කුජ – ගුරු චක්‍රය සහ මළවුන්ගේ මාසය

315

නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙස සමාජගත වී ඇති බැවින් ඇතැම් පිරිස් නොවැම්බර් මස ශුභ වැඩ සඳහා යොදාගැනීමට ද මැලිකමක් දක්වන බව නොරහසකි. කෙසේ වෙතත් සැම විටම රටේම ඊළඟ වසරේ ආර්ථික දිශානතිය පිළිබිඹු කරන ‘අයවැය’ ඉදිරිපත් කිරීම සෑම වසරකම බොහෝ විටම සිදුවන්නේ නොවැම්බර් මාසයේදීය.

ජ්‍යොතිෂ්‍යානුකූලව නොවැම්බර් මාසය එවැනි කිසිදු ආකාරයක අශුභ මාසයක් නොවේ. කෙසේ වෙතත් මෙවර නොවැම්බර් මාසය පුරාම කුජ හෙවත් අඟහරු වක්‍රව ගමන් කරන අතර 23 වැනිදා දක්වා ගුරුද වක්‍රව ගමන් කරයි. ගුරු යනු ග්‍රහලොව පුරෝහිතයි. මහඇමැතියි. කුජ යනු ග්‍රහලොව සෙන්පතියි. එනම් ග්‍රහලොව ප්‍රධානම බලයලත් චරිත දෙක වන සෙන්පති හා පුරෝහිත මහා අමාත්‍ය ඉවත බැලීම, ආපසු හැරීම එතරම් යෝග්‍ය තත්ත්වයක් නොවන බව පැහැදිලි වනු ඇත. මෙමගින් පරිපාලන ව්‍යුහය තුළ කැළඹිලි සහගත ස්වභාවයක් ඉස්මතු වීමට ඉඩ ඇත. සමාජය තුළ, පුද්ගලයන් තුළ වෛරී සිතුවිලි, ක්‍රෝධ සිතිවිලි, ආවේගශීලී ස්වභාවය ඉස්මතු වන බව පෙනේ.

කුජ - ගුරු චක්‍රය සහ මළවුන්ගේ මාසය

කුජ පොළවට බලපැවැත්වෙන බැවින් නායයෑම්, ගිලාබැසීම්, ඉරි තැලීම්, භූ කම්පන ආදිය ඉහළ යනු ඇත. රිය අනතුරු බහුල වන කාල පරිච්ඡේදයකි. පාතාල හෝ අවිනීත කල්ලි යළි හිස එසවීමේ ඉඩ පවතී. ඔවුන් හා නීතිය සුරකින පොලිසිය අතර නිතර ගැටුම් හෝ ප්‍රශ්න උද්ගතවෙනු පෙනේ. කෙසේ වෙතත් අනිසි ලෙස නීතිය භාවිත කරන සෑම දෙනාම ප්‍රවේශම් විය යුතු කාලයකි.

සමාජය තුළ නපුරු බලවේග එළිබහින අතර ටික කලකින්ම ඒවා විනාශ වී යනු ඇත. ප්‍රධාන පෙළේ ආගමික පූජ්‍ය උතුමෙකුට බාධා පැන නඟී. නීතිය හසුරුවන පිරිස්වලට ගැටලු උදාවිය හැක. දේශපාලන ක්‍ෂේත්‍රයේ හා ඊට අදාළ පරිපාලන ක්‍ෂේත්‍රවල යම් යම් වෙනස්වීම් සිදුවනු ඇත. නිල ඇඳුම් ආදී වෘත්තීන්වල නිරත වන සෑම දෙනාම ප්‍රවේශම් වනු. ආරක්‍ෂක අංශවල මුල් පිටුවල යම් වෙනසක් සිදුවේ. නිතර කතරගම දෙවියන් වැඳීම, ලේ දන්දීම්වලට දායක වීම් ඉතා ශුභයි. එළඹෙන අඟහරුවාදා රාත්‍රී 8-9 අතර රතු මල් වට්ටි, රතු කොඩි සමඟ තල තෙල් පහන් දල්වා බෝධි පූජා තබා නොවැම්බර් මාසය තුළ සිදුවන බාධා අවම කරගැනීම සැමට යෝග්‍ය වනු ඇත.

කුජ - ගුරු චක්‍රය සහ මළවුන්ගේ මාසය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment