මිලියන 60ක කුෂ් පාර්සලය රේගු දැලේ

101

නීති විරෝධී අයුරින් පාර්සලයක් සේ සකසා සූක්‍ෂම අයුරින් මෙරටට එවා තිබූ රුපියල් මිලියන 60කට ආසන්න වටිනාකමින් යුත් ‘කුෂ්’ නැමති විෂ මත්ද්‍රව්‍ය තොගයක් රේගු ආදායම් අධීක්‍ෂණ ඒකකය මගින් ඊයේ (16 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය කිලෝ 06ක ප්‍රමාණයක් මෙහිදී රේගුව සිය භාරයට ගෙන ඇති අතර, කැනඩාවේ සිට මෙරට ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ලිපිනයකට එම මත්ද්‍රව්‍ය තොගය එවා තිබූ බව ශ්‍රී ලංකා රේගු අධිකාරිය සඳහන් කරයි.

ඊයේ (16 දා) දහවල් ඔරුගොඩවත්ත ආදායම් අධීක්‍ෂණ ඒකකයේ භාණ්ඩ පරීක්‍ෂණ අංගණයේ දී මෙම විමර්ශනය සිදුකර ඇත. එහිදී අදාළ මත්ද්‍රව්‍ය පාර්සලයේ හිමිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතවරයකු ද රේගුව සිය භාරයට ගෙන ඇත.

නීති විරෝධී ලෙස මෙරටට එවා තිබූ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සහිත පාර්සලය පසුගිය මස 25 වැනිදා මෙරටට ලැබී ඇති අතර, රේගු නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත එය පරීක්‍ෂාවට ලක්කර තිබිණි. පරීක්‍ෂාවේදී බහාලුමක සූක්‍ෂමව පාර්සලයක් සේ අතුරා තිබූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවත්, ඒ පිළිබඳව සියලු විමර්ශන සහ තක්සේරු කටයුතු සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ වෙත භාරදීමට කටයුතු කරන බවත්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment