සාරා ජෙස්මින්ගේ සිරුර සොයා සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය අයගේ සිරුරු ගොඩ ගැනේ උසාවියෙන් අවසර දෙයි

195

පාස්කු ප්‍රහාරයට සමගාමීව සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවාගෙන මිය ගිය පුද්ගලයන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් නමැති කාන්තාවගේ සිරුර තිබේද යන්න සොයා ගැනීම සඳහා එහිදී මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් නැවත ගොඩගෙන ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (26 වැනිදා) අවසර ලබා දී ඇත.

ඒ අනුව අද (27වැනිදා) අම්පාර මහෙස්ත්‍රාත්වරයාගේ අධීක්‍ෂණය යටතේ සිරුරු කොටස් ගොඩගැනීමට නියමිත අතර ඊට විමර්ශන පොලිස් නිලධාරීන් සහ රජයේ රස පරීක්‍ෂක නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

අම්පාර පොදු සුසාන භූමියේ වළදමා ඇති එම සිරුර කොටස් ගොඩගෙන ඒවා ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් සඳහා රැගෙන යෑමට නියමිතය.

ඉකුත් 2019 අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂීම් ඇතුළු පිරිසක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර තිබිණි. අප්‍රේල් 26 වැනිදා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී සහරාන්ගේ සොහොයුරු වන මොහොමඩ් රිල්වාන් ඇතුළු පිරිසක් බෝම්බ පුපුරාවාගෙන සියදිවි හානි කර ගත්හ.

එහිදී කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු 17 දෙනෙක් මරුමුවට පත් වූහ. එම ස්ථානයේ සිටි බව කියන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් තිබෙන බවට ඩී. එන්. ඒ. පරීක්‍ෂණයකදී අනාවරණය වී නොතිබිණි. අවස්ථා දෙකකදී සිදු කරන ලද පරීක්‍ෂණවලදී සාරා ජෙස්මින් එම මියගිය පුද්ගලයන් අතර සිටි බවට අනාවරණය නොවූ නිසා නැවතත් එම සිරුරු කොටස් ගොඩ ගෙන පරීක්‍ෂණ කිරීමට විමර්ශන කණ්ඩායම් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment