පොලොන්නරුව VS මරදගහමුල – මරදගහමුල VS පොලොන්නරුව

715

ඉහත සඳහන් මාතෘකාවෙන් අදහස් කරනු ලබන්නේ මරදගහමුල ජනයා කඩු පොලු ගෙන, බූලිවලට පෙට්‍රල් පුරවාගෙන පොලොන්නරුවේ ගෙවල් ගිනි තැබීමට සූදානම් වන බවක් හෝ පොලොන්නරුවේ ජනයා මරදගහමුලට ගොස් එම ප්‍රදේශය බිමට සමතලා කිරීමට යන බව නොවේ. මෙයින් කියවෙන්නේ මේ රටේ සහල් සහ සහල් අතර තිබෙන තරගයයි. ලංකාව අතීතයේදී තුන්වේලම බත්වලින් යැපුණේය. පසුව එය බත් දෙවේලකට බැස්සේය. ඉන්පසු එක වේලකට බැස්සේය. සහල් මිල ගණන් වේගයෙන් ඉහළ යෑම සහ බදු බරත් ජීවන වියදමත් නිසා මේ දෙවේල එක වේලකට බහින බව පෙනෙන්නට තිබේ. මීට අවුරුදු පනහකට පෙර ලංකාව කෘෂිකාර්මික රටකි. එහෙත් ගෝලීය සංස්කෘතිය මගින් එය වෙනස් කර මේ රට කෘෂිකාර්මිකත් නොවන කාර්මිකත් නොවන වාණිජත් නොවන තත්ත්වයකට පත්කරන ලදි. මේ නිසා අපට කෘෂිකාර්මික වියට්නාමය මෙන් වැඩ කිරීමට බැරි ය. එමෙන්ම කාර්මික ජර්මනිය මෙන් කටයුතු කිරීමට ද බැරිය. ඊළඟට මිශ්‍ර ආර්ථික ක්‍රම පවත්නා ඉන්දියාව හෝ තායිලන්තය මෙන් කටයුතු කිරීමට ද අපට බැරිය. ඒ හේතුකොටගෙන අපි ලෝකය නමැති මාර්ග පද්ධතියේ අතරමං වූ රටක් බවට පත්ව සිටිමු. මෙයට වගකිවයුතු අය ගැන ඕනෑවටත් වඩා කතා කරනු ලැබ ඇත. මේ රටේ දැනට ඇතිව තිබෙන සහල් ප්‍රශ්නය ද මෙකී නන්නත්තාර ස්වභාවය නිසා හටගත්තකි.

මෙයට අවුරුදු 500 ට පෙර මේ මුළු රටම නූතන පොලොන්නරුව හා සමාන විය. නූතන පොලොන්නරුවේ අද තිබෙන වී මෝල් සහ වී ගබඩා හා සමාන ජාලයක් එදා මුළු රටේම තිබිණ. මේ වී මෝල් යන්ත්‍රවලින් ක්‍රියා කරන වී මෝල් නොව මිනිස් ශ්‍රමයෙන් වැඩකරන ගොවීන්ගේ ජාල ලෙස හැඳින්වීමට පුළුවන. යුරෝපීය ආක්‍රමණිකයන් ලංකාවට කඩාවැදුණු පසු රටේ ගොවිතැන ක්‍රමයෙන් අභාවයට ගියේය. පසුකාලයේදී පාන්වලට පුරුදු වූ ලංකාව වී වගාව ගැන තිබූ උනන්දුව අත්හැර දැමුවේය. රටෙන් භාගයකට බත් ලබාදිය හැකි මුතුරාජවෙල වගා කිරීම අත්හැර දමන ලදි. කුඹුරක් අවුරුදු හත අටක් අත්හැර දැමූ විට යළි වගාකළ නොහැක. වැසි කාලයට වතුර පිරීම නිසා කුඹුරු පසෙහි ඇති ලවණ සියල්ල ජලයෙහි දියවී පොළොව මතුපිටට එයි. වතුර බැස ගිය පසු කුඹුර මත පැතිර ගිය කවරයක් වැනි ලුණු තට්ටුවක් ඉන්පසු දැකිය හැකිය. මෙවැනි කුඹුරකට බැස්සොත් නම් ඇති රෝග මෙන්ම නම් නැති රෝග ද වැළඳෙයි. විශේෂයෙන්ම මී උණ වැනි දරුණු රෝග මේ අතර තිබේ. අද මුතුරාජවෙල අපට වැදගත් වන්නේ රටේ පරිසර පද්ධතිය Cool කරන තෙත් බිමක් ලෙස පමණි. මෙහි අක්කර ලක්ෂ ගණනක් තිබේ. මේ කුඹුරු යාය ටිකෙන් ටික අල්ලන ඉඩම් වෙන්දේසිකාරයෝ ඒවා ගොඩකර කැබලි කර විකුණති.

මීට අවුරුදු 25 ට පමණ පෙර ලංකාවේ වී වෙළඳාමේ ඒකාධිකාරය තිබුණේ මරදගහමුලට ය. මරදගහමුල හාල් නැත. එහෙත් එහි වී මෝල් ඇත. ඒ නිසා ලංකාවේ හැම තැනකින්ම ගෙනෙන වී මෙතැනදී කොටනු ලැබීය. ඉන්පසු ඒ හාල් ලංකාව පුරාම බෙදාහැරීම සිදුවිය. මේ කියන කාලයේදී කීරි සම්බා බිහිව තිබුණේ නැත. ඒ වෙනුවට මිනිසුන්ගේ දිව පුරුදු වී තිබුණේ සූදුරු සම්බා සහ සාමාන්‍ය සම්බාවලට ය. සූදුරු සම්බා මිලෙන් ඉතා වැඩි ය. සාමාන්‍ය සම්බා විශාල වශයෙන් මිල අඩු නැති නමුදු මිනිසුන්ට දරාගත හැකි මට්ටමට තිබිණ. ඒ අතර සූදුරු සම්බා සහ සාමාන්‍ය සම්බා අතරමැදට කීරි සම්බා හඳුන්වාදෙනු ලැබේ. මෙය සාමාන්‍ය සම්බාවලට වඩා ගණනින් ටිකක් වැඩි දිවට ප්‍රියමනාප හාලකි. පසුකාලයේදී මුළු ලංකාවම කීරි සම්බාවලට පුරුදු විය. දැන් මාස දෙකතුනක සිට කීරි සම්බා හිඟයක් පවතී. පොලොන්නරුවේ සිටින සහල් වෙළෙඳාමේ ලොකුම මුදලාලිලා මේ සම්බන්ධයෙන් ද්වේශයට ලක්ව සිටිති. ඇත්තටම කීරි සම්බාවලට වුණේ මොකක්ද? එය අතුරුදන් වූයේ ඇයි? ඉතා වැඩි මිල ගණන්වලට කළු කඩ කිහිපයක් තුළ කීරි සම්බා හොරෙන් විකුණනු ලැබේ. කොහොමටත් පොලොන්නරුවේ සහල් රජවරුන්ගේ කටවල් ඕනෑවට වඩා වැඩිය. ඒ නිසා මේ රජවරුන් සමග ගේම ඉල්ලීම සඳහා මරදගහමුල වී වෙළෙඳපොළ යළි දියුණු කිරීමට ආණ්ඩුවෙන් පියවර ගෙන තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් පෞද්ගලික අංශයට අත ගැසූ විට එම අංශය දැවී පිච්චී මකබෑවී හැඳිගෑවී යයි. සතොස ට වුණෙත් එයම ය. ප්‍රවාහන ව්‍යාපාරයටත් එයම සිදුවිය. එහෙත් මරදගහමුලට එසේ නොවේවා යැයි අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමු. එයට හේතුව මරදගහමුලට කෙළ උනොත් අපේ උදරය තවදුරටත් හැකිලීමට ඉඩ ඇති වීමය.

2014 දී පොලොන්නරුවේ සහල් මුදලාලිලාගේ බඩවල් ක්‍රමයෙන් විශාල වෙමින් පවතිද්දී මරදගහමුල විශාල ධාන්‍යාගාරයක් සාදන ලදී. මෙහි සහල් මෙටි්‍රක් ටොන් 75000 ක් ගබඩා කළ හැකිය. එහෙත් ආණ්ඩු පෙරළි, සහල් මුදලාලිලාගේ විශාල උදරය ඇමැතිවරුන්ගේ නාසයේ වැදීම වැනි කාරණා නිසා මරදගහමුල වී ගබඩාවෙන් කවදාවත් වැඩක් ගත්තේ නැත. දැන් මේ වී ගබඩා යළි ක්‍රියාත්මක කර පොලොන්නරුවේ ගණන් බැස්සීමට ආණ්ඩුව තීන්දු කර තිබේ. ඊළඟ ප්‍රශ්නය වන්නේ ගබඩා හැදුවාට වී කොහෙන්ද යන ප්‍රශ්නය මතුවීමය. ඊළඟ කන්නයේදී පොලොන්නරුවේ වී මුදලාලිලාගේ මිලට වැඩි මිලක් ගෙවා වී මිලට ගෙන මේ ගබඩාවල පිරවීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටී. අභාවයට ගොස් ඇති වී අලෙවි මණ්ඩලය යළි නඟාසිටුවීම ද මේ මගින් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment