අපි වරදක් කරලා තියෙනවා නම් ඔප්පු කරලා දඬුවම් දෙන්න

890

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත

පත්තරේ පසු පිටේ ඉඩ වෙන්වූ ක්‍රීඩා පුවත් මුල් පිටුවට එද්දී, ක්‍රීඩා පුවත්වලින් රූපවාහිනියේ ප්‍රවෘත්ති ආරම්භ වෙද්දී මේ රටේ වෙන කිසිම ප්‍රශ්නයක් දැන් ඇත්තේ නැති දැයි යමෙකුට හිතෙනු ඇත. ඒ තරමටම ක්‍රිකට් හා බැඳි ප්‍රශ්න දැන් ජන ජීවිතයට සමීප වී ඇත. තේ කෝප්පයට තියා අල්ලටවත් දා ගන්න වෙළෙඳසලේ සීනි නැතිව තිත්ත කහට බොමින් ක්‍රිකට් හා බැඳි පුවත් ඔවුහු කණට මී පැණි කර ගෙන සිටිති. මේ ක්‍රිකට් ප්‍රශ්නවලට සෘජුවම මුහුණ දෙන ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඔවුහු ද ප්‍රතිවාදී පක්ෂයෙන් එල්ලවන චෝදනාවලට දිගට හරහට පිළිතුරු දෙති. ඒ අතර දැන් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ද වේ. අධිකරණයේ ද ක්‍රිකට් සම්බන්ධයෙන් නඩු විභාග වේ. එසේම ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව 09 වන ස්ථානයටද ඇද වැටුණි. මේ ආදී කාරණා සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා අපි හමුවුණෙමු. ඔහු සමඟ “දිවයින ඉරිදා සංග්‍රහය” කළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේ වනවිට ජාත්‍යන්තර තහනමක් පනවා තිබෙනවා. එය අපේ රටට ලොකු කැළලක්. එවැනි තත්ත්වයකට රට පත් වූ අවස්ථාවේ දී නිලතල දැරූවන් ලෙස ඔබලාට ලැජ්ජ නැති ද තවදුරටත් මේ තනතුරුවල රැඳී සිටින්න?

පිළිතුරු – ලැජ්ජා වෙන්න ඕනෑ අපි නොවේ. වසරක් පුරාවට පාලක මණ්ඩලයේ කකුලෙන් අදිමින් මෙහි සියලුම පරිපාලන කටයුතු අඩාල කළ ක්‍රීඩා අමාත්‍යවරයා. ඒ නිසා තමයි අයිසීසී ය ක්‍රිකට් තහනම් කළේ. අපි මොකටද නොකරපු වරදකට තනතුරු දාල යන්නේ. වැරදිකරුවන් කවුද කියලා රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. දේශපාලකයෝ ජනතාවගේ ඡන්දයෙන් බලයට ආවා වගේම අපිත් අපේ ක්‍රීඩා සමාජවල ඡන්දය මතින් තමයි මේ තනතුරුවලට පත්වුණේ. අපි ඒ ක්‍රීඩා සමාජවලට වගකිව යුතුයි. ඒ ක්‍රීඩා සමාජ අපිට යන්න කිව්වේ නැහැ. අපි මේ පාලක මණ්ඩලය භාර ගන්නකොට ගිණුමේ සතයක්වත් නැතුව කෝටි 36ක් ණයවෙලා තවත් කෝටි බර ගාණක් රජයට ගෙවන්න තිබුණා. මේ දැන් ඉන්න පාලක මණ්ඩලය තමයි මේ සියලුම ණය පියවා රජයටත් ගෙවා විශාල මුදලක් ගිණුමේ ඉතිරි කළේ. ඉතිං අපි හොරුද? සෑම දෙයක්ම කඩා වැටිල, ණය වෙලා තිබෙන රටේ, අපි කරල තියෙන වරද මොකක්ද?

හැබැයි මේ ප්‍රශ්නයට වගකිවයුතු දේශපාලකයන්ට නම් ජනතාව යන්න කියලා ගොඩක් කල්. තමන්ට ඡන්දය දුන්නු පිරිස්ම තමන්ගේ ගෙවල්වලට ගිනි තියලා ප්‍රතික්ෂේප කළ පසු ගෙදර නොගොස්, කිසිම වරදක් නොකරපු අපට ගෙදර යන්න කියන එකයි නියම විහිළුව.

ප්‍රශ්නය – රටේ ක්‍රිකට් තහනම් වෙන්න ආසන්නතම හේතුව විදිහට ඔබ දකින්නේ කුමක්ද?

පිළිතුරු – අපේ පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් දාපු එක තමයි ප්‍රධාන හේතුව. අයිසීසී නීතිය අනුව කිසිම දේශපාලන කණ්ඩායමකට අපේ ඇතුළට එන්න ඉඩක් නැහැ.

ප්‍රශ්නය – ඒත් චෝදනාව එල්ල වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අයිසීසීයට බලපෑම් කරල, ඉල්ලීම් කරලා මේ තහනම දා ගත්ත බවයි. මොකද මීට පෙරත් අතුරු කමිටු පත් කළා. ඒ අවස්ථාවල ක්‍රිකට් තහනම් වුණේ නැහැ.

පිළිතුරු – අපේ සභාපතිතුමාට එච්චර ලොකු බලයක් තියෙනවා නම් කොච්චර දෙයක්ද. අනික අත්තෙ ඉඳගෙන අත්ත කපන්න තරම් ඔහු අනුවණ පුද්ගලයෙක් නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට ඕන විදිහට අයිසීසී එක නටවන්න පුළුවන් නම් අපි කොච්චර බලවතුන් වෙන්න ඕනද? ළිං මැඩියෝ වගේ ලෝකය දිහා බලන අය තමයි ඔය වගේ මෝඩ කතා කියන්නේ. අනික පරණ යල්පැන ගිය නීති ගැන ඔවුන් කතා කරනවා. අයිසීසී නීති කලින් කලට නව සංශෝධනයන්ට යටත් වෙනවා.

ප්‍රශ්නය – ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අයිසීසීයට ලියුම් ලියල ඉල්ලලා තිබුණනේ අපේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. ඒ ලියුම් 3ක් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ නිසා මේ චෝදනාවන්ගෙන් ගැළවෙන්න ඔබලාට බැහැ.

පිළිතුරු – ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. අපේ අයට මීට වඩා ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි. ලංකාවේ සභාපතිතුමා අයිසීසී මණ්ඩලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිය හැකි එකම අධ්‍යක්‍ෂක හැටියට, එම මණ්ඩලය දැනුවත් කිරීම වගකීමක්. ඔහුට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට හෝ අන් අයට බලපෑම් කිරීමට කිසිදු ඉඩක් නැහැ. දේශපාලකයන්ගෙන් දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල වෙනකොට ඔහුට වෙන කියන්න තැනක් නැහැ. අපි අයිසීසීය ට බැඳී සිටින ආයතනයක්. ඒ නිසා ඔහු ලියුම් තුනක් නෙමෙයි, දිගටම සන්නිවේදනය කළ යුතු වෙනවා.

ප්‍රශ්නය – මේ අපේ රටේ පළමු ක්‍රිකට් අතුරු කමිටුව නොවෙයි. කලින් පත් කළ අතුරු කමිටුවලට එරෙහිව මෙවැනි තහනමක් ආවේ නැහැ. ඇයි මේ පාර විතරක් මෙහෙම වුණේ?

පිළිතුරු – ඒ කාලේ මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැනේ. ඒ දවස්වල දේශපාලකයෝ උදේ ඉඳන් රෑ වෙනකම් මෙහෙම ක්‍රිකට් එක අල්ලගෙන ඝෝෂා කළේ නැහැනෙ. ඒ වගේම රග්බි සහ පාපන්දු කියන ප්‍රධාන ක්‍රීඩා දෙකක් එක ළඟ තහනම් වෙලා තිබුණෙත් නැහැ. අයිසීසීය මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. තමන්ගේ නියෝජිත රටවල්වල සිදුවන දේවල් ඔවුන් එදිනෙදා විමර්ශනය කරනවා. කොහොමත් සිම්බාබ්වේ ක්‍රිකට් අතුරු කමිටුවට පසුව අයිසීසීය ය අතුරු කමිටු කෙරෙහි හොඳ කෝණයකින් නොවෙයි බලන්නේ. ඔවුන් හැම විටම විශ්වාසය පළ කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් පත්වන නිලධාරි මණ්ඩලයක් විතරයි.

ප්‍රශ්නය – එතකොට දකුණු අප්‍රිකාවේ තියෙන්නේත් අතුරු කමිටුවක් නේද ?

පිළිතුරු – ඒ රටේ ක්‍රීඩා සියල්ල පාලනය වන්නේ ඔලිම්පික් කමිටුව හරහා. ඒක තමයි ප්‍රධානම ක්‍රීඩා පාලන ඒකකය. ඒක අතුරු කමිටුවකට වඩා ඉතා බලවත් ආයතනයක්.

ප්‍රශ්නය – ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට යන්නත් පුළුවන් නම්, ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවට එන්නත් පුළුවන් නම් මොකක්ද මේ තහනම කියන එකෙන් අපට අහිමි වෙලා තියෙන්නෙ?

පිළිතුරු – තහනම තිබෙන තුරු අපට අයිසීසී තරගාවලි ලංකාව තුළ සංවිධානය කරන්න බැහැ. ඒ වගේම ලබන ජූනි මාසයේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී වාර්ෂික සමුළුවත් අපෙන් අහිමි වන තත්ත්වයක් උදාවෙලා තියෙනවා. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය අපට නැති වුණා. ඒ වගේම අයිසීසී මගින් ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනත් යම් පාලනයක් යටතේ තමයි අපිට ලැබෙන්නෙ. ඒ වගේම අපේ සභාපතිගේ අධ්‍යක්ෂක තත්ත්වය අහිමිවී, නිරීක්ෂක තත්ත්වයට වැටෙනවා. අපට ලෝකය සමග සම තත්ත්වයෙන් කටයුතු කර ලබාගත හැකි ප්‍රතිලාභ එමගින් අහිමි වී යනවා.

ප්‍රශ්නය – පාලනයක් සීමාවක් නැතිව මුදල් ලැබුණු නිසා ද ක්‍රිකට් ආයතනය මෙතරම් නාස්ති කරේ?

පිළිතුරු – අපේ වගකිවයුතු නිලධාරීන් මුදල් නාස්ති කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම් ඒවා ඔප්පු කරල නීතියෙන් දඬුවම් දෙන්න. විගණකාධිපති වාර්තාවත් දැන් අයිසීසී එකට යැව්වානේ. අයිසීසී එකත් පිළිගත්තා එතැන වරදක් වෙලා නැහැ කියලා. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කරපු හැම විවේචනයකදීම ඇමැතිතුමා භාවිතා කළේ පළමු කෙටුම්පතයි. පාර්ලිමේන්තුවටයි හැම තැනටමයි අරන් ගිහින් දේශපාලකයෝ අපිව පතුරු අරින්නේ ඒ වාර්තාව අනුවයි. එය ඉතාම වැරදිසහගත සහ ද්වේශසහගත ක්‍රියාවක්. කරුණු නිරාකරණය කළ අවසන් පිටපත් ඔවුන් සතුව තියෙනවා. ඒවා සඟවාගෙන තමයි ඔවුන් කතා කරන්නේ. අනෙක නිර්දේශ කියන්නේ නිර්දේශ. එතන ඔප්පු කිරීමක් නැහැ. අපි මූල්‍ය වරදක් කරලා තියෙනවා නම් පොලිසියට කියන්න පුළුවන්. ඔය කියන විදිහට හැමෝටම සල්ලි දෙන්න අපි ළඟ සල්ලි ගහන මැෂිමක් නැහැ. හැබැයි ක්‍රීඩා ඇමැති හිතා මතා අපිට විරුද්ධව කරන දේවල්වලට අපි නීතිමය ආධාර පතන්න ඕන. ඒ සඳහා විශාල මුදල් වියදම් වෙලා තියෙනවා. ඒවාට ඔහු වගකිය යුතුයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතා දරුණු පසුබැසීමකට ලක් වුණා. ක්‍රිකට් පරිපාලනය ඒකට වගකියන්න ඕන නැද්ද?

පිළිතුරු – අපි තරගාවලිය අවසන් කළේ 09 වැනි තැනට. ඒ ගැන අපිටත් කනගාටුයි තමයි. හැබැයි අපි ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, කළමනාකරුවන්ට, තේරීම්කමිටුවලට සහ වෛද්‍යකටයුතු සහයකවරුන්ට අවශ්‍යය සියලු සැප පහසුකම් දීලා තියෙනවා. පුහුණුකරුවන් කොච්චර හොඳ වුණත්, පරිපාලනය කොච්චර හොඳ වුණත් ක්‍රීඩා පිටියට යන්නේ ක්‍රීඩකයෝ. ඒ අයගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. හැබැයි ඔවුන්ටත් මනස නිදහස් කරගෙන මේ තරගාවලියට ක්‍රීඩා කරන්න අපේ දේශපාලකයෝ ඉඩ දුන්නේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් පිට්ටනියට ඇහෙන තරමට කෑ ගැහැව්වා. ලෝකයට ඒ දේවල් ප්‍රචාරය වුණා. ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය මේ දේශපාලකයෝ තේරුම් ගත්තේ නැහැ. වැඩි පුරම වයිඩ් පන්දු ගියේ අපේ කණ්ඩායමෙන්. වැඩිපුරම “රණඅවුට්” වුණේ අපේ ක්‍රීඩකයෝ. වැඩිපුරම අතිරේක ලකුණු දුන්නේ අපේ ක්‍රීඩකයෝ. මේවා මානසික මට්ටම සමග වෙනස් වෙන දේවල්. මේ වගේ කරුණු තේරුම් අරගෙන කටට එන දේ නොකියා හිටියා නම් තමයි වැදගත්කම. කොටින්ම කණ්ඩායමට විරුද්ධව කළ විවේචන තරගාවලිය ඉවරවෙලා කළා නම් කොච්චර හොඳයිද. එහෙමනම් අපි 9 ට වැටෙන්නෙ නැහැ.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment