අයිසීසී ලෝක කුසලාන තරගාවලියක් සඳහා උගන්ඩාව එක් වන පළමු අවස්ථාව සනිටුහන් කරමින් 2024 අයිසීසී විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එරට සුදුසුකම් ලැබීය.

ලෝක කුසලාන තරගාවලියට අප්‍රිකානු කලාපයෙන් සුදුස්සන් තේරීම සඳහා පැවති තරගාවලියේදී දෙවැනි තැන හිමිකර ගනිමින් උගන්ඩාව එම අවස්ථාව උදාකර ගත්තේය.

නැමීබියාව, උගන්ඩාව සහ සිම්බාබ්වේට අමතරව නයිජීරියාව, රුවන්ඩාව හා ටැන්සානියාව ද අප්‍රිකානු තරගාවලියට එක් විය. මේ තරගාවලියේදී උගන්ඩාව නැමීබියාව හමුවේ පමණක් පරාජය වූ අතර, සිම්බාබ්වේ කණ්ඩායම නැමීබියාව සහ උගන්ඩාව හමුවේ පරාජය විය.

සිම්බාබ්වේ කණ්ඩායම කෙන්යාවට එරෙහිව ලකුණු 110ක දැවැන්ත ජයක් හිමි කර ගත්තද උගන්ඩාව විසින් කඩුලු 9කින් රුවන්ඩාව පරාජය කිරීමත් සමඟ සිම්බාබ්වේ පිල තෙවැනි ස්ථානයට වැටුණි. ඒ සමඟ සිම්බාබ්වේ පිලට ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ අවස්ථාව අහිමි වී ගියේය.

මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක පමණක් ලෝක කුසලාන තරගාවලියට එක් වූ අතර නැමීබියාව මීට පෙර එම අවස්ථාව උදා කර ගෙන තිබිණි.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20ක් එක් වන අතර, එහි 19 වැනි කණ්ඩායම බවට නැමීබියාව පත් වූ අතර, 20 වැනි කණ්ඩායම ලෙස උගන්ඩාව එම අවස්ථාව හිමි කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment