ගැඹුරු අර්බුදයකදී රටට අවශ්‍ය වන්නේ දැක්මක් සහිත නව දේශපාලන ව්‍යාපාරයක්!

106

ගැඹුරු අර්බුදයක් තිබෙන අවස්ථාවක අපේ රටට අවශ්‍ය වන්නේ දැක්මක් සහිත නව දේශපාන ව්‍යාපාරයක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ දෙවිනුවර ආසන සමුළුව දික්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පෙරේදා (05 දා) සවස පැවති අවස්ථාවේ රැස්වීම අමතමිනි.

එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

මෙම මැතිවරණය හුදු පළාත් පාළන මැතිවරණයක් නොවෙයි. අපේ රටේ බලය මාරු කිරීම සඳහා එන වැදගත්ම තීරණාත්මක මැතිවරණය ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ නීතිය ගැන රටේ ජනතාවට විශ්වාසයක් නෑ. නඩුව කාගෙද කියල අහපුවාම තීන්දුව මොකද්ද කියලා ඔළුවට එනවා. ඒකෙන් කියවෙන්නේ නීතියේ සාධාරණත්වයක් නැති බව. හැබැයි අධිකරණය නීති පද්ධතිය කඩා වැටුණා කියන්නේ ඒ රටේ කිසිවක් ඉතිරි වෙන්නේ නෑ. දේශපාලන නඩු නොවෙයි අපේ නඩුවකදී අපිට දේවාලයට ගිහින් සාධාරණය ඉෂ්ට වෙන්න කියල භාරයක් වෙන්න පුළුවන්. අපිට පොල් ගෙඩියක් ගහන්න පුළුවන්. අපිට මිරිස් අඔරන්න පුළුවන්. හැබැයි නීතිය ක්‍රියාත්මක වන්නේ අධිකරණ පද්ධතියෙන්. අධිකරණ පද්ධතිය කඩා වැටීම නීතියේ විධානය කඩා වැටීම මුළු රටක් සමතලා කරලා අවසන් වෙනවා. අපේ පාලනයක් යටතේ නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන නව ව්‍යවස්ථාවක් ගෙනෙනවා. වෙනදා ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනකොට විපක්ෂ නායකයා නිකම්ම ඔටුන්න දාගන්නවා. දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්වෙලා තියෙනවා. විපක්ෂ නායකයා කියන කෙනා ජෝකර් කෙනෙක් වෙලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කියන්නම්. එයත් පාර්ලිමේන්තුවේ අවුරුදු 22 යි . මමත් පාර්ළිමේන්තුවේ 22 යි. එයා පාර්ළිමේන්තුවේ රාජපක්ෂලා කියලා නම කියපු තැනක් පෙන්වලා දෙන්න.

බලන්න. කියන්නේ නෑ. ටි්‍රප් එකක් යනවිට ඒදණ්ඩක් දකිනකොට අම්මලටත් ඉස්සර දරුවා ගිහිල්ලා ඒදණ්ඩෙ යන්න පටන් ගන්නවා. මෙයත් එහෙමයි. අම්මයි තාත්තයි එක්ක යනවිට

ඉණිමගක් දැක්කොත් ඒකට නගිනවා. ළමා කාලයේ එහෙම තමයි. බැට් එකක් දැක්කොත් මොකද කරන්නේ පොඩි ළමයි? බෝල ගහනවා. මේ මම කියන්නේ අපහාසයට නොවෙයි. පව් ! මොකද වෙලා තියෙන්නේ. ළමා කාලයේ අහිමිවුන දේවල් දැන් ලබාගන්න උත්සාහ කරනවා. ඒකට අපි ඉඩ දෙන්න ඕන. රැස්වීමකට ආවොත් රැස්වීම පැත්තකින් තියලා බෝල පාරක් ගහනවා. මම කියන්නේ ඕවා දේශපාලනය නොවෙයි. ඒ නිසා ගැඔුරු අර්බුදයක් තිබෙන අවස්ථාවක අපේ රටට අවශ්‍ය වන්නේ දැක්මක් සහිත නව දේශපාන ව්‍යාපාරයක් රනිල් පසුගිය දවස්වල කියල තියෙනවා. එයාට වරමක් දුන්නලු ඡන්ද තියන්න නොවෙයි රට හදන්න. කවුද රනිල්ට වරමක් දුන්නේ රට හදන්න. ජනතාව ඔයාට විරුද්ධව කතිරෙ ගැහැවුවේ. ගෝඨාභය දිනවන මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය රනිල් වික්‍රමසිංහ පළවා හරිමු කියන එකයි. රටේ ආර්ථිකය වැට්ටෙව්වා. මහ බැංකුව කැඩුවා. මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන බවට පොරොන්දු වුණා. රනිල් උඩ බලාගෙන ඉන්දෙද්දී ආරක්ෂාව නොදීම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවුණා. විශාල පිරිසක් මියගියා. රනිල් විකුණපු හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් යළි පවරාගන්න. අන්තිමට මෙකද්ද වුනේ. ගෝඨාභය ගෙදර ගියා රනිල් ජනාධිපති වුණා. මරු වැඩක් වුනේ. රනිල් ජනවරම තියෙන්නේ ඔයා ගෙදර යවන්න.

පසුගියදා මම ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා ගිය අවුරුද්දට අළුතින් පාස්පෝට් කීයක් හැදුවද කියලා. අගෝස්තු මාසය 30 වනවිට අළුතින් පාස්පෝට් 6,25,000 කට වැඩියෙන් හදලා තියෙනවා . හැබැයි පාස්පෝට් එක අතේ තිබුනට රට යන්න අවස්ථාව ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද?

ඔයගොල්ල දැක්කා පසුගියදා මාධ්‍ය වාර්තා කළා ඕමාන් රටට රැකියා අපේක්ෂාවෙන් ගියපු අපේ සහෝදරිය අපේ දියණිය, අපේ නැගණිය විශාල ප්‍රමාණයක් හමේ පාට ඇඟේ හැඩය අනුව ගණිකා වෘත්තියට වෙන්දේසි වෙලා තියෙනවා. මේ ළඟදී වාර්තා වෙලා තිබුනා අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් ගැබිණි මව්වරු තුන්දහස් ගණනකට නිසි ආහාර වේලක් නෑ කියලා. ගැබිණි මවට ආහාර නෑ කියන්නෙ මොකද්ද? අද රටේ ඉන්න දරුව පවා මේ පාලකයන්ගේ වරද නිසා වන්දි ගෙවමින් සිටිනවා. නූපන් දරුවන් පවා පාලකයන් ඇති කරන ලද ව්‍යසනයේ ගොදුරු බවට පත්වෙලා තියෙනවා . රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටිලා තියෙනවා. මේ පාලකයන්ට මේ කිසි දේකට සැළසුමක් නෑ. ඔහේ ඉබාගාතේ රට ගමන් කරමින් තිබෙනවා. මේ පාලකයන් ගැන මැනගන්න හොඳ සාධකයක් තමයි. මේ බිත්තර ප්‍රශ්නය. බිත්තර මිල ඉහළ යන්න හේතු කිහිපයක් තිබෙනවා. පහුගිය කාලේ ඉල්ලුම අඩුවුණා. සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර කර්මාන්තය කඩා වැටුණා. ඒකෙන් නිෂ්පාදනය අඩුවීම මිල ඉහළ යන්න හේතුවක්. බඩඉරිඟු, සෝයා ඇතුළු කුකුලන්ට දෙන ආහාර මිල ඉහළ ගියා. විදුලි බිල ඉහළ ගියා. ඖෂධ මිල ඉහළ ගියා. ඩීසල් මිල ඉහළ ගියා. මේ හැම දේම බිත්තර මිලට බලපානවා. දැන් විසඳුම් හොයන්න ඕන ඒකට. දැන් ඇමති කියනවා ඉන්දියාවෙන් බිත්තර ගේනවා කියලා. ඉන්දියාවේ කිකිලියෝ දවසට බිත්තර දෙක බැගින් දානවද? බිත්තර නිෂ්පාදනය වැනි කුඩා කර්මාන්තයකටවත් නිසි සැළැස්මක් හදාගන්න බැරි ආණ්ඩුව මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරයිද? ලෝකයේ අයිටී කර්මාන්තයේ පංගුවක් අයිති කර ගනීද? ලෝකයේ මහා වෙළෙඳ පොළකට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරයිද?

රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය , නීතිඥ උපුල් කුමරප්පෙරුම , අයිතීන් උදෙසා කාන්තාවෝ සභාපතිනි සරෝජා පෝලරාජජ් ඇතුළු කිහිපදෙනෙක් රැස්වීම ඇමතූහ. මහා සංඝරත්නය, අන්‍ය පූජකතුමන්ලා ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වූහ.

නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment