අක්‍ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන්ගේ ඇස් අන්ධ වීම ගැන කොමිසමට පැමිණිල්ලක්

132

අක්ෂි සැත්කම්වලට ලක් කිරීමෙන් පසු එම රෝගීන් සඳහා භාවිතයට ගන්නා ප්‍රෙඩ්නිසොලෝන් (prednisolone) නමැති ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් නිසා මේ වනවිට රෝගීන් විශාල පිරිසකගේ ඇස් අන්ධ වී යෑමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇතැයි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඇතුළු සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (4 දා) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

රට තුළ මතුව තිබෙන ඖෂධ හිඟය හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා නැති විවිධ පාර්ශ්ව හරහා මෙරටට නිර්වින්දන එන්නත් හා අනෙකුත් ඖෂධ වර්ග ගෙනඒමත් සමග රටපුරා රෝහල් රැසකින් රෝගීන් මියයෑම හා ඇස් අන්ධ වූ රෝගීන් සැලකිය යුතු පිරිසක් මේ වනවිටත් වාර්තා වී ඇතැයි වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දී තිබේ. කොළඹ ඇස් රෝහල, නුවරඑළිය රෝහල ඇතුළු රෝහල් කිහිපයකම අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් කිහිප දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇතැයි මේ වනවිටත් නිල වශයෙන් වාර්තා වී තිබෙන අතර තවත් සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් තිබෙන බවද ඒ මහතා කියා සිටී.

ප්‍රමිතියෙන් තොර බාල නිර්වින්දන එන්නත් නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ රෝගීන් කිහිප දෙනකු මියයෑම වාර්තා වී තිබූ බවත් ඒ මහතා කියා සිටී. මෙරට ලියාපදිංචි වී නැති තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා රෝගීන්ගේ ඇස් අන්ධ වීම සහ රෝගීන් මියයෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා හා විධායක අධ්‍යක්ෂකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.

මේ සියලු තත්ත්වයන් සලකා බලා මෙම සිදුවීමට වගකිවයුතු සියලු නිලධාරීන් මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස අල්ලස හා දූෂණය නාස්තියට එරෙහිව ජනතා ව්‍යාපාරය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment