පොලී අනුපාත වාසිය කාටද?

2329

පසුගිය කාලයේ ද මහ බැංකුව විසින් දිගින් දිගටම කිහිප වරක් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකරමින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කටයුතු කළ අතර ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ (බැංකු) පොලී අනුපාත ද සැලකිය යුතු අඩුවීමකට ලක්ව ඇත. එහෙත් ඇතැම් අය තවමත් පැමිණිලි කරනුයේ මහ බැංකුව කෙතරම් කීවත් ඇතැම් බැංකු ප්‍රමාණවත් පරිදි තම ණය පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කර නැති බවටය. මේ බැංකු මහ බැංකුව අඩු කළ වහාම තම තැන්පතු පොලී අනුපාත නම් අඩු කිරීමට කටයුතු කරයි. මේ නිසා මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ප්‍රමාණවත් පරිදි බැංකු ගනුදෙනුකරුවන්ට ලැබී තිබේ ද යන්න ගැන විශේෂයෙන් මහ බැංකුව සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු වේ.

මහ බැංකුව විසින් සිය පොලිය තවත් අඩු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු මස 25 වැනි දින රැස් වී ඇත. එම රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පදනම් අංක 50කින් එනම් සියයට 0.5 කින් තවදුරටත් අඩු කිරීමට තීරණය කර ඇත. පසුගිය කාලයේ ද මහ බැංකුව විසින් දිගින් දිගටම කිහිප වරක් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකරමින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කටයුතු කළ අතර ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ (බැංකු) පොලී අනුපාත ද සැලකිය යුතු අඩුවීමකට ලක්ව ඇත. එහෙත් ඇතැම් අය තවමත් පැමිණිලි කරනුයේ මහ බැංකුව කෙතරම් කීවත් ඇතැම් බැංකු ප්‍රමාණවත් පරිදි තම ණය පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කර නැති බවටය. මේ බැංකු මහ බැංකුව අඩු කළ වහාම තම තැන්පතු පොලී අනුපාත නම් අඩු කිරීමට කටයුතු කරයි. මේ නිසා මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ප්‍රමාණවත් පරිදි බැංකු ගනුදෙනුකරුවන්ට ලැබී තිබේ ද යන්න ගැන විශේෂයෙන් මහ බැංකුව සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු වේ.

මහ බැංකුව විසින් සිය පොලිය තවත් අඩු කිරීමට හේතුව මෙසේ සඳහන් කරයි.

“ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම තීරණයට එළැඹීමේදී, අඩු මට්ටමක පවතින සමස්ත ඉල්ලුම් තත්ත්ව, උද්ධමනය මත බදු ව්‍යුහයේ මෑත කාලීනව සිදු කළ වෙනස්කම්වල බලපෑම අපේක්ෂිත මට්ටමට වඩා අඩු වීම, මෑතකාලීනව විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් හිතකර නුදුරු කාලීන උද්ධමන ප්‍රවණතා, මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා, විදේශීය අංශයේ අධික පීඩන නොමැති වීම සහ වෙළෙඳපොළ පොලී අනුපාතිකවල පහළ යෑම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව යනාදිය පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරකම් විභව නිමවුම් මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පවතින අවදානම් මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.”

මේ පසුබිම තුළ ඉදිරි කාලයේදී වෙළෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. ඒ නිසා මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධාරණය කර ඇත. මෙය මහ බැංකුව කියන ලෙසම වෙනවා ද යන්න අධීක්ෂණය කිරීම මහ බැංකුවේ අදාළ අංශවල වගකීමය. එසේ නැතහොත් අපේක්ෂා කරන පරිදි ණය ලබා ගැනීම සහ ආර්ථික කටයුතු පණ ගැන්වීම සිදු නොවනු ඇති බව ද කිව යුතු වේ.

මහ බැංකුවේ වැටුප් ප්‍රශ්නය

මහ බැංකුවේ පාලක මණ්ඩලය සහ මහ බැංකු වෘත්තීය සමිති නියෝජිතයන් අතර පවතින සාමූහික ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 – 2026 කාල පරිච්ඡේදය සඳහා මෑතක දී සිදු කළ වැටුප් වැඩි කිරීම ගැන පාර්ලිමේන්තුව තුළ මෙන්ම සාමාන්‍ය මහජනයා අතරත් බොහෝ විවේචනයට ලක්ව ඇත. වැටුප් වැඩි කිරීම ගැන ප්‍රශ්නයක් නැතත් මහජනයා බොහෝ ආර්ථික පීඩා (වේදනා) විඳිමින් සිටින වෙලාවේ එවැනි ආකාරයේ විශාල වැටුප් වැඩි කිරීමක් තමන් විසින්ම කර ගැනීම ගැන මහජනයා තුළ බලවත් කෝපයක් ඇත. මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම් අත්‍යවශ්‍ය බවත් එහිදී ආර්ථික පීඩාවන්ට සියලු දෙනාටම අඩුවැඩි වශයෙන් මුහුණ දීමට සිදු වෙන බවත් අපි පිළිගනිමු. ඒවාට සාමූහිකව සහ කිසියම් සාධාරණ පදනමකින් මුහුණ දී මේ ආර්ථික අර්බුදයෙන් රට ඔසවා තැබීමට අප සියලු දෙනාම දායක විය යුතු බව ද අපට පිළිගත හැකිය. එහෙත් එම වේදනාව (pain) අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට පමණක් පැටවීම හරිද? එම වේදනාව බෙදාගත යුතු බව කියන මහ බැංකුව එම වේදනාවෙන් කොටසක් හෝ දැරීමට සූදානම් නැද්ද? ආයතන ප්‍රධානියා වශයෙන් මහ බැංකු අධිපතිවරයාට තම සේවකයන්ට වැටුප් වැඩි කර දීමේ වගකීමක් තිබුණත් රට තිබෙන තත්ත්වය සහ මහජනයා මුහුණ දෙන තත්ත්වය අනුව බලා මීට වඩා සාධාරණ වීමේ යුතුකමක් හා සදාචාරයක් මහ බැංකුවට තිබුණි. එසේ නොවීමේ විපාක වශයෙන් අද වන විට මහ බැංකුවට පසුගිය කාලයේ බැඳුම්කර මගඩිය සිදු වූ අවස්ථාවේදී ඇති වූ මහජන අපවාදයටත් වඩා විශාල අපවාදයකට ලක්වීමට සිදුව ඇත. එය කනගාටුවට කරුණක් වන අතර මේ වැටුප් වැඩි කිරීමේ ප්‍රමාණයන් එලෙසම සාධාරණීකරණය කිරීමේ හැකියාවක් නැත. මේ ගැන සමාලෝචනය කිරීමට නියමිත කමිටුවට ද කිව යුත්තේ වෙනත් මූල්‍ය හා බැංකු අංශවල සිදුකර ඇති වැටුප් වැඩි කිරීමේ ප්‍රමාණයන් දෙස පමණක් බලා මහ බැංකුවේ මේ සිදුකර ඇති වැටුප් වැඩි කිරීමේ අඩුවැඩි බව ගැන නිර්ණය කළ නොහැකි බවය.

මෙම විශාල වැටුප් වැඩි කිරීමට එරෙහිව මතුව ඇති විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මහ බැංකු වෘත්තිකයන්ගෙන් බහුතරයක් සිය වැටුප් සංශෝධනය නැවත සලකා බැලීම සඳහා සාමූහික තීරණයකට එළඹ ඇත. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ස්වාධීන නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර, 2024 මාර්තු 16 වන දින මෙම තීරණය එම කාරක සභාව වෙත දන්වන ලද බව ද මහ බැංකුව කියයි.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති විසින් මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ නැංවීම සඳහා ඇති මෙම සාමූහික ගිවිසුම ස්වාධීන කමිටුවක් මගින් සමාලෝචනය කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර ඊට මහ බැංකුවේ සියලුම සේවක කාණ්ඩ ඇතුළත් වනු ඇත. මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. ශ්‍රී ලංකා මහ බැංකුව, මින් පෙර 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ සහ වර්තමානයේ දී 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ඊට පැවරුණු බලතල ප්‍රකාර ව ස්වාධීනව කටයුතු කරන බව ද මහ බැංකුව කියයි. එහෙත් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය මිස ජනතා පරමාධිපත්‍ය ප්‍රකාරව රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට වගකීමට මහ බැංකුව බැඳී සිටියි. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගෙන යෑම මෙන්ම රටේ මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරක්ෂිත කිරීමේ වගකීම දරනු ලබන නමුත් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීමෙන් මිදීමේ හැකියාවක් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ බැංකුවට ඇතැයි අපි නොසිතමු.

ශ්‍රී ලංකා මහ බැංකුව පළපුරුදු වෘත්තීමය කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති බව කීවත් මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන අපට අතීතයෙන් මෙන්ම වර්තමානයෙන් ද යම් යම් අවබෝධයන් ඇත. ඒ නිසා එහි පූර්ණ ධාරිතාවෙන් ක්‍රියා කිරීම සඳහා දැනට සේවය කරන පළපුරුදු කාර්ය මණ්ඩලය මහ බැංකුව තුළ රඳවා ගැනීමේ අරමුණින්ය කියා මහ බැංකුවට ඕනෑම ආකාරයකින් රට සහ ජනයා සිටින තත්ත්වය අමතක කර මෙසේ වැටුප් වැඩි කරගත හැකිය කියා සිතීම තුළ මහ බැංකුව තව තවත් අපවාදයට ලක්වෙනු ඇත. ඒ ගැන අපට කනගාටුවක් තිබේ.

වගා ආයෝජන

මහ බැංකුවේ නම විකුණමින් මහජනයා මුලා කර මහජනයාගේ මුදල් නොයෙකුත් ආයෝජන සඳහා ආකර්ෂණය කර ගැනීමේ නොයෙකුත් උත්සාහයන් සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් තිබේ. ඇතැම් අය ඒ සඳහා මහ බැංකුවේ නිල ලාංඡනය පවා භාවිත කරන බවට වාර්තා වී ඇති අතර ඇතැම් ආයතන මේ සඳහා මහ බැංකුවේ නාමය භාවිතා කරයි. මෙසේ මහ බැංකුවේ නාමය භාවිතා කරමින් එක්තරා වගාවකට ආයෝජන වශයෙන් මුදල් ගැනීමට කටයුතු කරන ආයතනයක පණිවිඩයක් පසුගියදා මේ ලියුම්කරුට මුහුණු පොතේ මැසෙන්ජර් හරහා එක්තරා කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක් මගින් ලැබුණි. සමාගමක නමක් සඳහන් කරමින් වැනිලා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් දෙකක් ඔවුන් හඳුන්වා දෙන බවත් ‘රජයේ ලියාපදිංචි වැවිලි සමාගමක් වන මෙම ආයතනය සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඔඩිට් වෙන නිසා ඔබ ආයෝජනය කරන සෑම රුපියලකටම අපි වගකියනවා’ යනුවෙන් ද මේ ලියුම්කරුට එවා තිබුණු එම මැසෙන්ජර් පණිවිඩයේ සඳහන්ව තිබිණි. ඒවා මහ බැංකුවෙන් ඔඩිට් වෙනවා ද කියා මා ප්‍රශ්නයක් ඇසූ විට එයට ඇය මෙසේ පිළිතුරක් ලබා දී තිබුණි.

“ඔව් ඔඩිට් වෙනවා. රෙජිස්ටර් වෙන්නේ නෑ. හැබැයි ඔඩිට් වෙනවා…”

එසේම ඔවුන් ලාභ පෙන්විය යුතු බවත් අවශ්‍ය නම් වාර්තා සියල්ල හෙඩ් ඔෆිස් එකෙන් ගත හැකි බවටත් පිළිතුරු වශයෙන් මේ ලියුම්කරුට දැනුම් දී තිබිණි. එහෙත් මහ බැංකුව විසින් එම සමාගම ඔඩිට් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේ දී ඇය වහාම මාගේ මැසෙන්ජර් ගිණුම බ්ලොක් කර ඉවත්ව ගියාය. අපට මේ ව්‍යාජයන් ගැන අවබෝධයක් තිබුණත් සමාජ මාධ්‍ය හරහා මේ බොරු පවසමින් මහ බැංකුවේ නම පවා සඳහන් කරමින් වෙනත් සාමාන්‍ය ජනයා මුලා කර ඔවුන්ගේ මුදල් මේ කියන වගා ආයෝජන සඳහා ආකර්ෂණය කර ගැනීමට මේ දිනවල විශාල සමාජ මාධ්‍ය ප්‍රවර්ධනයන් සිදුවෙමින් පවතින බව මහ බැංකුව ද නිරීක්ෂණය කර ඇතැයි අපි සිතමු.

මහ බැංකුවේ ක්‍රියාකලාපය

මහ බැංකුවේ පෙරේදා (26) පැවැති මාධ්‍ය හමුවේ දී මේ ගැන සඳහන් කර මේ ගැන මහ බැංකුවේ අවධානය යොමු කරන්නේ නැද්දැයි විමසා මේ සිදුවීම ගැන මේ ලියුම්කරු විසින් පැමිණිලි කිරීමට කැමති බව ද දැනුම් දෙන ලදි. ඒ අනුව එම මාධ්‍ය හමුවෙන් පසු තේ පානය කරන අවස්ථාවේ මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මහතා අසලට ගොස් මේ ගැන පැමිණිලි කිරීමට අවශ්‍ය බව නැවත දැනුම් දුනිමි. එවිට ඔහු ඒ අසල සිටි මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරිය ද හඳුන්වා දුන්නේය. ඇයට මේ ගැන සඳහන් කළ නමුත් ඒ ගැන සොයා බලන බව කීවා මිස මා සඳහන් කළ කරුණ පැමිණිල්ලක් වශයෙන් භාර ගැනීමක් සිදු නොවිණි. එසේම මගෙන් ඒ ගැන වෙනත් විස්තර කිසිවක් ගැනීමට හෝ මාව අදාළ අංශයක් හෝ වෙනත් නිලධාරියෙක් වෙත යොමු කිරීමක් හෝ අඩු තරමේ සිදු නොවිණි. මහ බැංකුව මේ ගැන පැමිණිලි භාර ගන්නේ පොලිසිය භාර ගන්නා ආකාරයට පොතක සටහන් කර ගැනීමෙන් නොවිය හැකිය. එසේම මහ බැංකුව මේවා ගැන නිර්නාමික පැමිණිලි පවා භාර ගන්නවා ද විය හැකිය. එහෙත් මහ බැංකුවේ නම පවා සඳහන් කරමින් මහජනයා මුලා කරන සිද්ධියක් ගැන යම් අයෙක් තම නමින්ම ඉදිරිපත් වී පැමිණිලි කිරීමට අවශ්‍ය බව දැන්වූ විට ඒ ගැන වැඩිදුර විස්තර කිසිවක් විමසන්නේ පවා නැතුව ඒ ගැන අපි බලන්නම් කියා නිකන් සිටිය හැකි ද? මේ නිසා එම පැමිණිල්ල භාර නොගැනීම සම්බන්ධයෙන් පසුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මහතාට දැනුම් දීමට මේ ලියුම්කරුට සිදුවිය. එසේ දැනුම් දීමෙන් පසුව පමණක් මේ ගැන දුරකථන ඇමතුමක් දී මහ බැංකුවේ නිලධාරිනියක් මාගෙන් වැඩි විස්තර ලබා ගැනීමට පෙරේදා (26) සවස උත්සාහ කළාය. එහෙත් ඒ අවස්ථාවේ මේ ලියුම්කරු වාහනය පදවමින් මහ මග සිටි නිසා පසුව එම විස්තර ලබාදෙන බව දැනුම් දුන් අතර ඒ අනුව මට එම විස්තර එවීම සඳහා ඊමේල් ලිපිනයක් එවන බව දැනුම් දෙන ලදි. ඒ අනුව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ නමින් පසුව ඊමේල් පණිවිඩයක් මට ලැබුණේ ඒ අනුව විය යුතුය. එයට ප්‍රතිචාර ලෙස මේ ලියුම්කරු විසින් ඊයේ (27) යවන ලද ඊමේල් පිළිතුරේ මෙසේ ද සඳහන් කළෙමි.

“ඔබගේ ඊමේල් පිළිතුරට ස්තුතියි. මවිසින් ඊයේ මහ බැංකුවට පැමිණියේ මාධ්‍ය හමුවට සහභාගී වීමෙන් පසුව මවිසින්ම මේ රටේ මහජනයා වෙනුවෙන් මෙම පැමිණිල්ල කිරීමටය.

මහජනයා වෙනුවෙන් සහ මහ බැංකුවට සහයක් වශයෙන් මහ බැංකුවටම පැමිණ මෙවැනි පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බව දැන් වූ විට ඔබලා කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් එය ඉතා කනගාටුවට කරුණකි. අපට මෙසේ නම් මේ රටේ සාමාන්‍ය ජනයාට ඔබලා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇති ද යන්න ගැන සිතා ගැනීමටත් අපහසුය.’

මහ බැංකු අධිපතිවරයාට ආයතන ප්‍රධානියා වශයෙන් තම නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ වගකීමක් තිබෙන නමුත් මේ නිලධාරීන් මහජනයා වෙනුවෙන් තම රාජකාරී වගකීම් හරිහැටි ඉටු කරනවා ද යන්නත් සොයා බලන ලෙස අපි මහ බැංකු අධිපතිවරයාට සිහිපත් කිරීමට කැමතිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment