ලබන වසරේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට- මහ බැංකුව කියයි

124

මේ වසර් (2022) ආර්ථික පසුබෑමෙන් පසු ලබන වසරේදී (2023) ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ වසරේ පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 කින් සංකෝචනය වෙමින් ඝෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. එසේම මේ වසරේ දෙවන මාස හයේදීද ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි (ආර්ථිකය පසුබෑමට ලක්වනු ඇතැයි) අපේක්‍ෂා කරන බව ද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

සැපයුම් අංශයේ අපේක්‍ෂිත වැඩි දියුණුවීම් මෙන්ම අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් සමඟ ලබන වසරේ මෙසේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමක් අපේක්‍ෂා කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය තත්ත්වය මෙන්ම අඛණ්ඩව පවතින සැපයුම් අංශයේ බාධා සහ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය හිඟය මධ්‍යයේ ව්‍යාපාරික පරිසරයේ පවතින අවිනිශ්චිතතා වැනි සාධකවල බලපෑම හේතුවෙන් මේ වසරේ (2022) දෙවන භාගය තුළදී ආර්ථිකය පසුබෑමට ලක්වනු ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment