ප‍්‍රචණ්ඩත්වයට මුවාවී පිරිසක් රට ලේ විලක් කරන්න හදනවා  – ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

124

හැමෝම එකතුවෙලා අවුරුද්දක් දුක් වින්දොත් රට ගොඩගන්න පුළුවන් – හරින් ප‍්‍රනාන්දු (සජබ)

රටේ ආර්ථික අර්බුදයට  පාර්ලිමේන්තුව වගකිවයුතුයි – බන්දුල ගුණවර්ධන (පොජපෙ)

තාත්තාගෙන් පුතාට ඥාතියාට  බලය නොයන ක‍්‍රමයක් රටට අවශ්‍යයි – අතුරලියේ රතන හිමි (අජප)

රටේ මේ වගේ පිපිරීමක් ඇතිවුණේ ජනපතිගේ උද්ධච්ච හැසිරීම් නිසයි – අනුර කුමාර දිසානායක (ජවිපෙ)

උද්ඝෝෂණ කරලා රට අරාජික නොකර රට හදන වැඩපිිළිවෙළක් සකස් කරමු – දයාසිරි ජයසේකර (ශ‍්‍රීලනිප)

කලබලවලට ඉඩදීලා රට හමුදාකරණයට ලක්කරන්නයි රාජපක්ෂලාගේ වුවමනාව – ශානක්‍යම් රසමානික්කම් (ද්‍රජාස)

අවි ආයුධ රැගත් නන්නාඳුනන කල්ලිවලට සැරිසරන්න ඉඩ දෙන්න එපා – මනුෂ නානායක්කාර (සජබ)


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස උද්ඝෝෂණ කිරීමට පූර්ණ අයිතිය ඇති නමුත් ඊට මුවාවී ප‍්‍රචණ්ඩත්වය ඇතිකර 88/89 කාලයේ මෙන් රට ලේ විලක් කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාමකාමීව උද්ඝෝෂණය කරන සාමාන්‍ය ජනතාව ඔවුන් ගැන අවධානයෙන් පසුවන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (06) රැුස්විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදය ආරම්භ කෙරිණ.

ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා (ස.ජ.බ.)

නොදන්නා යතුරු පැදි වගයක් ධාවනය වුණා. මේ ධාවනය වන යතුරු පැදියකින් පැමිණ වෙඩි තබන්න පුළුවන්. දැඩි අරගල තත්ත්වයකට මුල් වෙන්න පුළුවන් මේ සිද්ධි. ඒ නිසා කොරෝනාවලට භාවිතා කළ යතුරු පැදිම කියලා අත හරින්න එපා. අවි ආයුධ රැුගත් නන්නාදුනන කල්ලිවලට මෙහෙම හැසිරෙන්න ඉඩ දෙන්න එපා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා (ස.ජ.බ.)

හමුදාවේ කෙනෙක් පොලිස් නිලධාරියකුට ගැහුවා නම් එය මම අනුමත කරන්නේ නැහැ. ඒ ස්ථානයට යතුරු පැදි හතරක් ඒම මම අනුමත කරන්නේ නැහැ. ව්‍යාකූල තත්ත්වයකදීම මේ සෙබළුන් කලබල වෙන්න පුළුවන්.

පාර්ලිම්න්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.)

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා මේ සභාවෙන් ඉල්ලීමක් කළා පොයින්ට් ඔෆ් ඕඩර් නැතිව සභාව කරගෙන යමු කියලා. නමුත් ඔහුම තමයි අත දරුවකු වගේ කෑගහන්නේ. මිරිහානේ සිදුවීමේදී නිශ්ශංක සේනාධිපති දෙසීයක කල්ලියක් බැස්සුවා කියලා වාර්තා වුණා. එවැනි තත්ත්වයකදී ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඒ ස්ථානවලදී ඇති විය හැකියි. පාර්ලිමේන්තුවට එන්න යන්න ගේට්ටු කිහිපයක් තිබෙනවා. ඒවායෙන් තමයි අපි ගියේ. මේ අරගල හේතුවෙන් පස්ස දොරෙන් අපි ගියේ නැහැ.

ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා

විජිත හේරත් මහතා සමඟ පෞද්ගලික ප‍්‍රශ්නයක් අපට නැහැ. හරිනි අමරසූරිය මහත්මිය පස්ස දොරෙන් ගෙන ගියා. හෙල්මට් දාගෙන ඇය ගියේ. කවදාවත් මිනී මරන්න අපි පොළඹවන්නේ නැහැ. මේ රට ලේ විලක් කරන්න එපා. ලේ ගඳ සුවඳ දන්න අය මේ රට ලේ විලක් කරන්න හදනවා.

විජිත හේරත් මහතා

මම කතා කරන විට මයික් එක ඕෆ් කරනවා. කැලෑ හමුදාවක් තහඩු අංක නැතිව එනවා. අපේ නායකයා අපි ආරක්ෂා කර ගන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ පුටුවේ වාඩි කරන්න කටයුතු කළේ අපි.

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා

විජිත හේරත් මන්ත‍්‍රීවරයා බොරු කියන්න ගොතන්න පුළුවන් දක්ෂයි. කුරුණෑගලින් බස් හයක් ගෙනාවා කියනවා. හෙල්මට් එක දාගෙන ගිය කෙනා හෙල්මට් දාගෙන ඩබල් කැබ් එකේ යන එක අලූත් ක‍්‍රමයක්. මේ සම්බන්ධයෙන් හොයා බලන්න. අනුර කුමාර දිසානායක මහතා කොහේට ගෙනිහිංද බැස්සුවේ කියලා හොයා බලන්න.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එම්. මරික්කාර් මහතා (ස.ජ.බ.)

මේ ප‍්‍රශ්නය ආරම්භ වුණේ කොතැනින්ද කියලා හොයන්න ඕන. පාස්කු ප‍්‍රහාරය විකුණලා තමයි මේ අය බලයට පැමිණියේ. කොවිඞ් එන විට පැණි විශ්වාස නොකර එන්නත් ගේන්න කියලා අපි කීවා. මේ රටේ ආර්ථික ඝාතකයෙක් කබ්රාල්. පාරේ සිටින්නේ අපට සහාය දුන් අය නොවේ. බහුතරයක් සිටින්නේ හැටනව ලක්ෂයක් ඡුන්දය දුන් අය. ඒ අය තමයි ගෝඨා ගෝ හෝම් කියන්නේ. මේ අවස්ථාවේ අවශ්‍ය වනුයේ බහු පාක්ෂික හෝ ජාතික ආණ්ඩු නොවේ. ජනතා විරෝධය තේරුම් ගත යුතුයි.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතා (පො.ජ.පෙ.)

අනුර කුමාර මහතා ගිය කැබ් එකට නැංග පාතාලයා කවුද කියලා ඒ මන්ත‍්‍රීවරියගෙන් අහන්න.

සභානායක දිනේෂ් ගුණවර්ධන – පුවරු අල්ලාගෙන සිටියාට වැඩක් නෑ. සභාව කරගෙන යමු.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන – ප‍්‍රචණ්ඩත්වයෙන් නැවත 88/89 යුගයක් ඇති කරන්න උත්සාහ කිරීම හෙළා දකිනවා. මුදල් පිළිබඳ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. මේ මූල්‍ය අර්බුදයට සියලූදෙනා කටඋත්තර දෙන්න වෙනවා. මේ ආර්ථික අර්බුදයට මේ පාර්ලිමේන්තුව වගකිව යුතුයි. පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ ගැන සොයා බලන්න.

ඩොලරයක්වත් නැත්නම් තෙල් ගේන්නෙ කොහොමද? ගෝඨාභය රාජපක්ෂ ගියාම තෙල් ඩොලර් ලැබෙනවද?

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) – මට අත්‍යවශ්‍ය වැඩකට එළියට යන්න තිබුණා, ඊට ගියා. පක්ෂ නායක රැුස්වීම ප‍්‍රමාද වූ නිසා පිටත්වුණා. එළියේ උද්ඝෝෂකයන් පිරිසක් අපට චෝදනා කළා. මගේ වාහනය නතර කළා. ඔවුන් හොරුන්ට දඬුවම් දීමත් හොරු පැනලා ගිය හැටිත් කිව්වා. මම කිව්ව ඕව අවුරුදු ගාණක සිට කිව්වා කියලා. අරගලය නතර කරන්න එපා කිව්වා. රටේ අමු දවල් ලසන්ත ඝාතනය කළා. පෝද්දල ජයන්තට පහර දුන්නා. තාජුඩින් ඝාතනය වුණා. කවුරුත් වගකිවයුත්තෝ නැහැ. ජනාධිපති එදා ආරක්ෂක ලේකම් කිව්වත් අද ඔහු ජනාධිපති. ස්වෙච්ඡුාවෙන් අපි ආරක්ෂාව ඇතිකරගෙන තියෙනවා. අපට ආරක්ෂාව සපයනවා. මෝඩකමට බෙල්ල දෙන්නෙ නැහැ. අපිත් ආරක්ෂාව සහිතව හැසිරෙනවා. හෙටත් එහෙම කරනවා. ලාබෙට අපේ ජීවිත ගොදුරු කරන්න දෙන්නේ නැහැ අපරාධ ගණනාවකට වගකියන එදා ආරක්ෂක ලේකම් අද මහ පුටුවේ. ඒ නිසා අපේ ආරක්ෂාව බලා ගන්නවා. හෙල්මට් දාගෙන හිටිය කෙනා මගේ වාහනයට නැග්ගේ. කාටවත් ප‍්‍රශ්නයක් නැහැ.

හිරිපොද වැස්සක් තිබුණු නිසයි එහෙම ගියේ. ඕන පරීක්‍ෂණයකට මම ලෑස්තියි. ජනපති උද්ධච්චව ඉන්න නිසයි අද මේ වගේ පිපිරීමක් සිදුව ඇත්තේ. උඩුමහලේ සිටි ජනපති බිමට බහින්නේ නැතිව සිටිය නිසයි මෙහෙම වෙන්නේ. තමන් වටේ ඉන්න අයට පමණක් සවන් දුන්නා. බලය තියෙන්නේ ජනපති වටේ ඉන්න අයට නොවෙයි ජනතාවටයි.

ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු – ජවිපෙ එදා 88/89 අහිංසක මිනිස්සු මරපු අය තමයි අද ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක වෙලා තියෙන්නේ. එදා අපිව දඩයම් කරන්න ආපු නඩුවලින් අපි නිදහස් වුණා.

මේ මන්ත‍්‍රීවරුන්ට ආරක්‍ෂාව තිබිය යුතුයි. තරුණයන් නොමඟ යවන්න එපා. අනුර කුමාරගේ විතරද ජීවිතය. අනෙක් මන්ත‍්‍රීවරුන්වත් ආරක්‍ෂා කරගත යුතුයි. එදා අපේ ගෙදරට ඇවිත් වෙඩි තිබ්බා. මැර බලයට එනවා නම් අපිත් නිකං ඉන්නේ නැහැ.

මේ තරම් පහත් තත්ත්වයට වැටෙන්න එපා. මේක පාලනය කරගත යුතුයි. නැත්නම් මහා විනාශයක් වන්නේ.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා –

ඊයේ බළපිටියෙන් මිනිස්සු ගෙනැල්ලා මගේ නිවස ඉදිරිපිට බලපෑම් කළා. ජනතාවත් තම පීඩනය සාමකාමීව කරන එක සාධාරණයි. ඒත් මේ තුළ තම දේශපාලන වුවමනාවට වැඩ කරන අය ඉන්නවා. ඔවුන් ජනතාව පාවිච්චි කරනවා ඔටුන්න දාන්න ඉන්න අය පටු දේශපාලන වාසි ලබා ගන්න බලාගෙන ඉන්නවා. ඔවුන්ට ජනතාවගේ ජීවිත වටින්නේ නැහැ. තරුණයන්ගේ ජීවිත බිලි දී හෝ රජ වෙන්න සමහරු උත්සාහ ගන්නවා. ගරුවරයකු ලෙස මම තරුණයන්ට නිවැරදි මඟ යන්න කියා උපදෙස් දෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) –

අවුරුදු 2 ක් ජනාධිපතිට කියලා කියලා අහන්නේ නැති නිසයි ජනතාව පාරට බැස්සේ. ඇමැතිවරු එළියට බැස්සත් ගණන් ගන්නෙ නැහැ. අද හැමෝම ගෝඨා ගෝ හෝම් කියනව. කරුණාකර ගෙදර යන්න පවතින ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න.

පාර්ලිමේන්තුව තුළ ප‍්‍රචණ්ඩත්වය පතුරුවන්න එපා.

අපේ ජනබල පක්‍ෂයේ පත්කළ මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි –

මේ වෙලාව තීරණාත්මකයි. 225 ම මැරෙනවා නම් හොඳයි කියලා ජනතාව කියනවා. ඒ නිසා සම්මුතියෙන් ප‍්‍රශ්න විසඳිය යුතුයි.

අන්තර්වාර පාලනයක් ගෙන ඒමට විපක්‍ෂයේ පක්‍ෂ කැමති නැහැ. එහෙනම් එවැනි පාලනයකට සහාය දිය යුතුයි. මේ ආණ්ඩුවට දීර්ඝ කාලයක් යන්න බැහැ. මාස 6 ක් ඇතුළත විසඳුම් සෙවිය යුතුයි. ඉන් පසුව මැතිවරණයකින් රාජ්‍ය පාලනය තීරණය කළ යුතුයි. එසේ නොවුණහොත් හමුදා ආණ්ඩුවක් හෝ කැරලිකාර තත්ත්වයකට රට යා හැකියි.

තාත්තාගෙන් පුතාට, ඥාතියාට බලය නොවන, දැන උගත් මිනිස්සුන්ට බලය යන ක‍්‍රමයක් අවශ්‍යයි. ඊට එකඟ අයට සහාය දිය හැකියි.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ (ශ‍්‍රීල.පො.පෙ) – අද ආණ්ඩුවට ආණ්ඩුව ගෙනියන්න බැහැ. ආණ්ඩුවක් නැහැ. විපක්‍ෂයටත් රට කරන්න වුවමනාවක් නැතිනම් පාර්ලිමේන්තුව කුමකටද?

පාර්ලිමේන්තුවට බලය තියෙනවා නම් වගකීම් ඉෂ්ට කරනවාද? අද රට අරාජිකයි. අද රටේ මිනිස්සු බෙදිලා කොහොමද යන්නේ. අද ජනාධිපති යා යුතුයි කියන ඉල්ලීමට ජනතාව ඇවිල්ලා. අද අපි ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන්නාද නැහැ. අද වාද විවාද කරනවාට වඩා සම්මුතියෙන් ගැටලූ විසඳිය යුතුයි. පාර්ලිමේන්තුව, විධායකය වගේම රාජ්‍ය සේවය හා නීතියත් මේ ප‍්‍රශ්නවලට වගකිවය යුතුයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජේ. සී. අලවතුවල (සජබ)

2019 දී තමන් පත් කරපු ජනපතිට එරෙහිව අද තරුණයෝ පාරට බැහැලා. ජනතාව පාරට ගෙනාවේ ආණ්ඩුවයි. ප‍්‍රශ්නවලට විසඳුම් දුන්නෙ නැහැ. ආණ්ඩුවේ අයට ගෙවල්වල ඉන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග (ශී‍්‍රලපොපෙ)

රට ගැන හිතන නායකයා ආවාම ඔවුන්ට එරෙහි වන කණ්ඩායම් එනවා. 69 ලක්ෂයක් ජනවරම දුන්නෙ ජනපතිට රට පාලනය කරන්න. එදා ජේ. ආර්. ජයවර්ධනට කළු ජූලිය වෙලාවේ ඔහුට එරෙහිව පෙළපාලි ගියා. එහිදී ජනාධිපති ඊට මුහුණ දුන්නා. අස්වී ගියේ නැහැ.

ජවිපෙ තුන්ඩු කෑලිවලින් කඩ වැහුවේ. ඒ වගේ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ජනතාව කුලප්පු කරන්නේ. දෙසිය විසිපහම එකයි කියලා ගහන්නේ ආණ්ඩුවේ අපට විතරයි. විපක්ෂයේ අයට ප‍්‍රශ්නයක් නැහැ. රට මේ තත්ත්වයට ආවේ විපක්ෂය ආණ්ඩු කරන විට කළ අපරාධ නිසයි. අද ඔවුන්ට ප‍්‍රශ්නයක් නැහැ. ඒ තුළින් පේනවා මේ උද්ඝෝෂණවල දේශපාලන බලපෑම්.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී ලොකුගේ

එදා ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේ විශාල භීෂණයක් තිබුණා. පේ‍්‍රමදාස ජනාධිපති සමයේ වීශ්වාසභංගයක් ආවා. ලලිත් ඇතුලත්මුදලි මැරුණු පසුව පේ‍්‍රමදාස මිනීමරුවා කියලා පෝස්ටර් ගැහුවා. ඊට පෙර මහා භීෂණයක් ඇති වුණා. එජාපයට එරෙහිව භීෂණයක් කිව්වත් එක තුන්ඩුවකින් රටම කරුවලේ හිටියා.

මගේ ගෙදරට ආවේ තරුණ පිරිසක්. හෙල්මට් කණ්ඩායමක් පෙට‍්‍රල් බෝම්බ ගැහුවා. මහා භීෂණයක් ඇති වුණොත් ජීවිත හානි විය හැකියි. ජනාධිපතිට කරන හානි විපක්ෂයටත් එල්ල වෙනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර

‘ගෝඨා ගෝ හෝම්’ කිව්වට මේ ප‍්‍රශ්නවලට විසඳුම් එන්නෙ නැහැ. පාර්ලිමේන්තුව එක්ව වහාම විසඳුම් සකස් කළ යුතුයි. රට අරාජික වෙන්න දෙන්න බැහැ.

අපි මාස 6කට ආර්ථික වැඩපිළිවෙළක් හදමු. අපි කාටවත් මේ වගකීමෙන් මිදෙන්න බැහැ. කතා කරලා වැඩපිළිවෙළක් හදමු. ශී‍්‍රලනිපය ලෙස අපි මාස ගාණක් කතා කළා. කවුරුත් උනන්දු වුණේ නැහැ. උද්ඝෝෂණ කරලා රට අරාජික නොකර රට

ගොඩනඟන වැඩපිළිවෙළකට යමු.

මඩකලපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ශානක්‍යන් රාසමානික්කම්

අද කවුරු කිව්වත් පාර්ලිමේන්තුව නැහැ. මිනිසුන්ට කනගාටුවක් තියෙනවා පොහොට්ටුවේ ඉන්නේ එක එක ජාවාරම්කාරයෝ. පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කළ යුතුයි.

බස්නාහිර පළාතේ සටනක්. මේක අතහරින්න එපා. විපක්ෂය සංවිධානය කරනවා කියලා ආණ්ඩුව කියනවා. විපක්ෂය සංවිධානය කළා නම් ආණ්ඩුවේ කාටවත් ගෙදර යන්න බැරි වෙනවා.

රාජපක්ෂ ආණ්ඩුවට ඕන කලබල වෙන්න ඉඩ හැරලා හමුදාකරණය කරන්නයි. ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතුයි. ලංකාවේ තැන් තැන්වල උද්ඝෝෂණය නොකර එක තැනක එක දිගට උද්ඝෝෂණය කළ යුතුයි.

කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන (ශී‍්‍රලපොපෙ)

ප‍්‍රචණ්ඩත්වය රට තුළ ස්ථාපිත කරන්න සමහර මන්තී‍්‍රවරු කතා කරනවා. මේ අයව පාර්ලිමේන්තු එවීම ගැන දුකයි. විශ්වවිද්‍යාල දරුවෝ හෝ තරුණයන් විරෝධතාවලට ගෙන්වා එ් අතරට වෙනස් බලවේග ඇවිත් කි‍්‍රයාත්මක වෙනවා.

අද සූදානම් වෙන්නේ 83, 89 සිදු වූ දේවල් ඇති වන තත්ත්වයට රට පත් කරන්නයි. ලේ පිපාසිතවයි ඉන්නේ. එල්. ටී. ටී. ඊ. වගේ සංවිධානයක් හදන්නයි මේ අයට වුවමනා. සමහරු ආණ්ඩු කරන හැටි, ආර්ථිකය මෙහෙයවන හැටි උගන්වනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න අපිත් ලෑස්තියි.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් (සජබ)

අද 225 ම එපා කියන්නේ රාජපක්‍ෂලාට ජන්දෙ දීපු අයයි. අපට ජන්දෙ දීපු අය එහෙම කියන්නෙ නැහැ. අද වියත්මගත් නැහැ. ආණ්ඩුව බිම වැටිලා. ආණ්ඩුව පණඅදිනවා. පූජකවරුන් පාරට බැහැලා. පෝලිම් වැඩිවෙලා.

අද දවසේ කිසිම න්‍යාය පත‍්‍රයක් නැතිව නූල කැඩිච්ච සරුංගලය වගේ රට තිබෙන්නේ. ජනතාව කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂට යන්න කියලා.

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ (ශ‍්‍රීලපොප)

දේශපාලනිකව පහර දෙන හැම තැනම හෙල්මට් කල්ලියක් හිටියා. හෙල්මට් කල්ලියේ අයෙක් ඊයේ මන්ත‍්‍රීවරයෙක්ගේ කැබ් එකට නැග්ගා රටම දැක්කා. මුදල් අමාත්‍යාංශය මට දෙන්න, කරලා පෙන්වන්න්ම් කියලා සජිත් පේ‍්‍රමදාස ඉල්ලූවොත් අපේ පූර්ණ සහාය ලබාදෙනවා.

අනුර කුමාර මාස 6කට කරලා පෙන්වන්නම් කිව්වොත් අපි පූර්ණ සහය දෙන්නම්. එහෙම ඉදිරිපත් වෙන්නේ නැතිව තරුණයන් කුලප්පු කර කර ඉඳලා වැඩක් නෑ. මගේ ගෙදරට ගහපු අය නියෝජනය කරන පක්‍ෂවල විස්තර දැන් මා ළඟ තියෙනවා.

පාර්ලිමේන්තුවේ 225 ම විගණනය කරනවා නම් මම මුලින්ම ඊට ඉදිරිපත් වෙනවා. අපි ජනතාවට ආදර්ශයක් දෙමු.

පත්කළ මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු (සජබ)

මම මේ ආණ්ඩුව ශාපයක් කිව්වාම කවුරුත් මට බැන්නා. සර් ෆේල් කිව්වාම මට බැන්නා. අවුරුදු 2 ක් ඇතළත පරිහානියට පත්වූ රටක් කොහෙවත් නැහැ. එය ශාපයක්.

මෙපමණ ප‍්‍රශ්නයක් වෙලා තියෙද්දී අපේ පාර්ලිමේන්තුවේ පක්‍ෂවලට එකතු වෙන්න බැහැ. අපි හැමෝම අවංකවම එකතු විය යුතුයි. මන්ත‍්‍රීවරයකු නොවී හිටියා නම් හොඳයි කියලත් හිතෙනවා. රට සංවර්ධනය කරන්න අපි හැමෝම එක තැනකට එන්න ඕනෑ. මේ රට කරන්න ඕන අනුර, සජිත්. එගොල්ලො හිතනවා නම් තමන් දිනන්න, ඒක තරම් විහිළුවක් මේ වෙලාවේ නැහැ.

අපි අලූත් වෙනසක් කරමු. අපේ ගරුත්වය ගන්න ක‍්‍රම තිබෙනවා. මම අපේ පක්‍ෂයටත් දොස් කිව්වා. එක පක්‍ෂයකටවත් වුවමනාවක් නැහැ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න. එක අවුරුද්දක් ජනතාව සමඟ දුක් වින්දොත් මේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්. මේ වෙලාවේ අපට වගකීමක් තියෙනවා මධ්‍යස්ථ මිනිහෙක් ජනපති කරලා මාස 6 ක් එකතුව රට කරමු. අපේ දරුවො අපි මන්ත‍්‍රී වෙනවාට ලැජ්ජයි. ප‍්‍රශ්නවලට උත්තර දෙන්න අපි සූදානම් විය යුතුයි. ඉස්සරහට දේශපාලනය වෙනස් විය යුතුයි. කැබිනට් එකේ සියයට 50 ක් තරුණයන් විය යුතුයි. වයස 70 න් වගේ විශ‍්‍රාම යැවිය යුතුයි. භාරකාර ආණ්ඩුවක් හදලා එකතු වෙමු.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වසන්ත යාපා (ශ‍්‍රීලපොප)

ජනඝෝෂා පවත්වන අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුකළ යුතුයි. මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමට යාන්ත‍්‍රණයක් සකස් කර ගත යුතුයි. මේ වෙනුවෙන් කළ හැකි කැපවීම් කරන්න අපි සූදානම්.

පාර්ලිමේන්තුව අද (7 දා) පෙරවරු 10.00 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment