සිත් නිවා සැනහූ එදා ඇසුණු,අදත් අසන බොදු ගී සරණිය

323

පසුගිය සියවසේ උදාවේදී ශ්‍රී ලංකාවේ මුල්වරට සජීවී ගීත ගායනයන්ගෙන් පියවරක් ඔබ්බට ගොස් යන්ත්‍රානුසාරයෙන් කිසියම් මාධ්‍යයක ගබඩා කරන ලද ‘ගීත’ ශ්‍රවණය කිරීමේ අරුම පුදුම වරම මෙහි වැසියන්හට හිමි වූයේය. ‘කතා පෙට්ටිය’ යන සරල ව්‍යවහාරයෙන් හඳුන්වන්නට හුරු පුරුදු වූ එය ‘ග්‍රැමෆෝනයයි’. අතින් කරකවා ක්‍රියාත්මක කරවන ඒ යන්ත්‍ර උදෙසා භාවිත කළ කුඩා දරුවකුගේ සෙල්ලම් කාරයක රෝදයකටත් තරමක් විශාල වූ තැටි වල ගබඩා වූ ගීත ග්‍රැමෆෝන් ගීත ලෙසින් දැන් නම්කර තිබෙන අතර 50 දශකයේ දී ක්‍රමයෙන් අභාවයට ගිය ඒ තාක්ෂණය අවසන් වනතුරු යුගය ද හඳුන්වන්නේ එනමිනි.

ඊ. ආර්. ඒ. ඉබ්‍රහිම්, ඒ. එම්. යූ. රාජ් (උදයප්පන් රාජ්), ඇලන් රත්නායක, එම්. බී. ජොහර්ෂා, අහමඩ් මොහිදීන්, එම්. කේ. වින්සන්ට්, පිරිමි පාර්ශ්වයෙන්ද ග්‍රේටා ජෙනට් ද සිල්වා, වසන්තා සන්දනායක, ලක්ෂ්මී බායි, සිසිලියානා ඩයස්, එම්. මධුරාවතී, ප්‍රීසිලා ඕපාත ඇතුඵ තවත් අය කාන්තා පාර්ශ්වයෙන්ද වෙළෙඳ නාම දෙකක් යටතේ ගීත නිකුත් කරන්නට යෙදිනි. හිස් මාස්ටර්ස් වොයිස් සහ කොළොම්බියා යන ජත්‍යන්තර ලේබල ද්විත්වය ග්‍රැමෆෝන් යුගයේ ප්‍රධානතම තැටි ලේබල විය.

ඒවායේ ගී පද රචනා මාතෘකා, පසුකාලීනව සිංහල ගීත බහුතරය උදෙසා යොදාගත් ඒවාට වඩා කැපී පෙනෙන ලෙස වෙනස්ය. ප්‍රේම ගීත කලාව අතුඉති විහිදී විසිර පැතිර ගිය 60 දශකය දක්වා ලියැවුණු ගීත සඳහා බහුල ලෙස උපයෝගී කොට ගත්තේ ආගමික තොරතුරු සහ ලංකා ඉතිහාස කථාංගයන් ය. එසේ නොවේ නම් මව්පිය ගුණ, ලංකාභූමිය සහ සොබාදම් වැණුම් සහ අල්ප සංඛ්‍යාත සංයමයෙන් ඉදිරිපත් කෙරුණු ස්ත්‍රි – පුරුෂ සංවාද ගී ද ඒ අතර විණි.

තමන් සිදුකරන කාර්ය භාරයට විෂය වන්නේ හිරිමල් යොවුන් පරපුර පමණක් නොව, කුඩා දරුවන් සහ වියපත් පරිණත වැඩිහිටියන් නියෝජනය කරන පුඵල් සමාජය බව ද ඔවුන් සියල්ල හට වයස් භේදයකින් තොරව රසවිඳිය හැක්කේ ද, ප්‍රසිද්ධියේ ගායනය කළ හැක්කේද එවැනි මාතෘකාවලින් සමන්විත වූ ගී බවද ගීත රචකයන් සහ ඒවා තෝරාගන්නා වගකිවයුත්තන් හොඳින් අවබෝධ කරගෙන සිටි බවට එය මනා සාධකයකි.

සංවේගජනක සංවේදී සිදුවීම් හමුවේද, ආගමික කර්තව්‍යයන් හමුවේද ඒවා නොපැකිළිව ගැයීමේ වාදනය කිරීමේ බාධා අවහිරතා එයින් මගහැරිණි. පුන්පෝදා ගුවන් විදුලි සේවයේ, විහාරස්ථානයේ පිංකම් පොළේ, නිවසේ හෝ පොදු ස්ථානයක සංවිධානය වූ උත්සවයකදී එය එසේම විය.

● බෞද්ධ සාහිත්‍යය –

ලෝනා සෑසි මුණි ගෞතම සාමි, ශ්‍රී මුණිදා නමදිමු දෑන්, අඩු කළේ සෙළවීම නිසා එහි අඩුකම.., මව්පිය ආදි සොඳුරු සමාජේ…, අනෝම ගං තිරේ, මහ බෝධිමුලේ විදුරසුනේ, බන්දුල ප්‍රේමි සිටු කුමාරි, බුදුබව පතනා වෙසතුරු නිරිඳා…, ධර්මරාජා නමාමි මා, ඉසිපතනේ මිගදායේ.., ලෝ නාථා බුදුහිමි රාජා… මගේ ස්වාමි සාක්‍යසිංහ, මෛත්‍රි වඩාලු සතටා සැපාදී, නාමේ නොදිරනා, නොකියාම එදා ඇසළමහේ… පුදමු මේ කුසුම්, රාජපන්ඩිත නාග විමානේ, සිරිගන සෑසි ලෝකෙශ්වරා, ශ්‍රී මුණි ගෞතම, සුන්දර ශ්‍රීණී මනහාරි කුසිනාරා නගරේ, තිලොවග රාජා බව සැරිසරලා, උතුම් බුදුන් ත්‍රෛලෝනාවී……

● ලංකා ඉතිහාසය –

රාජ සඟබෝ හිසදී දුගියාටා, පනාමුරේ ඇත්රාජා, සිහිල් සුළං සුනිල් කුසුම් සෝමාදේවි…

● සිද්ධස්ථාන –

මුණි නන්දන සිරි පාද වඳිම්, ජේතවනාරාමේ අති රමණී, මුතිගනා වෙහෙරේ අලංකාරේ, ගෞතම සිරි පාද වඳිමු සමනල කන්දේ,

● බෞද්ධ උත්සව-

බුදු මගුල ළඟම ඒවි, නවතින්න තිස්ස ඇයි මේ….

ඉහත ගී ලැයිස්තුව මෙම යුගයේ ගීත අල්ප ගණනක් නියෝජනය කළත් එයින් එදවස පබැඳුණු ගීතරචනාවන්හි ස්වභාවය පිළිබඳව අදහසක් උපදවා ගත හැකි වනු ඇත. මෙම ගීත ග්‍රැමෆෝන් යන්ත්‍ර පෞද්ගලිකව නිවෙස් හි තබාගන්නට වරම් නොලද්දා වූ ගීතලෝලීන් වෙනුවෙන් ගුවන් විදුලිය විසින් නිතිපතා විසුරුවා හැරිය අතර, බහුතර ගීත රසිකයන් ඒවා දැනකියා හැඳින ගත්තේ ඒ නිසා බව ස්ථිරය.

පසුකාලීනව බලධාරීන් විසින් ගන්නා ලද කාලෝචිත පියවර නිසා 70 දශකයේ ගීත රචකයන්ගේ මැදිහත්වීමෙන් බොදු ගී සංචිතයක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබිණි. ඒවා පසුකාලීනව තැටි සහ කැසට්, සංගත තැටි මාධ්‍යයන්ගෙන් ජනගත විය.

බැති ගීයකින් ශ්‍රාවක සිත් සමාධි ගත කරන්නට සමත් ස්වරාලංකරණයන්ගෙන් පසුකාලීන ගේ ගායනා හැඩවැඩ විය.

ග්‍රැමෆෝන් යුගයෙන් පසු පරපුරේ ගී පද රචනා කලාවේ විශිෂ්ටත්වය සහ ප්‍රවීණත්වය ලද සාමාජිකයන් ඔවුන් වෙනුවෙන් සිය වගකීම මනාව ඉටුකර දුන්නේය. පහත ලැයිස්තුව විමසනු මනාය.

සිත් නිවා සැනහූ එදා ඇසුණු,අදත් අසන බොදු ගී සරණිය

පණ්ඩිත් අමරදේව –ඇසේ මතුවුණු කඳුළු බිඳූගෙන (මහගම සේකර), අඩවන් වූ දෙනෙතින් ගලනා (ඩබ්ලියු. ඒ. අබේසිංහ), ජගදානන්දන මහා කාරුණික (පණ්ඩිත් අමරදේව සමග සනත් නන්දසිරි) (ආචාර්ය අජන්තා රණසිංහ), වඳිමු සුගත සාක්‍යසිංහ… සසර දිනූ බුදුපියා…(පණ්ඩිත් අමරදේව විසින්මය). මහඇදුරු සනත් නන්දසිරි –නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් (අජන්තා රණසිංහ), සමිඳුනි ඔබ සෙවණැල්ලේ (මහඇදුරු සුනිල් ආරියරත්න), සිත් නෙත් මහත් අදර වැලමියාවේ ධම්මරක්ඛිත හිමි), සිතේ නැගුණු කළකිරීම කුමරිය – යශෝධරා (සුනිල් සරත් පෙරේරා), ආචාර්ය නන්දා මාලිනී-සසර සයුරු සරණ, බුද්ධානුභාවෙන සිත් නෙත, බුදු කරුණා දෑස තෙමි (මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න), බුදුසාදු (අසෝක කොළඹගේ), ප්‍රඥා ප්‍රදීප දල්වා (විමලේන්ද්‍ර වතුරේගම), ආචාර්ය වික්ටර් රත්නායක-අනාථනාථයාණෙනි (සුනිල් ආරියරත්න), නිවන් දුටු හිමි, අරුණලු ඉතිරෙන හිමිදිරි යාමේ, දෙව්රම් වෙහෙරේ (ප්‍රේමකීර්ති ද අල්විස්), අමා දහර දිය ගලා ගලා (පුන්‍යසිරි මහවත්ත) ගුණදාස කපුගේ –පසක් කොට ඇති සසර දුක් ගිනි (සුනිල් සරත් පෙරේරා), රූපා ඉන්දුමතී – සිහිළැල් බුදුගුණ ගගුලේ, අමරසිරි පිරිස් – බුදු සිහිළ ගළාලා, මිල්ටන් මල්ලවාරච්චි – ඇසළ සඳට පිටදීලා (ප්‍රේමකීර්ති ද අල්විස්) සෝමතිලක ජයමහ – දසබිම්බර මාර සෙනඟ.. -සුනිල් එදිරිසිංහ – සොයා පිළිසරණක්… (කුමාරදාස සපුත්‍රන්ත්‍රි), නිදුකාණෙනි …(සුනිල් ආරියරත්න) අමරා රණතුංග – සමාධි බුදු සිසිළේ ..(සුනිල් සරත් පෙරේරා). – දයාරත්න රණතුංග – ජයසිරි මහ බෝධි (නැසිගිය චිත්‍රානන්ද අබේසේකර), ජයසිරි මහ බෝ සමිඳුන් සෙවනේ (ඩබ්ලිව්. ඒ. අබේසිංහ) ඉන්ද්‍රානි විජයබණ්ඩාර – සිරිමා බෝ මුල විදුරාසන මත, බුදු සාමිනේ සිරිපා පියුම් (කරු අබේසේකර) – සුජාතා අත්තනායක – වෙසෙතුරු බෝසත් දුවේ පුතේ (අජන්තා රණසිංහ), ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් (ස්වර්ණදාස හේරත්) – මොහිදීන් බෙග් – සුවදේ මට සීතල සුළඟ (ගුණරත්න අබේසේකර) – ටී. එම්. ජයරත්න – සඳ වතුරක් සේ මෙත් සොමි (රඹුකන සිද්ධාර්ථ හිමි) – සුනිල් සාන්ත – අදයි වෙසක් පොහෝදා, පෝදා දහම් සිසිළේ

● සිනමා රූපාවලිය වෙත භක්ති රසය මුසුකළු මියැසිය

සිංහල සිනමා ගීත රූපරාමුදාමය සරසන්නට දල්වන ලද බොදුබැති ගී ප්‍රදීපාවලියේ අන් සියලු පහන් ආලෝකය යටපත් කර හාත්පස ඒකාලෝක වූයේ 1962 වසරේ සිංහල දෙබසින් හැඩගැන්වූ අංගුලිමාල උදෙසා කරුණාරත්න අබේසේකරයන් විසින් වදන් මුසුකළ, බෙග් හඬින් ගිගුම් දුන් බුද්ධං සරණං ගච්ඡාමි… ගීතය බව අවිවාදාත්මකය.

ගත්කතුවර ඩබ්ලියු. ඒ. සිල්වා ලියූ දෙයියන්ගේ රටේ සිනමා රූපරාමු වෙතට ඇතුළත් වූයේ 1958 දීය. මොහිදීන් බෙග් එහි දී සිය හඬ අවදිකරමින් බොදුබැති ගී ගයන්නට තම ගායන පෞරුෂය කෙතරම් සුදුසුදැයි පෙන්වා දුන්නේය.

හිම බිම පාලන සුරිඳේ….
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රානේ….

(කරුණාරත්න අබේසේකර -සංගීතය පී. එල්. ඒ. සෝමපාල)

බුදුදහමේ හරය හකුළුවා ලියැවුණු ගී සංකල්පනා එමටය. අබේසේකරයන් ගේ තවත් පදවැලක් අකාලයේ දෑස පියාගත් සංගීතඥ එඩ්වින් සමරදිවාකරයන් වෙත පිරිනැමෙයි. ඔහු සංගීතවත් කළ කුලුඳුල් මෙන්ම අවසන් සිනමාපටය වූ දස්කම උදෙසා අමරදේවයන් ගේ මෝහණිය ස්වරයේ මහිමය කියාපාන්නටය. එහිදී පද රචනා කලාවට පිවිස අටවසරක පමණ කාලයක් ගතකළ මෙම නිර්මාණකරුවා එහි පළකල පරිණත බව මනාව පසක් වෙයි.

ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ…

අමරදේවයන් හට සිනමා සංගීතයට පිවිසෙන්නට ලද පළමු ඉඩකඩ තුළදී, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන් බොදු ගීයක මිහිර එක්කළේය. 1962 වසරේදී තිරගත වූ, දිවයිනේ මංගල පූර්ණ වර්ණ සිතුවම් පටය වූ එය රන්මුතුදූවයි.

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ශූරීන්ගේ නිර්මාණ බහුතරයක් සිනමාවේදී රසගැන්වූයේ කේමදාසයන් විසිනි. 1966 වසරේ තිරයේ ඇඳුනු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ගේ සැනසුම කොතැනද සිනමාපටය කමනීය ගී නිර්මාණ පෙළකින් හැඩගන්වලද අතර අමරදේවයන්ද ස්වර සමාධි ගතවිය.

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා…

1970 දී පූජිතයෝ හි අමරදේවයන් ගැයූ ගීතය ශ්‍රී පාදය හැරුණුවිට බොදු සිද්ධස්ථානයක තතු ගීයකට නංවා රිදීතිරයේදී එහි රූපරාමු පෙළගැස්වූ එකම අවස්ථාව වන්නේද විමසනු වටී

නිවන් පුරට මග පෙන්වන
පහන් වැටක් සේ …

වෙසඟ පොහොය, නගර නියම් ගම් මෙන්ම කඩ සාප්පු, නිවෙස් විවිධාකාර සැරසිලි, පහන් කූඩූ නිර්මාණයන්ගෙන් පිරී යද්දී, තොරන් ද, දන්සැල් ද දැකිය හැක. ඒවයේ නිතර ඇසුණේ මොහිදින් බෙග් ගැයූ බොදු ගීතයන්ය. සිරිපාදය පසුබිම් කොටගත් තවත් සිනමා කෘතියක් 1978 වසරේදී එළිදුටු අතර, කේ. වෙන්කට්සාලවන් හැදූ එය ශ්‍රී පතුල ලෙසින් නම් ලද අතර, බෙග් ගැයූ තවත් ගී එහි ඇතුළත් විණි. ගී පබැඳුම නැසීගිය කරුණාරත්න අබේසේකරයන්ගේ වන අතර සත්සර වියමන එම්. කේ. රොක්සාමි ගෙනි.

සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම බේදේ …

මේ නයින්, බෙග් බොදු සිනමා ගීතයේ නොනිල සංකේතය බවට පත් වූ සේය.

බොදු ගීයක් සම්මානයට පාත්‍ර වන්නේ 1984 දීය. මාලිනි ෆොන්සේකා රංගනවේදිනිය හැදූ සසර චේතනා වෙනුවෙන් මහඇදුරු සුනිල් ආරියරත්න ගේ පද සංකල්පනාවකට සංගීතඥ සරත් දසනායකගේ ස්වර සංකලනය ටී. ෂෙල්ටන් පෙරේරා ගයනා කළේය.

බුදුනේ බුදු පියාණෙනි
මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවි …

සිනමාවට නැගූ ත්‍රිපිටක සාහිත්‍යගත කථාවස්තුන් අතර, බුදුන්වහන්සේට සමකාලීනව දිවිගෙවන ලද්දේ යැයි කියැවෙන බිම්බිසාර නරපතියාගේ හා පුත් අජාසත් පුවත ඇසුරෙන් තිරගත කරන ලද අජාසත්ත ආදායම් වාර්තා පිහිටු වූ සිනමාපට අතරට පිවිසියේය. (1981) සංගීත අධ්‍යක්ෂණයේ යෙදුණු නැසීගිය සනත් නන්දසිරි විසින් සෘජුව බුද්ධාලම්භන පීිතිය ජනිත කෙරෙන බොදුගුණ ගී ඇතුළත් කරන්නට උත්සුක නොවීය. වෙස්සන්තර ජාතකය ඇසුරෙන් (1966) වෙසෙතුරු සිරිත පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත නිර්මාණ ඇතුළත් මහගම සේකර ගී පද රචනාවන්ගේ මහිමය ප්‍රකට කළ නිර්මාණයකි. පන්සිය පනස් ජාතකයේ ජනප්‍රිය කථාංගය වූ එහිද බුදුගුණ ගී පද රචනාවන් ඇතුළත් නොවුණි. සේරිවාණිජ ජාතකය 1981 වසරේදී සිනමාවේ සිත්තම් කළේ ප්‍රවීණ සිනමාවේදී නැසීගිය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා විසිනි. සුපුරුදු ලෙස ආචාර්ය කේමදාසයන්ගේ මියැසි විසිතුරු ඇතුළත් වූ එහි ගී පද සංකල්පනාවන් ද කථා වස්තුවේ අදාළ ගී පමණක් ඇතුළත් විනි.

ගී ශ්‍රාවකයන්ගේ සිත්සතන් නිවි සනහාලූ ගී ලැයිස්තුව යම්තාක් දුරකට –දම් සුගන්දේ මල් සුගන්දේ – බෙග් සහ ආචාර්ය සුජාතා අත්තනායක (ගී පද ශ්‍රී නිහාල් ජයසිංහ සංගීතය පී. එල්. ඒ. සෝමපාල – කිංකිණි පාද 1966), රුවන් වළා දුහුල් කඩින් – නන්දා මාලනී (මහගම සේකර- අමරදේව – වෙසෙතුරු සිරිත – 1966), ලස්සන සැමදේ මොහොතක සුවදේ… ජීවරාණි කුරුකුලසූරිය සමග නාරද දිසාසේකර (කරුණාරත්න අබේසේකර – ඇල්. ඇම්. පෙරේරා හතර කේන්දරය – 1967), සිරිපා පියුමේ රොන් සුණු තැවරේ – අමරදේව (මහගම සේකර – අමරදේව – රන්සළු – 1967), බුදුරැස් ගලා බසී – ලතා වල්පොළ (ධර්මසිරි ගමගේ – ප්‍රේමසිරි කේමදාස , බයිසිකල් හොරා – 1968), සුමන සමන් දෙවි විමන් කෙරෙන් එන – මහාචාර්ය සනත් නන්දසිරි – මල්කාන්ති නන්දසිරි – නාලනී රණසිංහ (විමලදාස පෙරේරා – ප්‍රේමසිරි කේමදාස සමනළ කුමරියෝ – 1972), බුදු සිරි පහසින් රුවන් කිරණ – දයාරත්න රණතුංග සහ අමරා රණතුංග (උපාලි ධනවල විතාන – එම්. කේ. රොක්සාමි – ආචාර්ය දයාරත්න රණතුංග, ජීවන ගංගා – 1974)

ගුවන් විදුලි මාධ්‍ය වෙත පැවති අධීකාරී බලය, ගිලිහි යද්දී ඊට සමාන්තරව එයින් බිහිකෙරුණු උසස් ගණයේ නිර්මාණයන්ද ප්‍රශස්ත මාධ්‍ය මෙහෙවර ද අපගමනයට ලක්වූයේ නව සහස්‍රකය එළඹෙන්නටද පෙර සිටය. වාණිජමය අරමුණු උදෙසා ගුවන් විදුලිය සහ ගීතකලාව යටවෙද්දී, දශක කිහිපයක සිට පරිණත වෙමින් පැවතී බොදු ගී කලාවට කණකොකා හඬන්නට විය.

බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ සමූහයේ එන ධම්මපදය මෙන්ම පසුව ලාංකීය සිංහල යතිවරුන් විසින් ඒ ගුරුකොට රචනා කරන්නට යෙදුනු ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය වැනි කෘතින් ගේ ආභාෂය ගුවන් විදුලි සහ වෙළඳ තැටි බොදු ගී ධාරාවටද ග්‍රැමෆෝන් ගී කලාවටද ලැබි තිබේ.

කර්මවාදය, අනිත්‍යතාවය, මෙත් – කරුණා – මුදිතා වැනි සාධුගුණ චර්යාවන්, අෂ්ඨ ලෝක ධර්මය, පරෝපකාරය, දසපුණ්‍ය ක්‍රියා, අවිහිංසාවාදය මව් පිය වැඩිහිටි සත්කාරය, මිනිස් දිවියේ යථාර්ථය, මානසික කැළඹිලි – යන මේ කරුණු අරභයා පබැඳුනු ගීත ද මීට අයත්ය. පහත ලැයිස්තුව විමසා බලනු වටනේය.

හියුගෝ ප්‍රනාන්දු-ඉරණමට සැවොම ගැතිවේවී (ලතා වල්පොල සහ ධර්මදාස) ඩී. ටී. ප්‍රනාන්දු-මනු සතා ලෝකේ ඉපදී (බෙග්), ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ-ගමන නොනිමෙයි ලෝකයේ (නාරද දිසාසේකර), සාගර කරුණා දයා ගුණේ කෝ (රුක්මණී දේවි), කරුණාරත්න අබේසේකර-මොකටද කාසි බාගේ හොයා තියා, ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, හොඳකල ආදා පයට මිණිමුතු පෑගේ, කවුද මේ ලෝකේ මරුවා සිනාවෙන් හෝ කථාවෙන් බෑ (බෙග්), ඉපිද මැරේ යළි ඉපිදේ, අනන්ත මහ සසර කතරේ (අමරදේව), දිළිඳුන් අතරේමයි විමානේ, මං මුළා වෙලා අඳුරෙහි (ධර්මදාස වල්පොළ), භයංකාර මේ ලෝකේ (සුජාතා අත්තනායක), සතුට සෝකේ ජය පරාදේ (ලතා වල්පොළ), උම්බෑ කිය කියා, සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි (මිල්ටන් පෙරේරා), ලස්සන සැමදේ මොහොතක සුවදේ (ජීවරාණි කුරුකුලසූරිය සහ නාරද දිසාසේකර), මහගම සේකර-තණ්හා ආශා ඔලොගු කරේලා (අමරදේව), කරුණාසේන ජයලත්-මාතු පාදං නමාමි (සිසිර සේනාරත්න – ඉන්ද්‍රානි විජයබණ්ඩාර) සිරිල් ඒ. සීලවිමල-මෝහෙන් මුළාවෙලා මානෙන් උදම්වෙලා, ළිඳෙන් වතුර බීලා, (වික්ටර් රත්නායක), මෙත්මල් පිබිදේවා සිත් තුළ (මොරිස් දහනායක) කේ. ඩී. කේ. ධර්මවර්ධන- ගුණ ගී වරුසා පැසසුම් ගෝසා (මයිකල් පීරිස්) ඔගස්ටස් විනයාගරත්නම්-උපන් කාට උනත් මේ චංචල ලෝකේ (වික්ටර්), දැහැනින් මිදුනා ආශාවේ (අමරදේව – ලතා වල්පොළ) ධර්මසිරි ගමගේ –අම්මාවරුනේ සම්මා සම්බුදු (නන්දා මාලිනී), ජීවන ආසා සදයි වේදනා..(වික්ටර් රත්නායක), අජන්තා රණසිංහ-සිරිමා බෝ මැඩ මුණිඳුන් වැඩහිඳ… (වික්ටර්), සමනොළ සිරසේ කරුණාවයි (ටී. එම්. ජයරත්න – මාලිනී බුලත්සිංහල) ප්‍රේමකීර්ති ද අල්විස්- දෙරණ මෙනි දුක් උහුලනා සිත (රූපා ඉන්දුමතී පිරිස), විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ (විජේසිරිවර්ධන පොළොන්නෝවිට), මලක් නෙලා ගෙනෙවිත් (පේෂලා මෙන්ඩිස්), ආදරයේ උල්පත වූ අම්මා (වික්ටර්) ඇලෝයි ගුණවර්ධන-පිළිගන්න මම චන්න ඇමැති (එච්. ආර්. ජෝතිපාල) ජෝර්ජ් ලෙස්ලි රණසිංහ-සෙනෙහස රන් සිංහාසන (ත්‍යාගා එන්. එඩ්වර්ඩ්) සුනිල් සරත් පෙරේරා-මගේ රටට දළදා හිමි (සනත් සහ මල්කාන්ති නන්දසිරි), ආදරයේ සනාතනික සංකල්පය (සෝමරත්න පෙරේරා) මහාචාර්ය තිලක් රත්නාකාර-කලාවැවේ දිය ගැඹරේ (වික්ටර් රත්නායක), රඹුකන සිද්ධාර්ථ හිමි බුදුහාමුදුරුවෝ අපිත් (වික්ටර් රත්නායක).

ග්‍රැමෆෝන් යුගයේදී ඉතිහාසය, ආගම, සොබාදහමේ විසිතුරු, පූජ්‍ය ස්ථාන වර්ණනා, දරු නැළවිලි, මව් පිය දරු සෙනෙහස, ලක් සංස්කෘතිකාංග සහ සිරිත් විරිත් සුසැදි සිංහල ගීත කලාව සිනමා ගීත යේ ආභාෂය ලබමින් ඉන් පරිබාහිරව ගැයුණු ගීතද පසුව ගුණාත්මක බවින් පිරිහී යාමේ ප්‍රවණතාවයක් පැවතුනද, නිසි පුහුණුව ලත් ප්‍රමිතිගත විනයානුකූල ගුවන් විදුලි නිවේදක පරපුරේ ද ඔවුන්ට සමගාමිව ඊට අතගැසූ පුවත්කලාවේ ඇසූපිරූ තැන් ඇති මාධ්‍යවේදීන්ගේ ද මැදිහත් වීම නිසා 60 දශකයෙන් ඔබ්බට එය ක්‍රමයෙන් අර්ථපූර්ණ රසපූර්ණ පරිණත කලාවක් ලෙස වර්ධනය වෙමින් පැවතින. ඔවුන්ගේ සමුගැනීමත් සමග, යළිත් වරක් එය කුණාටුවකට හසු වී ගසාගෙන යෑමේ අනතුරට මුහුණ පා සිටි.

ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment