අදත් ලංකා පටුනෙ හේමමාලා දන්ත කුමරු ඉන්නවා… කළු ගලේ රූප මවන විස්කම් දස්කම්

363

කළුගලින් නිර්මාණයක් කරලා ඒ දිහා බලල සතුටු වෙන එක තමයි ලොකුම වත්කම

චිත්‍ර ශිල්පියා මෙන්ම මූර්ති ශිල්පියා විසින් ද කරනු ලබන තම තමන්ගේ නිර්මාණ පිණිස යම් යම් දේ එකතු කළ යුතුය. සියුම් ඉසියුම් රේඛාවන් පවා මතුකර පෙන්වීමට සමත් සිතුවමක් චිත්‍ර ශිල්පියා විසින් නිමාවට පත් කරනු ලබන්නේත් එවැනි ම අනගි මූර්තියක් මූර්ති ශිල්පියා අතින් නිම වන්නේතේ එවිටය. කැටයම් කලාව යනු ඊට බොහෝ සෙයින් වෙනස් කලාංගයක්ය. කැටයමක් නිර්මාණය කිරීමේ දී මූලිකව සිද්ධ වන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම තුළින් නිර්මාණ ශිල්පියාගේ මනස තුළ සටහන්වන කැටයට ලී කදක් මෙන් රළු පරළු කළුගලක් තුළින් පාදා මතු කර ගැනීමය. එය වෙහෙසකර වෑයමක් මෙන්ම අර පරිස්සමින් සිදු කළ යුතු නිර්මාණ කටයුත්තක්ය.

ඉපැරැණි ගල්වඩුවන් විසින් අනුරාධපුර රාජධානිය මැද සමාධි බුදු පිළිම වහන්සේ නිම කරනු ලබන්නේ ඉහත කියමන්ට යටත්ව ය. අවුකන හිටි පිළිම වහන්සේ, ඉසුරුමුණි පෙම් යුවළ මතු නොව කළුගලට ජීවය දෙමින් එකළ කළු ගලින් කැටයම් කරන ලද සෑම නිර්මාණයක්ම කරනු ලබන්නේ ඒ අනුව යමින්ය. එහෙව් සිරිමත් අතීතය අද පවා නිරුපද්‍රිතය.

මෙකල ද එහි වෙනසක් නැත. කළුගලින් කරනු ලබන ඕනෑම නිර්මාණ කටයුත්තක්ම පැහැදිලි, සියුමැලි නිමාවකින් යුක්ත වීමට නම් එක් කිරීම වෙනුවට ඉවත් කිරීම සිදුකළ යුතුය. යෝධ කළුගල් සාධු සිතිවිලි උපදවන ශාන්තිමත් බුදු පිළිම බවට පත්වන්නේ එවිට ය. ගලින් කරන ලද මල් ලියකම් ආදිය ද එසේය.

ඉහත ප්‍රවේශය ලබාගනිමින් මෙම සටහන ආරම්භ කරනු ලැබුවේ ජාතිය සතු අතීත ගල් කැටයම් කලාව වත්මන හා මුසු කරමින් කළුගල් සමග හැප්පෙන මෘදු මිනිසකු පිළිබඳ ලියා තැබීම පිණිස ය. අතීතයේ ජීවත්වූ සිරිමත් මිනිසුන්ගේ නිර්මාණ හැකියාවට බෙහෙවින් සමාන නිර්මාණාත්මක හැකියාවක් සහිත හේ මේ වනවිට මෙරට වැදගත් ස්ථාන රැසක තම නිර්මාණාත්මක හැකියාව ප්‍රදර්ශනය කර අවසන්ය. තවත් වසර කීපයක් ගතවීමත් සමග කළුගලින් කරන ලද ලොව විශාලත ම සඳකඩ පහන නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුට ය. ලියනගේ අතුල කුමාර පෙරේරා යන නම ගලේ කෙටූ අකුරක් මෙන් ඉතිහාසයට එක් වන්නේ ඒ අසිරිමත් සඳකඩ පහන පසුබිම් කොටගෙන කරනු ලබන අඩි 120කින් යුත් සැතපෙන බුදු පිළිම වහන්සේ ලක් පොළොව මත සැබෑවක් බවට පත්වූ පසු ය.

අදත් ලංකා පටුනෙ හේමමාලා දන්ත කුමරු ඉන්නවා… කළු ගලේ රූප මවන විස්කම් දස්කම්

විසල් නිර්මාණ හැකියාවකින් පොහොසත් ලියනගේ අතුල කුමාර පෙරේරා විසින් මේ වනවිට නිමාවට පත් කර ඇති තවත් නිර්මාණ බොහෝය. අප ඔහු මුණ ගැසෙන්නේ ඒ පිළිබඳව අසා දැන ගැනීම පිණිස ය. එම මුණ ගැසීමෙන් අනතුරුව ගල් කැටයම් කලාවත් අතුලත් දෙකක් නොව එකක් බව තේරුම් ගියහ. තම නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව ඔහු විසින් විස්තර කර සිටින්නට වූයේ අපගේ ඉල්ලී අනුව ය.

මම පාසල් අධ්‍යාපනය ලබන අවධියේ චිත්‍ර හා මූර්ති කලාවට ලොකු ඇල්මක් කැමැත්තක් දැක්වූවා. කොටාගෙදර වනිගරත්න මහත්තය ළඟට ගිහින් ශිල්පයක් ලෙස ඒ ගැන හදාරන්න ගත්තට පස්සේ යම් යම් නිර්මාණ මා අතින් නිම වෙන්න ගත්තා. ඔහොම කාලයක් යන කොට තමයි කළුගල් එක්ක හැප්පිලා ගල් කැටයම් කලාව දිගේ ගමනක් යා යුතුයි කියන තීරණයට එන්නේ. දැන් වසර තිහක් තිපහක් තිස්සේ ඒ ගමන මම යනවා. ඒක බොහොම නිහඬ ගමනක්. යම් නිර්මාණයක් නිමාවට පත්කළාට පස්සේ ලබන ආත්ම තෘප්තිය තමයි සතුටු වෙන්න පුළුවන් එකම දේ බවට පත්වෙලා තියෙන්නේ. අදත් මම ජීවත් වෙන්නේ ගිරිඋල්ලෙ කුලී ගෙදරක.

අතුල ගල් කැටයම් ශිල්පියෙක් බවට පත්වන්නේ ඒ අකාරයෙන්ය. එතැන් සිට මේ දක්වා ඔහු විසින් කරන ලද නිර්මාණ බොහෝය. ඒ පිළිබඳ වෙන්වෙන් වශයෙන් සඳහන් කිරීම පිණිස මෙවැනි සටහනක් කිසිසේත් ප්‍රමාණවත් නැත. ඔහු විසින් කරන ලද සුවිශේෂී නිර්මාණයන් පිළිබඳව පමණක් මෙහි සටහන් කරනු ලබන්නේ එබැවින්ය. ඔහුගේ නිර්මාණ පෙළහැර ආරම්භයේ සිට සටහන් කළ යුතුව ඇතත් ඒ සඳහා අතුල විසින් ආරම්භය ලබා ගත්තේ ඔහු විසින් මේ වනවිට අතගසා ඇති දැවැන්තම නිර්මාණ කටයුත්ත පිළිබඳ යම් හැඳින්වීමක් සිදු කරමිනි.

දැනට මම ගිරිඋල්ල මැද්දෙපොළ රාජමහා විහාරයේ දැවැන්ත නිර්මාණ කටයුත්තක් කරමින් ඉන්නවා. ඒ ස්ථානයේ පිහිටි තනි කළුගලක් උපයෝගි කර ගනිමින් අඩි 120ක් දිග සැතපෙන පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම තමයි මට පැවරිලා තියෙන රාජකාරිය බවට පත්වෙන්නේ. ඒ ගැන තවත් විස්තර සඳහන් කරනවානම් මේ කළුගල අඩි 70ක් පමණ උසකින් යුක්තව තමයි පිහිටල තියෙන්නේ. ගල හරියට දෙකට මැදින් පළලා පිහිටි භූමියේ ඉතිරිවන කොටසින් පිළිම වහන්සේ නෙළීමත් ගල පැළුවට පස්සේ පහළට වැටෙන කොටසින් අඩි 60ක පමණ සඳකඩ පහනක් නෙළීමත් කියන නිර්මාණ කටයුතු දෙකම ඒ ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා. දැනටමත් ඒ කටයුත්තතට ආරම්භයක් අරන් තිබෙනවා. ඒ කටයුත්ත නිමාවට පත් කරන්න අඩුම තරමින් වසර 10ක් ගතවෙනවා මගේ උපන් ගම ගම්පහ උඩුගම්පොළ. නමුත් මේ වගේ දීර්ඝ කාලීන නිර්මාණ කටයුත්තක් කරද්දී ඒ නිර්මාණ කටයුත්ත කරන ප්‍රදේශයේ රැඳී සිටිමින් ඒ වැඩේ කළ යුතුයි. ඒ නිසා දැනට මමත් මගේ බිරිඳදත් කුලියට ගෙයක් අරන් ගිරිඋල්ලේ පදිංචි වෙලා ඉන්නවා.

අතුල පෙරේරා විසින් සඳහන් කර සිටින එම විශ්මිත නිර්මාණය පිළිබඳ තවත් දැනගත යුතු කරුණු බොහෝය. ඔහු විසින් කරන ලද අනෙකුත් නිර්මාණ පිළිබඳ ලියා තැබීමට පෙර දැනට ගිරිඋල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන නිර්මාණ කටයුත්ත පිළිබඳව යළි යළිත් විමසිය යුතුව ඇත.

මැද්දෙපොළ රාජ මහා විහාරය කියන්නේ පැරණි විහාරස්ථානයක්. සොලියස් මැන්ඩිස් කියන කීර්තිමත් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් කලාවෙන් හැඩ ගැන්වූ විහාරස්ථානයක් ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. කැලණිය රාජමහා විහාරයේ සිතුවම් අඳින්න්නත් පෙර තමයි එතුමන් විසින් මැද්දෙපොළ විහාරස්ථානයේ සිතුවම් ඇඳල තියෙන්නේ. මේ විහාරස්ථාන භූමියේ තිබෙන පිහිටි කළුගලක් දෙපළු කරලා තමයි මම කලින් සඳහන් කළ නිර්මාණ දෙකම කරන්නේ. මම දන්න තරමට අඩි 120ක් දිග කළුගලින් නිම කළ බුද්ධ ප්‍රතිමාවක් ලෝකයේ කොතැනකවත් නැහැ. මුලින් ම මේ ගලේ පළුවක් කඩල බිමට දාන්න ඕන. ඒකෙන් තමයි සඳකඩ පහන් නිර්මාණය කරන්නෙ. ගල අඩි 70ක් උසයි. දැනට අඟල් හයෙන් හයට අඩි 10ක් ගැඹුරට වළවල් 240ක් හාරලා ඉවරයි. අඩි 70ක් උස ගලක් දෙකට පලද්දී ගලෙන් 2/3ක් යටට යන කම් වළවල් හාරන්න ඕන. ඊට පස්සේ තමයි බෙහෙත් ගල්වලා ගල දෙකට පලන්නෙ. එතැනදී බිමට වැටෙන කොටසට හානියක් නොවන්න ඒ කටයුත්ත කරන්න වෙනවා. මොකද බිමට වැටෙන කොටසට යම් හෝ හානියක් සිද්ධ වුණොත් සැලසුම් කරල තිබෙන සඳකඩ පහන නෙළන්ව බැරිව යනවා. ඒ කටයුතු පහුගිය දවස්වල ක්‍රමාණුකූලව කරගෙන ආවා. නමුත් රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ වැඩ කටයුතු දැනට නතර කරන්න විහාරස්ථානය භාර ස්වාමින් වහන්සේ තීරණය කරනවා.

අතුර පෙරේරා අපට මුණ ගැසෙන්නේ එම තාවකාලික විරාමය අතර තුරය. ඉදිරියේ දී එම වැඩ කටයුතු ආරම්භ වීමත් සමග නැවතත් කටුව සහ මිටිය සමග සුමිතුරු වන අතුල එම අසිරිමත් නිර්මාණයන් පිණිස දහදිය හෙළීමට නියමිතය.

ගල් කැටයම් කලාව කියන්නේ හරිම වෙහෙසකර කටයුත්තක්. කටුවක් මිටියක් අතින් අරගෙන කළුගලක් එක්ක ඔට්ටු වෙනවා කියන්නෙ හරිම සංකීර්ණ කටයුත්තක්. තවත් පැත්තකින් සෞඛ්‍ය ගැටලු පැන නඟිනවා. එළිමහනෙ කරන නිර්මාණ කටයුත්තක් නිසා අව්වට වැස්සට ඔරොත්තු දෙන ශරීර සෞඛ්‍යයත් තියෙන්නේන ඕන. සෑම නිර්මාණයක් ම තියෙන්නේ කළුගලක් ඇතුළෙ. මගේ කාර්ය භාරය වෙන්නේ හොඳ සංයමයකින් යුතුව හතර පස් වතාවක් හිතල බලල ඒක මතු කර දැක්වීමයි. අද තාක්‍ෂණය දියුණු හින්ද තරමක් හරි පහසුකම් තිබෙනවා. නමුත් එදා සමාධි පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ දී එහෙමත් නැත්නම් අවුකන පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ දී ඒ මොනවත් තිබිල නැහැ. ඒ කලාශිල්පීන් මොන තරම් කාලයක් වැය කරන්න ඇති ද එදා කටුවයි මිටියයි පමණයි. ගලක් යම් පමණකින් මෙලෙක් කරන්න පුළුවන් දේශීය බෙහෙත් වර්ග තිබුණත් ඒ මොනවද කියලත් එදා හිටිය අසිරිමත් චින්තනයක් සහිත නිර්මාණකරුවන් පිළිබඳවත් පොත පතකවත් සඳහන් වෙලා නැහැ. මම ලංකාවෙ අස්සක් මුල්ලක් නෑ ගියහින් එදා ගල් වඩුවන් කරන ලද විස්කම් නිර්මාණ බොහොමයක් දැක බලාගෙන තිබෙන කෙනෙක්. අඩි පනහ හැට දිග ගලක් දෙකට පලන්න පුළුවන් ශිල්පීය ක්‍රම එදත් තිබිලා තියෙනවා. නමුත් අද වගේ පහසුකම් එදා තිබිලා නැහැ. මේ කලාව ඇතුළෙ එදයි අදයි වෙනස විදියට මම දකින්නෙ එපමණයි. ඒ හැර ශිල්පීය ක්‍රම අද පරම්පරාවෙ අපි ළඟත් තිබෙනවා. හුණුමුල්ල මහ මෙව්නා උයනෙ අඩි 08ක් උස පිළිමයක් මම නිර්මාණය කළා. ඒ පිළිම වහන්සේ ටොන් 15ක් බරයි. කටුවයි මිටියයි භාවිත කරල මුළුමනින්ම අතින් කරන ලද නිර්මාණයක් ලෙස තමයි ඒ පිළිම වහන්සේව දැක බලා ගන්න ලැබනේනෙ.

එපමණක් නොව, හේමමාලා කුමරිය සහ දන්ත කුමරුවන් විසින් මෙරටට දන්ත ධාතුන් වහන්සේ වඩම්මන ආකාරය දැක්වෙන සුවිශේෂී නිර්මාණය තනි කළුගලක් තුළින් පාදා මතු කරනු ලබන්නේ ද ලියනගේ අතුල කුමාර පෙරේරා විසින්ය. ත්‍රිකුණාමලය ලංකා පටුන විහාරස්ථානය වන්දනා මාන කිරීම පිණිස පෙළ ගැසෙන බැතිමතුන්ගේ සිත නිවස දසුනක් වන එම නිර්මාණ කටයුත්ත පිළිබඳ අතුල විසින් කෙටි විස්තරයක් සිදු කරන්නට විය.

ලංකා පටුන විහාරස්ථානයේ හිටි පිළිම වහන්සේ නමක් නිර්මාණය කළ යුතුයි කියල යෝජනාවක් ආවට පස්සෙ ඒ නිර්මාණ කටයුත්ත මට භාර දුන්නා. කාලයක් මුළු මනින්ම කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැතුණ ප්‍රදේශයක් වුණත් ඒ දුෂ්කරතාවය නොතකමින් මම ඒ වැඩේ භාර ගත්තා. ලොකු කාලයක් ශ්‍රමයක් වැය කරලා ඒ නිර්මාණ කටයුත්ත නිමාවට පත් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ කටයුත්තෙන් පස්සේ තමයි තනි කළුගලින් දන්ත කුමරු හා හේමමාලා කුමරිය නිර්මාණ කළ යුතුයි කියන යෝජනාව එන්නෙ. එහෙම නිර්මාණයක් ඒ ස්ථානයේ කළ යුතුයි කියල යෝජනාවක් එන්න හේතු කීපයක් තිබුණා. මූලික ම හේතුව තමයි දන්ත ධාතූන් වහන්සේව මෙරටට වැඩම කිරීමේ දී දන්ත කුමරු හා හේමමාලා කුමරිය ලංකාවට ගොඩ බහින්න තෝර ගන්නේ ලංකා පටුන වීම. ඒ බව සනාථ කරන්න ඉතිහාසයේ සාක්‍ෂි තිබෙන බව පසු කාලීනව සොයාගෙන තිබෙනවා. ඒ ඓතිහාසික සාධක අනුව යමින් ඔවුන්
ගොඩ බැස්ස ස්ථානය බවට අනුමාන කරන බිම් තීරුවේ පිහිටි කළුගලක ඒ නිර්මාණය කරන්න මට පුළුවන්කම ලැබුණි. ඒ නිර්මාණය අඩි 12ක් උසයි අඩි 10 ක් පළලයි. අඩි 06ක් කළුගල හාරල තමයි ඒ නිර්මාණ කටයුත්ත කළේ. ඒ සඳහා වසර 03ක පමණ කාලයක් වැය කරන්න සිද්ධ වුණා. ඒ කටයුත්තෙදීත් ගලේ අනවශ්‍ය කොටස් විශාල ප්‍රමාණයක් ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ සඳහා පළාතේ පදිංචි දෙමළ ජාතිකයන් පිරිසක් සහයෝගය ලබා දුන්නා. එවකට අපේ රටේ හිටිය අගමැති දි. මු. ජයරත්න මහත්තයගේ ලේකම්වරයෙක් තමයි ඒ සඳහා වැයවූ වියදම දරන්න ඉදිරිපත් වුණේ. ඒ මහත්තයගේ නම ජේ. එම්. එස් බණ්ඩාර, ඊට අමතරව විහාරාධිකාරී අස්සජී හාමුදුරුවෝ ඒ සඳහා ලොකු මැදහත් වීමක් සිදු කළා.

ඔහු විසින් කරන ලද විසල් නිර්මාණ අතරට දැනට වසර කීපයකට පෙර ශ්‍රීපාද මළුවේ අභිනවයෙන් ස්ථාපිත කළ ගණ්ඨාර කුලුන ඇතුළු තවත් බොහෝ දේ අයත්ය. ශ්‍රී පාද මළුවේ ගණ්ඨා කුලුන ඉදිවූ ආකාරය පිළිබඳව ද මෙහි යමක් සටහන් කළ යුතුය. වසර කීපයක් පැරණි මතකය යළි අලුත් කළ අතුල ඒ පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්ය.

ශ්‍රී පාද මළුවේ අලුත් ගණ්ඨාර කුලුන හදන්න භාර දුන්නෙ මට. කළුගල් යම් පරිමාවක් සහිතව ඉරල ඒ ඉරන ලද කළුගලින් තමයි කුලුන නිර්මාණය කළේ. කුලුනේ නිරූපිත සියලුම කැටයම් නිම කළේ මගේ අත් දෙකෙන්. දිවුලපිටිය ප්‍රදේශයේ කලක් නතරව ඉදිමින් තමයි ඒ වැඩේ නිමාවට පත් කළේ. ුකුලුන මුළුමනින්ම නිම කරලා ඒ කොටස් නිවැරදිව සවිකරලා අඩුපාඩු තිබුණනම් ඒවත් සකස් කළාට පස්සේ නැවතත් කුලුන කොටස් කීපයකට ගලවල ගුවන් හමුදාවේ යානා යොදා ගනිමින් තමයි ඒ කොටස් ශ්‍රී පාදස්ථානය දක්වා රැගෙන යන්නේ ඉන් අනතුරුව තමයි ඔය දැන් දකින්නට ලැබෙන ගණ්ඨා කුලුන ඒ ස්ථානයේ සවි කරන්න කටයුතු කළේ.

ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතරට කළුගල් යොදා ගනිමින් නිම කළ බෝධි ප්‍රාකාරයක් වානර රූප සමූහයක් ඇතුළු තවත් විශිෂ්ට නිර්මාණ රැසක් පවතින අතර මේ වනවිට ඔහු සන්තකයේ පවතින්නේ එම නිර්මාණ සිදු කිරීම තුළින් ලද ආත්ම තෘප්තිය පමණය.

මම කාලයක් තිස්සේ කළුගල්වලින් ප්‍රතිමා නිර්මාණය කරනවා. නමුත් ප්‍රතිමාවලට කතා කරන්න බැහැ. ඒ හින්දා මේ නිර්මාණ කටයුත්ත පිණිස මා ඇතුළු මේ ක්‍ෂේත්‍රයේ ඉන්න වෙනත් ශිල්පීන් ගැන බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒ පිළිබඳ දැනුවත් වෙමින් මේ ශිල්පය ඉදිරි පරම්පරාව අතට පත් කිරීම පිණිස මූලික විය යුතු මිනිස්සු කළුගල් වගේ ඉන්නවා. ඒ අයට කටහඬ තිබුණත් අපි ගැන කතා කරන්නේ නෑ. ඉතිහාසයේ සිද්ධ වුණෙත් මේකම තමය.ි රජවරුන්ගේ සිටුවරුන්ගේ පිළිම නෙළුවා. සුනිල් එදිරිසිංහ මහත්තයගේ ජනප්‍රිය සින්දුවක් තියෙනවා ‘මේ තරම් සියුමැලි ද කළුගල්’ කියන ගීතය ඇතුළෙ තියෙන්නේ ඒ වේදනාව තමය.ි ඒ වේදනාව එදත් තිබුණා. අදත් තියෙනවා. නමුත් ඒ වේදනාව වහගෙන අපි සිනා වෙනවා.

තවත් බොහෝ දේ කතා කළ යුතුව ඇතත් ඉහත සඳහන් විස්තරය ප්‍රමාණවත් බව සඳහන් කළ අතුල සිනහවකින් යුක්තව නිහඬ විය. ඒ සිනහව දුක සතුට එකට මුසුවූ සිනහවක් බඳු එකක් විය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment