ගෑසුත් බඩටම අරියි: ලිට්‍රෝ නව මිල රු. 4860 යි

132

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෑස් මිල ගණන් ඉහළ දමා ඇත. කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2110.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4860.00 ක් වේ.

මේ අතර කි.ග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රු.1945ක් වන අතර කි.ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු. 910ක් වේ.

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සිය ආයතනයේ පාඩු අවම කර පාරිභෝගිකයා වෙත අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීම සඳහා මිල ඉහළ දැමීමේ තීරණය ගත් බවයි. ආයතනය දිගින් දිගටම පාඩු ලබා වසා දමනවාද සහ මිල ඉහළ දමා ආයතනය ස්ථාවර කර පාරිභෝගිකයාට ගෑස් සපයනවාද යන්න තීරණය කළ යුතු අසීරු අවස්ථාවට පැමිණ තිබූ බව කී හේරත් මහතා වෙනත් කළ හැකි යමක් නොමැති බැවින් මෙම තීරණය ගත් බව කීවේය.

ලිට්‍රෝ ගෑස් සමාගම දෛනිකව රුපියල් කෝටි 25 ක පාඩුවක් ලබන බවත් පසුගිය වසරේ සමස්ත පාඩුව කෝටි 2400 ක් බවත් හෙතෙම කීවේය. එසේම සිය සමාගම රුපියල් කෝටි 1000 ක් බැංකු ණය ගෙවීමට ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment