකක් බව ඉතා පැහැදිලිය. ජනාධිපති රනිල්ට අවශ්‍ය වූයේ මේ රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමට පෙර 22 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම බව ජනමාධ්‍යවල ද වාර්තා විය. එහෙත් පොහොට්ටුවේ නායකයෝ එයට එකඟ නොවුණැයි ද මාධ්‍යවලම පළවී තිබිණි. ඇත්ත වශයෙන්ම අද ජනාධිපති රනිල්ට සිදුවී තිබෙන්නේ තිරය පිටුපස සිටින පොහොට්ටු නායකයන්ගේ ද අපේක්‍ෂා ඉටු කරමින්ම මේ සියලු අර්බුද කළමනාකරණය කිරීමටය. එහෙත් ඒ සකලවිධ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් නිර්දය විවේචනවලට ලක්වීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

ගාලුමුවදොර අරගලයත්, එයින් උද්ගතවූ සමාජ විරෝධතාවනුත් අබියස රටින් පැනගිය ගෝඨාභය ජනාධිපතිවරයා යළි මේ රටට පැමිණීයේ දැඩි මානසික පීඩන හා කටුක අත්දැකීම් ද දරා ගැනීමෙන් බව නිසැකය. එසේම අගමැති පදවිය අත්හැර දැමූ මහින්ද මෙන්ම අනෙක් රාජපක්‍ෂවරුන් විසින් මුහුණ දෙන ලද අත්දැකීම් ද යහපත් ඒවා නොවේ. අද ගාලුමුවදොර අරගලයෙහි ක්‍රියාකාරීන්ට එරෙහිව දියත් කෙරෙන මර්දනය, කිසිවෙක් අනුමත නොකරති. එයින් අරගලයේ යම් පසුබෑමක් සිදුවී තිබෙන බව බැලු බැල්මට පෙනී ගියත් එය කිසිසේත්ම රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ පාලනයට එල්ල වූ විරෝධය දුරුවීමක් නම් නොවන බව කිව යුතුය.

ඈවරයි! දෑවරයි තිස් අටයි!!

පොහොට්ටුවේ දේශපාලනඥයන් බහුතරයකට මෙම අරගලය සම්බන්ධයෙන් ගැඹුරු දේශපාලන කියැවීමක් ඇති බවක් ද නොපෙනේ. ගාලුමුවදොර අරගල භූමියෙහි ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොහොට්ටුවේ දේශපාලන විකටයෙක් එය හඳුන්වන්නේ කුඩුකාරයන් ත්‍රස්තවාදීන් වැනි ලුම්පත් කොටස්වල එක්තැන්වීමක් ලෙසය. පොහොට්ටු නායකයන්ගේ නිර්දේශ අනුව ඔහුට ද රාජ්‍ය ඇමැති ධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයාට සිදුවීම දේශපාලන සරදමක් වැන්න.

මේ රට විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන මොහොතක ඒ වර්ගයේ අමන දේශපාලන චරිත තෝරාගෙන ජනතාවට බර පැටවීම අනුමත කළ නොහැකි බව විපක්‍ෂ නායක සජිත් මෙන්ම ජ. වි. පෙ. අනුර කුමාර ඇතුළු බොහෝ කණ්ඩායම්වල ද අදහස වී තිබේ. රාජ්‍ය සේවය රටට බරක් වී තිබෙන බව කියන ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුව මෙබඳු දේශපාලන ගොන්කම් කළ යුතු දැයි වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ද ප්‍රශ්න කරති. සර්ව පාක්ෂික පාලනයක් වෙනුවට ඒකපාක්ෂික ඇමැතිවරුන් රොත්තක් පත්කර ගැනීමෙන් ජනතාවට සිදුවන ප්‍රතිලාභයක් ද නැත. රාජ්‍ය ඇමැති ධුර වැඩි සංඛ්‍යාවක් පොහොට්ටුවට හිමිවූ අතර ශ්‍රීලනිපයට ද ඇමැති ධුර කීපයක්ම ලැබී තිබිණි. එසේම පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේට ද රාජ්‍ය ඇමැති ධුරයක් හිමිවිය.

ශ්‍රී. ල. නි. ප. සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්‍ෂයේ ස්ථාවරයට පිටුපා පෞද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් තම මන්ත්‍රීවරුන් ඇමැති ධුර ලබාගෙන ඇති බවය. පක්‍ෂ නායකත්වයට පිටුපාමින් කවර හෝ දේශපාලන ප්‍රතිලාභයක් වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලන නිහීන කමකි. තමන් එම ඇමැති ධුර භාර ගත්තේ අලුත් දේශපාලන ක්‍රියාන්විතයක් වෙනුවෙන් හෝ අභිනව සමාජ ආර්ථික යෝජනා මාලාවක් සමග හෝ යැයි ඒ ශ්‍රී. ල. නි. ප. මන්ත්‍රීවරුන්ට කිව හැකිද? ශ්‍රීලනිපයෙන් වේලාසනින්ම පැනගත් නිමල් සිරිපාල මෙන්ම මහින්ද අමරවීර ද ඒ සදාචාර විරෝධී දේශපාලනය වෙනුවෙන්ම පෙනී සිටියෝ නොවෙත්ද? මෙරටේ දේශපාලනය සම්බන්ධයෙන් දැන් කලක සිටම තිබෙන මුග්ධ ප්‍රතිචාරයක් වන්නේ බලය හා ප්‍රතිලාභ උදෙසා මන්ත්‍රීකම වෙන්දේසි කිරීමය. මෙය හැඳින්වනුයේ රට වෙනුවෙන් කෙරෙන දේශපාලන මෙහෙයුමක දෑත් ශක්තිමත් කිරීමක් ලෙසය. එහෙත් මෙරටේ දේශපාලනයේදී බොහෝ විට සිදු වූයේත් අද සිදු වන්නේත් තමන්ගේ දෑත් ශක්තිමත් කර ගැනීම හා ප්‍රතිලාභ, වරප්‍රසාද උදෙසා පක්‍ෂ, පිල් මාරු කිරීමක් බව අපි නොබියව කියන්නෙමු. මේ දේශපාලන කුහක ව්‍රතය ඉවසා සිටීම හැර පක්‍ෂ නායකයන්ට ද ගත හැකි ක්‍රියාමාර්ගයක් ද නැත. ශ්‍රීලනිපයෙන් ඇමැති වරප්‍රසාද දිනු සමහරුන් අද කියන්නේ පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන බවය. එහෙත් කතාව දෝලාවෙන්, ගමන පයින් යන මෙරටේ දේශපාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය පමණක් නොව ව්‍යවස්ථාව ද අමන දේශපාලනඥයන්ගේ බඩගෝස්තරවාදයට උචිත ලෙස සැකසී තිබෙන්නකි.

පොහොට්ටුවේ පරිණත දේශපාලන නායකයා මෙන්ම මෙරටේ සමාජ දේශපාලනයෙහි ප්‍රමුඛයකු වූ හිටපු අගමැති මහින්දට තිබුණේ තම ගෝලයන්ගේ දේශපාලන පදවි ලෝභය වෙනුවෙන් පෙනී සිටීම නොව ඔවුන්ට නිවැරදි දේශපාලන උපදෙසක්, දැනමුතුකමක් ලබාදීමට පියවර ගැනීමය. මේ වන විට තම පක්‍ෂයේ සිටි ප්‍රබල හා විද්වත් චරිත ගණනාවක්ම පක්‍ෂය හැර ගොස් සිටින ආකාරය ද ඔහුට පෙනී යා යුතුව තිබිණි. පොහොට්ටුවෙන් රාජ්‍ය ඇමැති ධුරවලට නිර්දේශ කළ ලැයිස්තුව පිළිබඳව මෙරටේ සමාජ දේශාපාලන අංශවල තිබෙන දැඩි විවේචන ගැන හෝ ඔහුගේ අවධානය යොමු නොවීම අවාසනාවකි. නිසැකයෙන්ම අද වන විට පොහොට්ටුවේ දේශපාලන සංයුතිය දෙස බලන විට පෙනී යන්නේ ද එහි ගල් පිළිම වෙනුවට බොල් පිළිම වැඩි වී තිබෙන බවය.

කෙසේ වුවද මහින්ද ප්‍රමුඛ පොහොට්ටුවේ ඉල්ලීම අනුව ජනාධිපති රනිල් විසින් පත් කරන ලද ජම්බෝ ඇමැති මණ්ඩලය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රයත්නයක් ද තිබෙන බව වාර්තා වේ. එහෙත් පොහොට්ටු පාලනය විසින් හිඟමනට පත් කරන ලද රටකට එබඳු ඇමැති බරක් උසුලා දරා ගත හැකිද යන්නත් මේ නායකයෝ කල්පනා කළ යුතු වෙති. ආණ්ඩුව ක්‍රියා කළ මුරණ්ඩු හා නොසන්ඩාල පිළිවෙත් නිසා ලක්‍ෂ 220කට නොඅඩු ජනතාවගේ ජීවන රටාව ද බරපතළ අර්බුදයකට මැදිවී තිබේ. තවමත් ගොවීහු ප්‍රශ්න වැලකට මැදිවී සිටිති. පාලකයන්ගේ හිතුමතය නිසා විනාශ වී ගිය වී ගොවිතැන යළිත් මහත් වීර්යයෙන් නඟාසිටුවා ගත් ගොවියාට අද ඒ වී ටික විකුණා ගත නොහැකිව තිබේ. එහෙව් වාතාවරණයක් තුළ කෘෂිකර්ම ඇමැතියෙක් අහවල් කෙංගෙඩියට දැයි ගොවියන් නගන ප්‍රශ්නය අප ද අනුමත කළ යුතුය.

ආණ්ඩුවේ නිවේදනවලට අනුව නම් මේ රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනාගෙන් කිසිදු අමුතු බරක් හෝ වැයක් රටට නැත. මේ වන විට රාජ්‍ය ඇමැතිවරුන් 38 ක් පත් කරනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් ජ. වි. පෙ. අනුර කුමාර ගණන් හිලව් ඇතුවම සියලු කරුණු පෙන්වා දී තිබේ. ඔහු අවධාරණය කර ඇත්තේ රාජ්‍ය ඇමැති ධුරයක් නඩත්තු කිරීම වෙනුවෙන් වැයවන මුදල මෙරටේ ජනපදයක් නඩත්තු කිරීම සඳහා යන වියදමට සමාන බවය. ඔහුට අනුව ඒ රාජ්‍ය ඇමැති ධුරය වරප්‍රසාද මල්ලක් නොව කන්දකි. ඔවුන්ට ලැබෙන ඒ සියලු සුඛ විහරණ, සැප සම්පත් සැලසීම සඳහා ජනතාවට අලුතින් 15% ක වැට් බද්දකුත් 2.5% ක වැල් පොලියකුත් ගෙවීමට සිදුවී තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි. රට ආර්ථික අර්බුදයක ගිලී තිබෙන මෙහොතක ජනතාවගේ මුදලින් පරපුටු දේශපාලන රැළක් නඩත්තු කළ යුත්තේ කුමක් නිසාද යන්නත් අනුර කුමාර ප්‍රශ්න කරයි. ඔහුගේ ගණන් හිලව් ඇතුළු ප්‍රශ්න කිරීම් වැරදි නම් එයට පිළිතුරු දිය යුත්තේ ද ආණ්ඩුවය.

ලංකාව යනු දේශපාලනය බඩරස්සාව බවට පත් කරගත් වංචාව, දූෂණය, නාස්තිය, කොමිස් කුට්ටු කඩා ගැනීම ඇතුළු අප්‍රමාණ දුෂ්පිළිවෙත් සමග විනාශය කරා ඇදී යන රටකි. ආණ්ඩුවල ඉහළ සිට පහළටම දූෂණය වංචාව, හොරකම විවිධ අයුරින් වාර්තා වී තිබේ. එසේම දේශපාලනය හා ව්‍යාපාර යන දෙකම එක්ව කරගෙන යෑමට ද මෙරටේ බාධාවක් නැත. එයට අමතරව අද ව්‍යාපාරිකයන් විසින් කරනු ලබන චෝදනාවක් ද ඇත. ඒ දේශපාලනඥයන්ට කප්පම් නොදී කිසිදු ව්‍යාපාරයක් කරගෙන යා නොහැකි බවය. කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් කරන ලද නොයෙක් අනාවරණයන් වලින් ද මෙරටේ සිදු වූ හොර මගඩි ගණනාවක් පිළිබඳව හෙළි වී තිබේ. මේ රටට ගෑස් ලබාගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් මුදලින් ද කෝටි 130 ක් ගසා කා ඇති බවට චෝදනාවක් ද ඔහු නගයි. දින කීපයකට පෙර මෙරටට පැමිණි ඇමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානි සමන්තා පවර් සඳහන් කළේත් වංචාව, දූෂණය පොහොර තහනම හා කොමිස් කුට්ටි අපේක්‍ෂාවෙන් කටයුතු කිරීම නිසා ලංකාව අර්බුදයක ගිලී ඇති බවය.

ලංකාව දූෂණය ඉහවහා ගිය රටක් බව අද ජාත්‍යන්තරය පවා ප්‍රකාශ කරන්නකි. පසුගිය දිනවල මෙරටට ආධාර ලබාදීම සම්බන්ධ සාකච්ඡාවකදී එහි සිටි විශේෂඥයකු වූ ජපන් ජාතික මෂාහිරෝ නොසාකා ප්‍රකාශ කළේත් ලංකාව අප්‍රමාදව දූෂණ මර්දනය සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවය. ඇත්ත වශයෙන්ම මේ රට චෞර රාජ්‍යයක් බවට පත් වූයේ දේශපාලන නායකයන් හා නිලධාරීන්ගේ හවුල් ක්‍රියාන්විතයන් නිසාය. රාජ්‍ය සම්පත් ගසාකෑම, ජනතා මුදල් හොරාකෑම සම්බන්ධයෙන් කලින් කල ජනතාවගේ සංවාදයට ද ලක්වන මහා පරිමාණයේ හොරකම් කොපමණ තිබුණි ද යන්න කව්රුත් දනිති. දේශපාලනයට පැමිණ සිටුවරුන් හා ධනකුවේරායන් බවට පත්වූවෝ ද සිටිති. දේශපාලඥයන්ගේ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද වත්කම් පිළිබඳව ඇසෙන තොරතුරු ඇදහිය නොහැකි තරම්ය. මේ බොහෝ දෙනකුට ඒ වත්කම්, ධනය සපයා ගත් ආකාරය තහවුරු කිරීමට ද නොහැකිය. සමහරු ද්විත්ව පුරවැසියෝය. ඔවුන්ගේ ඉපැයීම් නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට ද නොහැකිය. අද හොරකම, දූෂණය නීතිගත නොවූ සම්මුති බවට පත්ව තිබේ. අප පත්‍රයෙහිම (12 දා) පළවූ පුවතක සඳහන් වුයේ සී. අයි. ඩීය හොරුන්ගේ පැත්ත ගෙන වංචාව හෙළිකළ අයට දඩුවම් දී ඇති බවය. ඒ ලක්‍ෂ 75 ක මුදලකි. අද සිදුවන වංචා, හොරකම් දෙස බලන විට එය කඩල හෝ රටකජු කන තරම් මුදලකි.

ගාලුමුවදොර තරුණ අරගලය ආරම්භ වූයේ මේ දුර්දාන්ත ක්‍රමයට එරෙහිවය. ක්‍රමයේ වෙනසක් හෙවත් සිස්ටම් චේන්ජ් එකක් ඔවූහු ඉල්ලා සිටියහ. ගෝඨාභය එයට යම් යම් ප්‍රතිචාර දැක්වුවත් ඒවා ප්‍රමාණවත් නොවූ අතර ඔහුට රටින් පැන යෑමට ද සිදුවිය. එහෙත් රනිල් ජනාධිපති වීමෙන් පසු ඒ සියල්ල ආපසු පෙර තිබුණු තත්ත්වයට ගෙන ගොස් තිබේ. ගෝඨාභය එදා ඉවත් කළ ඇමැතිවරුන්ට පවා ඒ පදවි ලබා දීමෙන් තහවුරු වන්නේ අද ඒ සියලු සිදුවීම් පාලකයන්ට අමතක වී තිබෙන බව හෝ ඔවුන් ඒවා නොතකා කටයුතු කරන බවය. විපක්‍ෂ නායක සජිත් ප්‍රශ්න කරන්නේ මැයි 09 වැනිදා ප්‍රචණ්ඩත්වය වැපිරූ රාජපක්‍ෂලාට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද කියාය. අරගලයේ කැපී පෙනුණු චරිතයක් වූ දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වූ විවේචන ඉතා දැඩි විය. විපක්‍ෂ නායක සජිත් එය හැඳින්වූයේ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය මුදාහැරීමක් ලෙසය. මේ වන විට දමිතා ඇප මත නිදහස් කරනු ලැබ සිටියි. එසේ වුවද ඇය විසින් තමන් අත්අඩංගුවට ගත් ආකාරය හා බන්ධනාගාරයේදී දැක්වූ ප්‍රතිචාර පිළිබඳව කරන ලද විවේචන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළිවලින් වැසූ නිරුවත විදහා දැක්වීමක් වැන්න. තමන්ට කුරිරු ලෙස සැලකීමට දෙන ලද උපදෙස් පවා බැහැර කළ කාරුණික නිලධාරීන් එහි සිටි බව ද ඇය සිහිපත් කළාය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් ද ඇත. එනම් දමිතාගේ සුවදුක් විමසීමට ගිය ජ. වි. පෙ. ආචාර්ය හරිනි මුහුණ දුන් අත්දැකීම්ය. එයත් දූෂිත නිලධාරීන්ගේම ප්‍රතිචාරයක් විය හැකිය.

මෙවර ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ 51 වැනි සමුළුවේදීත් ශ්‍රී ලංකා ආණ්ඩුව අරගලකරුවන් මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කනස්සල්ල පළවී තිබිණි. ත්‍රස්තවාදී මර්දන පනත යොදා ගනිමින් ගෙනයන අරගලකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම් නැවැත්විය යුතු බව ද එහිදී සඳහන් වූවකි. කුමක් වුවත් පසුගිය දිනක මහ බැංකු අධිපතිවරයා පවසා තිබුණේ ද ආර්ථික හා සමාජ පීඩාව තුළින් යම් විරෝධයක් උද්ගත වුවහොත් එය ඛේදවාචකයකින් අවසන් විය හැකි බවය.

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන චිත්‍රය සම්බනධයෙන් අද ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ ද අප්‍රසාදයක් හා කනස්සල්ලකි. මේ රටේ ජනතාව අතරටම ගොස් ඒ ජීවිතය කුමක්දැයි වටහා ගත් ඇමෙරිකාවේ සමන්තා පවර් වැනි නිලධාරිනියක් නොපැකිළිව කියා සිටියේ ද මේ සමාජ ආර්ථික දේශපාලනය වෙනස් විය යුතු බවය. ජනාධිපතිවරයාගේ මුහුණටම ඒ යථාර්ථය පෙන්වා දීමට ඇය ධෛර්යවන්ත වූයේද මේ රටේ තිබෙන බරපතළ කඩාවැටීම නිසාය. එහෙත් ජනාධිපති රනිල්ට ඒ සඳහා වුවමනා මානසික සවිය හා දේශපාලන සහාය ලබාදීමේ වගකීම පොහොට්ටුවේ බොහෝ දේශපාලනඥයන්ට නොවැටහෙන බව ද පැහැදිලිව දැකගත හැකිය. මේ වනවිට පොහොට්ටුව කෑලි කීපයකට කැඩී වෙන වෙනම සංවිධානය වෙමින් තිබෙන පසුබිම යටතේ වුව ද ඔවුන් බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ රටට සෙතක් සැලසීම නොව තමන්ට හෙටක් සාදා ගැනීම බව කනගාටුවෙන් වුවද කිව යුතුය. අනෙක් අතට අද පොහොට්ටුවේ ඉතිරිවී තිබෙන රොඩුබොඩුවලින් යා හැකි දේශපාලන ගමන කුමක්ද? සත්තකින්ම අලුතින් හිතන සාර දේශපාලන දැක්මක් සහිත චරිත කීයක් පොහොට්ටුවේ ඉතිරි වී තිබේද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment