මූල්‍ය අරමුදලෙන් සහ අනෙක් රටවලින් ඉල්ලූ ණය ඉක්මනින් ලැබුණොත්  ඉදිරි වැඩ කඩිනමින් කළ හැකියි – පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න හැබැයි රට අඳුරු කරන්න එපා

218

අගමැති රනිල් වික්‍රමසිංහ

රාජපක්‍ෂලා බලයේ සිටිනකම් ලෝකයේ කිසිම රටක් අපට උදව් කරන්නේ නැහැ – තලතා අතුකෝරාළ (සජබ)

වෙනත් අය කරපු වැරදිවලට ජනතාව පෝලිම්වල සිට වන්දි ගෙවනවා – චරිත හේරත් (පොජපෙ)

බදු වැඩි නොකර රට ඉදිරියට ගෙනයන්න බැහැ – අලි සබ්රි (පො.ජ.පෙ.)

ජනාධිපතිගේ අසමත් බව නිසා කෝටි දෙකක් ජනතාව විපාක විඳිනවා – ඉමිතියාස් බාකීර් මාකර් (සජබ)

දේශපාලන අර්බුදයට විසඳුම් ලැබෙන තෙක් රටේ ගැටලුවලට උත්තර ලැබෙන්නේ නැහැ – හරිනි අමරසූරිය (ජා.ජ.බ.)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය හමුවී ණය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් එම මුදල් ඉක්මනින් ලදහොත් වෙනත් රටවල්වලින්ද තවත් මුදල් ලබා ගනිමින් ඉදිරි වැඩ කටයුතු කළ හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (8 දා) පෙරවරු 10 ට  රැස්විණ.

ප්‍රථමයෙන් ලිපි ලේඛන, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරු 27(2) යටතේ විශේෂ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය. පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (7 දින) මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ආරම්භ කරමින් මෙසේ පැවසීය.

චම්පික මන්ත්‍රීතුමාගේ කතාව මම ඇහැව්වා. එතුමා රටේ තත්ත්වයේ බරපතළකම ගැන හොඳින් අවබෝධ කරගෙන කතා කළා. හැම කෙනාම ඇමැතිධුර ගන්න ඕනා කියා මම කියන්නේත් නෑ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න අපි පාර්ලිමේන්තුව ආයතනයක් වශයෙන් පෙරමුණ ගන්න ඕනා. මම ඊයේ හවස අයිඑම්එෆ් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය සමග කතා කළා. මම ඇයගෙන් ඉක්මනින් මුදල් ඉල්ලුවා. ඒ මුදල් ඉක්මනින් ලැබුණොත් අපිට ඊළඟ වැඩ කටයුතු ටික පටන් ගන්න පුළුවන්. වෙන රටවල්වලින් ඊළඟ මුදල් ටික ඉල්ලන්න අපට පුළුවන්. ලබන මාසයේදීවත් ඒ මුදල් ලැබුණහොත් අපට ඊළඟ පියවරට යන්න පුළුවන්. මම මගේ උපරිමය කරනවා. අපි අලුතෙන් හිතලා තමයි මෙතනින් ගොඩ එන්න වෙන්නේ. අපට ඉන්ධන නෑ. මුදල් නෑ. පොහොර නෑ. ගල්අගුරු නෑ. ආහාර නෑ, අපිට ණය දෙන්නේ ඉන්දියාව පමණයි. වෙන රටක් අපට ඒවා දෙන්නේ නෑ. අපට බෙහෙත් ටික අවශ්‍යයි. ඉන්ධන, විදුලිය අවශ්‍යයි. ඉන්දියාව ලබා දීලා තිබෙන ණය සහනය දැන් අවසන් වේගෙන යනවා. එය දිගු කරන්න ඕනා. ඒකට දැන් අපි කතා කරන්න යනවා. මම එක අවවාදයක් දෙනවා. වෘත්තීය සමිතිවලට රට බ්ලැකවුට් කරන්න (අඳුරු කරන්න) එපා කියලා. එහෙම කළොත් අපට වගකීමක් ගන්න බෑ. ඉන්දියාවෙන් මේ දේවල් අපට ලබා ගන්න බෑ. ඉන්දියාව අපට කියන්නේ තමුන්නාන්සේලා මුලින් තමන්ට උදව් කරගන්න. ඊට පස්සේ අපි උදව් කරන්නම් කියලා. ඒ නිසා මම එකක් කියනවා පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න ඒකට කමක් නෑ. නමුත් බ්ලැකවුට් එකකට යන්න එපා කියලායි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)-

අද දකින දකින තැන හාල් පෝලිම්, දරාගත නොහැකි බඩු මිල වියදම් අසීමිත නිසා ජනතාව අන්ත අසරණ වෙලා.

රට නැවත යථා තත්ත්වයට ගන්න ඩොලර් සොයා ගැනීමට ක්‍රියා කළ යුතුයි. ජනපතිගේ හිතුවක්කාර තීරණ නිසයි මේ තත්ත්වය ඇති වුණේ. කෘෂි විiාඥයන් සාගත ගැන කොපමණ කිව්වත් ගණන් ගත්තේ නැහැ. අපට තනතුරු ඨානාන්තර අවශ්‍ය නැහැ. ආර්ථිකය ගොඩගන්න උපරිම සහාය දෙනවා.

ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන-

වසරක ආදායම වසර පවත්වාගෙන යන්නවත් බැරිනම් එය අවදානම් තත්ත්වයක්. අපි රුපියල් කෝටි 600 ක් ණයට ගත යුතුයි. යථාර්ථය එයයි. ඊට විසඳුම රාජ්‍ය ආදායම වැඩිකර වියදම අඩුකර ගැනීමයි.

විදේශ විනිමය අර්බුදය ගැන අපි වසර ගණනාවක සිටම කිව්වා. විදේශ ණය ප්‍රමාණය වැඩිවීම අර්බුදය වැඩිවීමට හේතුවක් වුණා. ණය හා ණය පොලී ගෙවීමට සිදුව තිබෙනවා. මේවා ගෙවීමේදී රටේ වියදමට අවශ්‍ය විදේශ විනිමය අඩුවෙනවා.

පාර්ලිමේන්තුවේ ඇමැතිවරු විසින් නිලධාරීන් දෙන වැරදි වාර්තා ඉදිරිපත් කළා. නිලධාරීන්ගේ වැරදි දත්ත නිසා අපි අතර ගැටුම් ඇති කරනවා.

පත්කළ මන්ත්‍රී අලි සබ්රි (ශ්‍රීලපොපෙ)-

විදේශ මුදල් වගේම දේශීය මුදල්වල ද අඩුවක් රටට තිබෙනවා. රට ඉදිරියට යෑමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. බදු ගෙවීම සිදුකළ යුතුයි. රටක සියයට 1 ක් ටැක්ස් ගෙවලා පවත්වාගෙන යන්න බැහැ. සියයට 12 ක් වත් නැතිව රටක් කරන්න බැහැ. කාටවත් බෝලෙ පාස් කරනවාට වඩා මගෙන් වැඩ කොටස රටට සිදුවනවාද කියා හිතන්න ක්‍රියා කරන්න.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ක්‍රම තිබෙනවා. මෙහෙම ගිහින් ටික කලකින් ඉහළට යා හැකියි.

අද ශ්‍රී ලන්කන් එක ජාතික සම්පතකට වඩා ජාතික පිළිකා කාරකයක් වෙලා. මේ වගේ තව ආයතන තිබෙනවා. වහාම මෙවැනි ආයතන හඳුනාගෙන වැඩපිළිවෙළකට යා යුතුයි. අපි මිනිසුන් බය කරලා ආත්ම ශක්තිය නැති කරනවාට වඩා අනිත් රටවල් අවදි වූ ආකාරය පෙන්වාදී උද්‍යෝගිමත් කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ)-

අලුත් අගමැති ආවාම ජාත්‍යන්තර සහාය ලැබෙයි කියලා හිතුවත් හරිගියේ නැහැ. මැදපෙරදිග ගිහින් කතා කරලා ණයට තෙල් ගන්න ක්‍රියා කරන්න.

පක්‍ෂ විපක්‍ෂ සැවොම එක්වී වහාම ජනතාවට සේවය කරන්න. ඒ වගේම හොරා කාපු අය අල්ලන්න හා මුදල් ලබාගන්න ක්‍රියා කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)-

ප්‍රශ්නයක් ඇති වූ විට එය විසඳා ගත හැකි ක්‍රම ගැන කල්පනා කළ යුතුයි. ඒත් තවම එවැනි උත්සාහයක් පේන්නේ නැහැ.

අපේ ආණ්ඩුව වෙනත් ආණ්ඩුවලට වඩා උගතුන්ගෙන් පිරි ආණ්ඩුවක් කියලයි බලයට ආවේ. ඒත් අපි වෘත්තීමය වශයෙන් ගැටලුවලට විසඳුම් දීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැහැ. විසඳුම් හොයන්න ඉදිරියට එන්න බැරි වුණා. ජනතාව පෝලීම්වල ඉන්නේ ඒ අය කරපු වරදකට නොවෙයි කියලා හිතෙන විට දැඩි කනගාටුවක් ඇති වෙනවා.

ඉදිරියේදී දේශපාලනය කරනවානම් පිළිවෙළට වැඩ කරන්නේ කවුද කියලත් ජනතාවට කියන්න වේවි.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)-

ප්‍රශ්නය ඇති කරපු අයම පිළිතුරු කතා කරනවා. එය තමයි අද තියෙන ගැටලුව. ජනතාව ඔවුන්ගේ පිළිතුරු පිළිගන්නේ නැහැ. මේ දේශපාලන අර්බුදය විසඳන්නේ නැතිව රට හදන්න බැහැ.

ආහාර උද්ධමනය සියයට 57 වෙලා. අද අවම වශයෙන් පවුලකට ජීවන වියදම රුපියල් 64000 ක් පමණ වෙනවා. ජනතාවගෙන් සියයට හැටකටවත් මෙවැනි ආදායමක් නැහැ. වැඩකරන පන්තිය විශාල අර්බුදයකට ලක්වෙලා. සමෘද්ධිලාභීන්ට ලැබෙන දෙයින් මොනවත් කරගන්න බැහැ. අවුරුදු 74 ක් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවල වැරදි තමයි අද ජනතාව භුක්ති විඳින්නේ. එය වෙනස් නොකර අද ඇති අර්බුද විසඳන්න බැහැ.

පත්කළ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් (ශ්‍රීලපොපෙ)-

අද ඇතිවී තිබෙන ප්‍රශ්න අපි විසඳනවාද අනාගතයට භාර දෙනවාද කියා තීරණයක් සියලු දෙනා ගත යුතුයි. කාටවත් දොස් පැවරීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. පක්‍ෂයට එහා ගිය දේශපාලන ආර්ථික විසඳුමකට යා යුතුයි.

අපිට දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව කරන උපකාර අගය කළ යුතුයි. අපට ග්‍රීසියෙන් පාඩම් ඉගෙන ගත හැකියි.

මහ බැංකුව ස්වාධීන විය යුතුයි. එහි වාර්තා ඉතා නිවැරදි විය යුතුයි. වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් (සජබ)-

තවම බටහිර රටවල්වලින් කිසිම ආධාරයක් ලැබී නැහැ. ඒ මේ ආණ්ඩුව විශ්වාස නොකිරීමයි. ආර්ථික වශයෙන් ඉතිහාසයේ මෙවැනි තත්ත්වයන් සිදුවී නැහැ. උද්ධච්ච පාලකයන් නිසයි මේ තත්ත්වය ඇති වුණේ.

අධික පොලියට ණය ගැනීම, බදු සහන ලබාදීම ආදී වැරදි නිසා රටට මේ තත්ත්වය ඇතිවුණේ. ජනාධිපති වැරැද්ද පිළිගත්තා. ඒත් තත්ත්වය නිවරදි කර ගන්න බැහැ. දැන්වත් මුලින්ම දේශපාලන වෙනස කරන්න. අපේ පක්‍ෂය ගෙනා 21 පිළිගන්න ආණ්ඩුව ගෙනා 21 ගැන දැන් කතා කරන්නේ නැහැ. ඊට හේතුව පක්‍ෂය තුළ විරෝධයයි. දැන්වත් ඇත්ත තත්ත්වය පිළිගන්න.

අගමැතිතුමා සියලු පක්ෂ සමඟ සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීමේ චේතනාව තියෙනවා කියලා පෙන්නුවා. නමුත් වදගත් වන්නේ ඒ චේතනාව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් හා හැසිරීමෙන් පෙන්විය යුතුයි.

තමන් අසමත් ජනාධිපතිවරයකු ලෙස සමුගන්න සූදනම් නැති බව ජනපති කිව්වා. ඒ තුළින් ජනපති පිළිගත්ත තමන් අසමත් බවට. එහි ප්‍රතිඵලයක් ලෙස කෝටි 2 ක ජනතාව එහි විපාක විඳිමින් සිටිනවා. ඒ අසමත් ජනාධිපතිවරයාව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කරන බව පේනවා.

පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ

අද රට ඩොලර් බිලියන 51 ක ණයකාරයෙක් වෙලා ඉන්නේ. ආදායම ලැබෙන්නේ ඩොලර් බිලියන 18 යි. අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයාගත යුතුයි.

මේ ප්‍රශ්නය විසඳන්න මුලින්ම ආයෝජන මණ්ඩලය වහාම ක්‍රියා කළ යුතුයි. ඒ වගේම ඉලෙක්ටි්‍රක් වාහන සෑදීමේ ව්‍යාපෘතියකට යා යුතුයි. අපි හැම තානාපතිවරයකුටම ඉලක්ක ලබා දිය යුතුයි. ඩොලර් ලබා ගැනීමේ ක්‍රම ඇති කළ යුතුයි.

ගම්පහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) – මේ වෙනස තුළින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වූ බවට රටේ ජනතාව හෝ ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ. වුණේ මහින්ද වෙනුවට රනිල් පැමිණීම පමණයි. තාම ප්‍රශ්නය තියෙනවා. විසඳුම් නැහැ. ප්‍රශ්න විසඳීමට වහාම දේශපාලන ස්ථාවරතාවයක් අවශ්‍යයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) අද රට මේ තත්ත්වයට පත් කරපු අය අගමැති පිටුපස ඉන්නේ. රට බංකොලොත් කළ ප්‍රධාන තැනැත්තා ජනාධිපතියි. පසුගිය වසර දෙකක කාලය තමයි රට විනාශ කළේ.

මිනිස්සු දැඩි පීඩාවට ලක්වෙලා ඉන්නේ. ඊළඟ රැල්ල එන්නේ දරුණුවට නිසා ඒ ගැන බැලිය යුතුයි. මල්වාන නිවස ගැන නඩුව ගැන ප්‍රශ්න තියෙනවා. පුළුවන් නම් තීන්දුව ඇපිල් කරන්න. නීතිපතිට එරෙහිව ඇපිල් කරන්න පුළුවන්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර (ශ්‍රීලපොපෙ) – අපි කළ යුත්තේ බොරු විවාද නොවෙයි. රට ගොඩගැනීමට එක යෝජනාවක් හෝ 225 දෙනා ගෙන ආ යුතුයි. ඒවා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මාවතක් කර ගත යුතුයි. මා විසින් ගෙන ආ සමහර යෝජනා මහ බැංකුව ක්‍රියාත්මක කර තියෙනවා. ඒවා කලින්ම ක්‍රියාත්මක නොවීම ගැන කනගාටුයි.

අපනයන නිෂ්පාදන සඳහා යෙදවුම් අපනයනවලට මුදල් යෙදවිය යුතුයි. අපනයන දිරිගැන්වීම් අනිවාර්යෙන් කළ යුතුයි. බලශක්තියට යම් මුදලක් යෙදවිය යුතුයි. පොදු ප්‍රවාහනය ප්‍රමුඛ කරගෙන ලැයිස්තුවක් හදලා සලාක ක්‍රමයක් යටතේ හෝ බෙදාහැරිය යුතුයි.

ලැබෙන විදේශ විනමය කොටසක් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරවලට වෙන් කළ යුතුයි. ආහාර නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් ආනයනයට ඩොලර් වැය කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී මයන්ත දිසානායක (සජබ) – නව ආණ්ඩුව ඉන්ධන හිඟයට ඉක්මනින් පිළියම් යෙදිය යුතුයි. කෘෂිකර්මයට, ප්‍රවාහනයට අවශ්‍ය පියවර ගත යුතුයි. අපි රටට ආදරෙයි. රට වෙනුවෙන් හැමදේම අමතක කර ක්‍රියා කළ යුතුයි. රට අද පත්ව ඇති තත්ත්වයට ජනාධිපතිවරයාත් ඔහුගේ පැවැති ආණ්ඩුවත් සම්පූර්ණයෙන් වගකිව යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (ශ්‍රීලනිප) – අද යම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඊට සහය දිය යුතුයි. මහ බැංකු වාර්තා සංඛ්‍යාලේඛන අසත්‍ය බව තහවුරු වී තිබෙනවා. වහාම ඒවා සොයා බැලිය යුතුයි. මහ බැංකු අධිපති ගෙනැල්ලා මන්ත්‍රීවරු දැනුවත් කරන්න කටයුතු කරන්න. මෙතෙක් සිදුවී නැහැ. රන්ජන් රාමනායක මහතා සිරගතව සිටිනවා. ඔහු වංචා දූෂණවලට සම්බන්ධ නැහැ. ඒ නිසා වහාම ජනපති අගමැති මැදිහත් වී ඔහුව නිදහස් කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය (සජබ)

පක්‍ෂ භේදයක් නැතිව රට බේරාගන්න සහාය දෙන්න සූදානම්. නමුත් රට අසමත් කළේ කවුද කියලා තේරුම් ගත යුතුයි. ජනපති වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා පරණ අයත් සමඟ යන විට කවුරුත් ජාත්‍යන්තරව උදව් කරන්නේ නැහැ. රාජපක්‍ෂලා ඉන්නකම් කවුරුත් උදව් කරන්නේ නැහැ.

රජයේ සේවකයන් විදෙස් ගත කරන්න නම් ඔවුන්ට හොඳ පුහුණුවක් ලබාදිය යුතුයි. මුලින්ම ඒ කටයුත්ත කරන්න. රත්නපුර කුඩා තේ වතු හිමියෝ ඉන්නේ. තේ කර්මාන්තයට ඉන්ධන අවශ්‍යයි. මැණික් කර්මාන්තයට ඉන්ධන අවශ්‍යයි. වහාම විධිමත් වැඩපිළිවෙළක් හදන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා

වවන්න කියලා වැඩක් නැහැ. කිසියම් සැලැස්මක් අවශ්‍යයි. අපි කහ දිගටම මිලදී ගත්තා. අදටත් ඉන්දියාවෙන් කහ ගෙන්නෙ නැහැ.

මොනවා හරි භාණ්ඩ හිඟයක් එනවා කී විට කඩේ තියෙන භාණ්ඩ ඉක්මණින් ම අවසන් වෙනවා. එදාවේල කන අය අසරණ වෙනවා. ගොවීන්ට වන්දි අනිවාර්යයෙන් ම ගෙවිය යුතුයි. ඒ සඳහා පරිපූරකයෙන් මුදල් වෙන් කර ගත යුතුයි. ජනාධිපතිතුමා ජනවරමට ගරු කරලා පොරොන්දු ඉටු කරයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා

මේ පාර්ලිමේන්තුව ජනතා ප්‍රශ්නවලට විසඳුමක් දුන්නෙ නැහැ. සති කිහිපයක් අපි රැස්වුණා. එකිනෙකාට චෝදනා නගා ගත්තා. සියලු දෙනා එක්විය යුතු බව හැමෝම කීවත් එකතු වෙන්නේ නැහැ. පෞද්ගලික පරමාර්ථයන් ඉස්සරහට දාගෙන හැමෝම කටයුතු කරනවා.

පොදු ප්‍රවාහනය ගැන දශක දෙකක් පුරා අපි විසඳුම් ලබා දුන්නත් ක්‍රියාත්මක වුණේ නැහැ. බටහිර රටවල පොදු ප්‍රවාහනයේ ගාස්තු අඩුයි. ඒ නිසා පෞද්ගලික වාහන නවතා පොදු ප්‍රවාහනයට ජනතාව යොමු වෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා (ශ්‍රීලංපොපෙ) –

මේ රටේ මිනිස්සු ඉල්ලුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්. මෙය විනාශ කරන්න ගොඩක් දෙනෙකුට ඕන වුණා. ඒ නිසා පස්සට ගියා. රනිල්ගේ ආණ්ඩුවට ක්‍රියාකරන්න තව කල් ලබාදිය යුතුයි.

බලශක්ති අර්බුදයට විසඳුම අපේ පරණ ගමන් මග වෙනස් කිරීමයි. තෙල් නැවත ලැබෙන තෙක් වෙනසකට යා යුතුයි. පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න අවශ්‍යයි. රුසියාව අපට තෙල්, පොහොර, ගෑස් දෙන්න සූදානම්. ඒත් ඇමෙරිකාවේ විරෝධය නිසා අපි ඒවා ගන්නේ නැහැ. ඒත් ඉන්දියාව රුසියාවෙන් තෙල් අරගෙන අපට නැවත ණයට දෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment