පිරිමින්ට පුරුෂ ශක්තිය කතුන්ට මව් කිරි මදි නොකියන්ට දුන් කොස් තිබුණු ගණේමුල්ලේ අයත් නොදන්න එරිස් සීයලාගේ කොස් හේන

10807

තරුණ ‘ඒරිස්’ කොස් වල බලයෙන් ඇතෙක් මෙල්ල කරලා…..

දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මිනිස්සු කොස් අමතක කරලා පාන්පිටි ගිලින්න පුරුදු වෙලා ..

අද බේතකටවත් හොයාගන්න කොස් නැහැ …

ආහාරයට ගැනීමෙන් පසු පිරිමින් තිරිහන් කරවා පුරුෂ ශක්තිය නොමඳවම සිරුරට දෙන අතරේ කතුන් ද තිරිහන් කොට දරු ප්‍රසූතියෙන් පසු ඔවුනට වැඩි මව්කිරි ප්‍රමාණයක් ලබාදීමට සමත් විශේෂිත කොස් වර්ගයක් ඇති කොස් හේනක් පිළිබඳව මට මුල් වරට අසන්නට ලැබුණේ එක්දහස් නවසිය හැත්තෑව දශකයේ අග භාගයේ ය.

ඒ ගණේමුල්ල, හොරගොල්ල සිරි මහින්දාරාම විහාරස්ථානයේ පැරණිම දායකයකු වූ එස්. ඒරිස් සිල්වා මහතා (ඒරිස් සීයා) ගෙනි. ඒ වනවිට ද අසූ වියෙහි පසු වූ ‘ඒරිස් සීයා’ ප්‍රදේශයේ ජව සම්පන්න තරුණයන් හා හරි හරියට දුව පැන ඇවිදිමින් එල්ලේ ක්‍රීඩාවේ පවා යෙදුණු අයුරු මට හොඳ හැටි මතක ය.

ගණේමුල්ල, හොරගොල්ල සිරි මහින්දාරාමයට යාබද කොස්හේන නම් ඉඩමේ “කොස්හේනේ ගෙදර” නම් පාරම්පරික නිවහනේ පාරම්පරික පදිංචි කරුවකු වූ ඒරිස් සීයා තරුණ වියේ දී කළ අනේක විධ හපන්කම් සුරුවිරුකම් අප ද කොතෙකුත් අසා තිබේ. ඒ අතුරින් එක් දහස් නවසිය විස්සේ දශකයේ සිරි මහින්දාරාම විහාරස්ථානයේ දැනට ඇති බෝධිය අංකුරයක් වශයෙන් පාත්‍රයක බහා ඇතකු පිටින් පෙරහැරකින් වැඩම වූ අවස්ථාව පිළිබඳ කතාව කදිම නිදසුනකි. එසේ විහාරස්ථානයේ වැඩිහිටි දායකයකු බෝධි අංකුරය ද සහිත පාත්‍රය ද රැගෙන ඇතුපිටින් පෙරහැරින් පැමිණෙන අතරේ කුමක් හෝ හේතුවක් මත ඇතා හිටිහැටියේ කුලප්පු වී පෙරහැර ද විසිර යන මට්ටමකට පැමිණ ඇත. එවිට එහි සිටි සැමගේ විරෝධය ද නොතකා දනි පනි ගා ඇතුපිටට නැඟි එවක “ඒරිස් තරුණයා” එම බෝධි අංකුරය ද සුරැකෙන සේ ඇතු මෙල්ල කර ගත් පුවත දන්නා යම් පිරිසක් අදටත් ගණේමුල්ල, හොරගොල්ල හා ඒ අවට සිටිති.

“ඒ වෙන මොනවත් හින්දා නෙවෙයි අපේ කොස්හේනේ කොස්වල බලේ හින්දා. මේවා මෙහේ කොස් නෙවෙයි. අපේ කිත්තලා, කිරි කිත්තලා මලයාලි දේසෙන් එනකොට ගොනාපු කොස්. ඉස්සර අපේ පරම්පරාවේ මිනිස්සු බත්වලට වඩා කෑවේ කොස්; මේවා කෑවම අත පය යකඩ වගේ වෙනවා. දෙවෙනි ලෝක යුද්දෙනුත් පස්සේ තමයි මේවයේ මිනිස්සු කොස් අමතක කරලා බත් ඇරුණම පාන්පිටි ගිලින්න පුරුදු වුණේ” ඒරිස් සීයා ගේ පැරණි වීරකම් පිළිබඳව විමසුම් කළ අපට සෑම විටෙක ඒවායේ ගෞරවය කොස්හේනේ කොස්වලට දුන්නේ එසේ ය. එමෙන්ම මා ඉහත දක්වා ඇත්තේ ද වයස අවුරුදු අසූවේදීත් කොලුකම ඉහට ගසා සිටි ඔහු “අමුවෙන්ම” කී කතාවක් තරමක් සැර බාල කරමිනි.

නමුත් ඒරිස් සීයා තම පාරම්පරික නිවහන පිහිටි කොස්හේන එසේ අගැයුමට ලක් කළ ද ඔහු සඳහන් කළ මලයාලි කොස්වල කතාව ඔවුන්ගේ පාරම්පරික ජන විශ්වාසයක් වුවත් එහි ඉතා වැදගත් මානව විද්‍යාත්මක සත්‍යයක් ඇති බව මට පසක් වූයේ වයසින් හා දැනුමින් මුහුකුරා ගිය ඊට බොහෝ පසු කාලයක දී ය.

ගම්පහ දිස්ත්‍රික්කයට සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගණේමුල්ල ආශ්‍රිතව ඇති හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන ගම්මාන දෙක එකම ජන සංයුතියකින් යුතු වූවකි. දිගුකාලීන වශයෙන් සිංහල බෞද්ධ සහ දහ නව වන සියවසේ අග භාගයේ සිට කොටසක් කතෝලික වශයෙන් පෙනී සිටින මෙම ගම්මාන දෙකේ පාරම්පරික ගැමියන්ගේ පෙළපත් නාමයන් වනුයේ ‘සේනාසිගේ’ සහ ‘ආඬි ගේ’ යන්න ය. ඊට හේතුව ඔවුන් ආසන්න වශයෙන් මීට සියවස් පහ හයකට පෙර දකුණු ඉන්දියාවේ කේරලයෙන් මෙරටට සංක්‍රමණය වූ මලයාලීන් වීම ය. ඒරිස් සීයාගේ මලයාලි කොස් කතාවේ පාදක නිමිත්ත එයයි.

පිරිමින්ට පුරුෂ ශක්තිය කතුන්ට මව් කිරි මදි නොකියන්ට දුන් කොස් තිබුණු ගණේමුල්ලේ අයත් නොදන්න එරිස් සීයලාගේ කොස් හේන
වැව් වේල්ල

එම කාලයේ ආඬින් හා සන්‍යාසීන් හෙවත් සංචාරක ගිහි පූජකයන් ලෙස මෙරටට පැමිණි ඔවුන් පසු කාලීනව ශ්‍රී ලාංකේය සමාජයේ විවිධ ඉහළ ස්ථරයන්ට පවා පැමිණි බවට තොරතුරු තිබේ. එමෙන්ම මෙම ගම්මාන දෙකේ ඇතැම් ගැමියන් ගේ සන්‍යාසි ගේ යන මුල් පෙළපත් නාමය පසුව සේනාසිගේ සහ සේනාසිංහ යනුවෙන් පරිණාමය වී තිබේ. (මෙම ලේඛකයා ද එම පරපුරටම අයත් වූවෙකි.) නමුදු එවක දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයෙන් මෙහි පැමිණි තෙලිඟු බස කතා කරන සංක්‍රමණිකයන් හා ඔවුන් අතර කිසිදු සබැඳියාවක් නොමැති වුවද කේරලයෙන් පැමිණි මලයාලි ජාතිකයෝ ද එම ජාතීන් ගේ සුල මුල නොදත් මෙරැටියනට ආඬින් හා සන්න්‍යාසිහුම වූහ. ඔවුන් කතා කළ මලයාලම් බස ස්වදේශිකයන්ට “අණ්ඩර දෙමළ” විය. ඒ දෙමළ ද නොවූ මලයාලම් බස මෙහි වැසියනට නොවැටහුණු බැවිනි. හිස මුදුනට වන්නට ජටාවක් සේ බැඳගත් කෙස් කළඹකින් සහ මුව පුරා වැඩීගත් රැවුලකින් යුතුව කරෙහි ජප මාලයක් ලා ගනිමින් පඬු පැහැති රෙදි කඩකින් සිරුර වසා ගත් මොවුන්ගේ කරෙහි ඔලොගුවක් එල්ලෙමින් තිබෙණු ද බොහෝ විට දැකිය හැකි විය. මුල් කාලයේ මෙහි වාසස්ථාන ඉදි කර නොගත් මොවුන්ගේ නවාතැන් වූයේ අම්බලම් ය. එවක මොවුන් ගෙන් පිරී ගත් අම්බලමක් පිහිටි තැනක් අද ද ආඬි අම්බලම ලෙස ප්‍රකටව ඇත.“ආඬි හත් දෙනා ගේ කැඳ හැළිය වගේ” යන ප්‍රකට පිරුළට පදනම් වී ඇත්තේ එවන් අම්බලමක රැයක් ගත කළ එම ගිහි පූජකයන් එකිනෙකාට වංචා කිරීමක් මුල් කොට මෙහි වැසියන් තනා ගත් උපහාස පිරුළකි. එමෙන්ම ඔවුන් සැමගේ උරයේ එල්ලෙමින් තිබූ ඔලොගුව දරුවන් පැහැර ගැනීම පිණිස යොදන්නක් සේ තම සිඟිති දරුවන්ට කියා දුන් එවක මව්වරු ඔවුන් “සන්නාසි බිල්ලන්”, ලෙස හැඳින්වීමට ද පුරුදුව සිටියහ. නමුත් මේවා ගැමි උපකල්පන මිස සත්‍ය කතා නොවේ.

මුල් කාලයේ මෙසේ භික්ෂාවෙන් හෙවත් ජනතාගෙන් යැපීම් මුල් කොට රට පුරා සංචාරය කළ මෙම ගිහි පූජකයන් පසු කාලීනව තම පූජක වෙස් අතහැර ශ්‍රී ලාංකේය කතුන් විවාහ කර ගෙන කෘෂිකාර්මික කටයුතු ආදියේ යෙදෙමින් සිට හීන් සීරුවේම සිංහල බෞද්ධ සමාජයට අවශෝෂණය වූ බවක් පෙනේ.

අපගේ කතා නායක ඒරිස් සීයා මලයාලී දේශයෙන් පැමිණි අපගේ මුතුන් මිත්තන් ලෙස හඳුන්වන ලද්දේ එම පරම්පරාවේ ආදිතමයන් බව නිසැක ය. මීට වසර පන් හයසියයකට පෙර ගණේමුල්ල හොරගොල්ල ප්‍රදේශයට සංක්‍රමණය වූ කේරල මලයාලි මිනිසුන් පිරිසක් එම ප්‍රදේශයේ පදිංචි වී එම ගම්මානය අතුරින් දඟර ස්වරූපයෙන් ගලා ගොස් ජාඇල වශයෙන් මීගමු කලපුවට එක් වන ඌරුවල් ඔය සමීපයේ සශ්‍රීක කුඹුරු වගාවක් ආරම්භ කොට තිබේ. ප්‍රදේශයේ අදටත් නොනැසී පවතින ජන විශ්වාසවලට අනුව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සම්බා වී හඳුන්වා දී ඇත්තේ ද ඔවුන් විසිනි. බෙංගාලයේ ‘ගෝභින්දෝ භෝග්’ හෙවත් දෙවියන් ගේ බෝගය නමින් පවා හැඳින්වෙන සම්බා වගාව කෝට්ටේ යුගයේදී ඔවුන් විසින් මෙම ගණේමුල්ල හොරගොල්ල ආශ්‍රිතව කෙතරම් ප්‍රචලිත කළේ ද කිවහොත් එවක උඩුගම්පොළ රාජධානියේ රජ කළ සකල කලා වල්ලභ රජතුමා ඒ සඳහා අවශ්‍ය වාරි පහසුකම් සලසා දී තිබේ. එහි දී රජතුමා එම සම්බා වී වගාව සඳහා ඔවුනට ප්‍රදේශයේ ජල මූලාශ්‍ර මුල්කොට වැවක් බඳවා දුන් බව ද සඳහන් ය.

පිරිමින්ට පුරුෂ ශක්තිය කතුන්ට මව් කිරි මදි නොකියන්ට දුන් කොස් තිබුණු ගණේමුල්ලේ අයත් නොදන්න එරිස් සීයලාගේ කොස් හේන

මේ වනවිට එම පැරණි වැව මුළුමනින් වල්බිහි වී ඇති අතර ගණේමුල්ල හොරගොල්ලේ ශ්‍රී ලංකා විද්‍යාලය අද්දරින් එම ගොඩ වූ වැව අද්දරින් වැටී ගත් මාර්ගය අද ද හැඳින්වෙනුයේ ‘වැව් වේල්ල’ යනුවෙනි. එමෙන්ම එම වේල්ල අන්තයේ ඇති නිවස ද අදත් වැව ගෙදර යනුවෙන් හඳුන්වනු ලැබේ. එම වැව් වේල්ලේ එක් කෙලවරක් අදත් වෑවලමුල්ල ලෙස හඳුන්වනු ලැබේ.

වත්මන් හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් එම ප්‍රදේශය මේ වනවිට හම්බාගම නමින් හැඳින්වෙන අතර එය පැරණි සම්බාගම යන නමේ විකෘතියක් බව පැහැදිලිවම පෙනෙනු ඇත. ඔවුන්ගේ මෙම ආදර්ශ සම්බා වගාව කොතෙක් සාර්ථක වී ද යත් සකල කලා වල්ලභ රජතුමා පසුව එය ශ්‍රී ලංකාවේ සුවිසල්ම වෙල් යායක් වන ඉන් බටහිරට වන්නට පිහිටි මුතුරාජවෙල පුරා ව්‍යාප්ත කළ බව නිසැක ලෙසම කිව හැක. මුතු සම්බා වගාව සහිත රාජකීය වෙල් යාය යන නමින් මුතුරාජවෙල නමින් හැඳින්වුණු එය පසුව එල්ල වූ සමුද්‍රික බලපෑම නිසා වී වගාව හීන වී ගොස් අද වනවිට නීතියෙන් රැකගත යුතු අගනා තෙත් බිම් පරිසර පද්ධතියක් පමණක් බවට පත්ව තිබේ.

කොස්හේනේ ඒරිස් සීයා කිත්තා, කිරිකිත්තා ආදී වශයෙන් ආඩම්බරයෙන් පවසන ඔහුගේ පරපුරේ ප්‍රවාදගත ආදීතමයා මහගම මුත්තා හෙවත් ගමේ මුත්තා යනුවෙන් හැඳින්වේ. කෝට්ටේ යුගයේ දී එහි පැවැති ශ්‍රී විභූතිය කොතෙක් ද යත් එම ජන කොටසේ ප්‍රධානත්වය දැරූ කේරල මලයාල සංක්‍රමණිකයා පසු කලෙක මහගම මුත්තා ලෙස දේවත්වයට පත් වූ බවට ද සාක්ෂි තිබේ. නමුදු අතීතයේ හුන් ඒ මහගම මුත්තාගේ දේවත්වය පසුව පොදුවේ ගම්බාර දෙවියන් ලෙස හැඳින්වෙන සූනියම් ගම්භාර දේවත්වය තුළම අවශෝෂණය වී ඇති බව පෙනේ. එහි නාගස්ගොඩැල්ලේ තිබූ පැරණි ගමේ මුත්තා දේවාලය මේ වනවිට පත්තිනි දේවාලයක් වී තිබේ. ඒ කෝට්ටේ යුගයේ සිට රට පුරා පැතිර පැතිර ගිය වදුරු වසංගතත් සමඟය.

“මලයාලි දේශයෙන් ආපු අපේ මුතුන් මිත්තන් ගේ මුල්ම වාස භවනය ඒ කියන්නේ මහගම මේ හරිය තමයි. මහගම මුත්තා ඉඳලා තියෙන්නෙත් මෙහේ. පරණ මිනිස්සු අදටත් මෙහාට කියන්නේ මහගම කියලා; ඒ වගේම හොරගොල්ලේ සිරි මහින්දාමය පැත්තට අදටත් කියන්නේ කොස්හේන කියලා තමයි; ඒක අපේ ආදිතමයන්ගේ කොස් වගා බිම වෙන්න පුළුවන්” අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා ටෙලිකොම් පාලන ලේකම් වරයකුව සිට විශ්‍රාමලත් උතුරු හොරගොල්ලේ පාරම්පරික ගැමියකු වන එස්. සීමන් සිල්වා මහතා කීය.

අතීතයේ ඉන්දියාවේ කේරලයෙන් හෙවත් මලයාලි දේශයෙන් ගෙනා සුවිශේෂ ගුණ දෙන බවට ජන විශ්වාසයේ පවතින කොස් වගාව සහිත ගණේමුල්ල හොරගොල්ලේ කොස්හේන පිහිටියේ වත්මන් ගණේමුල්ල නගර සීමාවට අතේ දුරිනි. ගණේමුල්ල නගරයේ සිට කඳාන ජාඇල දක්වා දිවෙන ප්‍රධාන පාරෙන් නිවන්දම හරහා ජාඇල පාර බෙදෙන හන්දියට වම් පසින් මායිම් වන බිම්කඩ කොස්හේන නමින් හැඳින්වෙන අතර මෑතක් වන තුරුම එම හන්දිය හඳුන්වන ලද්දේ කොස්හේන හන්දිය යනුවෙනි.

නමුදු ඒරිස් සීයා පැවසූ මලයාලම් දේශයේ පැරණි තම මුතුන් මිත්තන් ගේ මෙම ජව බලය සහිත කොස් මෙම කොස්හේනට පමණක් සීමා නොවූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂි කිහිපයක් ද මට සොයා ගත හැකි විය.

පසුකාලීනව සිංහල ජාතියට අවශෝෂණය වූ එබඳුම දකුණු ඉන්දීය සම්භවයක් සහිත සංක්‍රමණික පිරිසක් වෙසෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හීනටියන, උන්නාරුව, ගමන්ගෙදර යන ගම්මානවල ගැමියන් අතරේ ද කොස් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් පළ වී තිබේ. කොස් තැම්බීම සම්බන්ධයෙන් ඔවුනට ආවේණික ක්‍රම තිබූ බව ද අනාවරණය වේ. සුදුලූණු, කරපිංචා, අබ, ගම්මිරිස්, කුරුඳු පොතු, කහ, අමු තුනපහ කුඩු, ලූනු, කොච්චි, ලුණු ඇතුළු මෙකී නොකී දේ සමඟ පොල් තලපයක් සේ අඹරා තැම්බී නිමාවෙමින් පවතින කොස්වලට මුසු කිරීමෙන් ඒ කොස්වල විශේෂිත රසයක් සේම සුවඳක් ද අත් විඳීමේ ක්‍රමයක් ඔවුන් සතු විය.” ඒ කාලේ ඔය විදිහට කොස් කන්න පුරුදු වුණේ ඔය කියන ජන කොට්ඨාසේ මිනිස්සු විතරයි. ඒ අය කොස් තම්බන කොට ඒ සුවඳ ගම පුරාම පැතිරුණා” හැඳල තිඹිරිගස්යායේ පදිංචි රුප්පගේ විනිෆ්‍රීඩා ජෙනට් සිල්වා ද මහත්මිය එසේ කීවා ය. එමෙන්ම මස්, මාළු හෝ කරවල හොද්දක් සමඟ එය අතිශය රසවත් ආහාරයක් වූ බව ද ඇය කීවා ය.

ඉන්දියාවෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණ වංශික පරපුරක් පැවැත එන දකුණු පළාතේ කොස්ගොඩ බළපිටිය ආශ්‍රිතව ද අතීතයේ සරුසාර කෙස් වගාවන් පැවැති බව කොස්ගොඩ යන ග්‍රාම නාමය අනුව වුව ඉතා පැහැදිලි ය. නමුත් දඹදෙණියේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ (1234-1269 ) අග්‍රාමාත්‍ය දේව ප්‍රතිරාජ ඇමතියා සතු දෙල් උයනක් ද කොස්ගොඩ ප්‍රදේශයේ පැවැති බවට රාජාවලියේ එන සඳහන අනුව එම ජනවර්ග අතරේ කොස් සේම දෙල් ද ජනප්‍රිය ආහාර වූ බව පැහැදිලි වේ. එමෙන්ම එම පරපුරටම අයත් පෘතුගීසීන් හා අභියෝගාත්මක මල්ලව පොරයක යෙදීමෙන් ජයගෙන පිනෙස් ප්‍රේරා ආරච්චි යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ එම පරපුරට අයත් අයෝමය කාය බලයක් හිමි තරුණයා සමුද්‍ර තරණයේ යෙදී සිටියදී යාත්‍රාව එවක දේසේ නමින් හැඳින්වුණු මාල දිවයිනට ගසා ගෙන ගිය පුවත බළපිටිය ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර අදටත් ප්‍රචලිත ය. මෙහිදී වැඩිපුර කොස් ආහාරයට ගෙන තම අයෝමය කාය ශක්තිය පුබුදුවා ගෙන සිටි ඔහු එහි දී කොස් වෙනුවට දෙල් ආහාරයට ගෙන දෙලුත් නරකම නැතැයි පවසමින් මුල්ම රට දෙල් පැළ මෙහි ආ බවට එම ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් තිබේ. අද වනවිට වැලිසර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ යනුවෙන් දේවත්වයට පත් ඔහු මුල් වරට රට දෙල් අප රටට හඳුන්වා දුන් බවට පවතින විශ්වාසය මත “දෙල් මුත්තා” යන ආදරණීය නමින් ද හැඳින්වෙයි.

මේ සියලු තත්ත්වයන් හමුවේ මෙම අගනා කොස් වගාව සහිත ගණේමුල්ල හොරගොල්ලේ කොස්හේන අද මුළුමනින්ම මානව ජනාවාසයකි. නමුදු අද එහි කොස් ගසක් “බේතකට වත්” සොයා ගත නැති සේ ය. අතීතයේ තිබූ කොස් හේනේ ගෙදර වෙනුවට මේ වනවිට එහි ගෙවල් කිහිපයක්ම තිබේ. “ඉස්සර මිනිස්සු මේ පැත්තට කොස්හේන කිව්වට දැන් ඉන්න කිසිම කෙනෙක් ඒ නම වත් දන්නේ නෑ. දන්නේ අපි විතරමයි” ඒරිස් සීයාගේ මිත්තණියක වන රම්‍යා සේනාසිංහ මහත්මිය අප හා කීවා .

අද වනවිට කොස්හේන හන්දියේ ව්‍යාපාරික ආයතන කිහිපයක්ම තිබේ. ඩී. එම්. එස්. බණ්ඩාර මහතා එහි බොජුන් හලක් පවත්වා ගෙන යන බිබිල ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයෙකි. “මෙහේ කොස්හේන කියලා හරියක් තියනවද?” එම බොජුන් හලට පිවිසි මම බණ්ඩාර මහතා ගෙන් ඇසීමි. “කොස්හේන නෙවෙයි කොස්සින්න. ඒක තියෙන්නේ කිලෝ මීටර් තුන හතරක් එහා” හෙතෙම කීය. “කොස්සින්න තියෙන්නෙ එහේ වුණාට කොස්හේන කියන්නෙ නම් මෙතනට” මා එසේ පවසත්ම ඔහු මගේ දෙනෙත දෙස වඩාත් විමසුම් සහගතව බලන්නට විය. ඒ මා කිසියම් මානසික අර්බුදයකින් පෙළෙන්නකු ද යන්න විමසීමට මෙනි. “එක අතකට ගණේමුල්ලෙ මිනිස්සුත් නොදන්න කොස්හේන බිබිලේ ඉඳලා ආපු මිනිස්සු කොහොමත් දැන ගන්න විදිහක් නෑනෙ” එම ගමන නිමවා ආපසු එන අතරේ මා හා ඊට එක් වූ සහන් කීය.

තිලක් සේනාසිංහ
ඡායාරූප: සහන් සංකල්ප සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment