යළි දිනාගත යුතු නිදහස

116

ඉංග්‍රීසි යටත් විජිතවාදී පාලකයන්ගෙන් නිදහස්වීමේ 76 වන වසර අපි මෙවර සමරමු. නිදහසට අකමැති කිසිවෙක් නැත. සියල්ලෝම නිදහස ප්‍රිය කරති. එහෙත් බෞද්ධ දර්ශනය අනුව භෞතික නිදහසක් ලැබූ පමණින් කිසිවෙක් නිදහස් වන්නේ නැත. සැබෑ නිදහසක් ලැබීමට නම් අධ්‍යාත්මික සහ මානසික නිදහස තිබිය යුතුමය. මානසික වහල් බව ඇති තැන සියලු නිදහස අහිමි වේ. අදහස්වල නිදහස් බව එනම් චින්තනයේ නිදහස ඇති තැන නිදහස වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරිපූර්ණ වෙයි. 76 වසරක් ආපසු හැරී බලනවිට සැබැවින්ම අප රටක් හා ජාතියක් හැටියට නිදහස් ද? එසේම ඒ කාලය තුළ දී සැබෑ නිදහස දිනා ගැනීමේ උවමනාවක් අපට තිබුණේද? 1948 වර්ෂයේ දී නිදහස ලැබූ අපි එතැන් සිට පරාධීනත්වය කරා ගමන් කළා නොවේ ද? යන කරුණු කෙරෙහි සියලු දෙනාගේ අවධානය මේ මොහොතේදී යොමු විය යුතුය.

යළි දිනාගත යුතු නිදහස

‘76 වසරක නිදහස සැමරීමේදී බ්‍රිතාන්‍යය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස දිනා ගැනීමට අවියෙන්සේම පෑනෙන් සටන් කළ අපේ වීරෝධාර මුතුන් මිත්තන් සිහිපත් කළ යුතුය. අප 1815 දී සිංහලේ පාලනය බ්‍රිතාන්‍යයන්ට භාර දුන්නේ ගිවිසුම් ප්‍රකාරවය. එහෙත් බ්‍රිතාන්‍යයෝ ගිවිසුම අනුව වැඩ නොකළහ. ගිවිසුම කොන්දේසි අමුඅමුවේ කඩ කළහ. එයට විරෝධය පළ කරමින් වීර කැප්පෙට්ටිපොළ, හඟුරක්කෙත ඩිංගිරාල ආදී විරුවෝ දිවි නොතකා සටහන් කළහ. දහස් ගණන් ජීවිත පූජා කළහ. 1818 ඉතිහාසගත වන්නේ එකී සටනයි. 1848 දී අසාධාරණ බදුවලට එරෙහිව නැවතත් සටන් කළහ. මේ සටන් හේතුවෙන් කුඩාපොළ හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ ද ගොංගාලේ ගොඩබණ්ඩා, වීරපුරන්අප්පු වැනි ප්‍රකට හා අප්‍රකට වීරයන් හා වීරවරියන් බොහෝ දෙනෙක් දිවි පිදූහ. මෙසේ අවියෙන් කළ සටන් පරාජය වූ හෙයින් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් නායකයෝ මතවාදී අරගලයකින් නිදහස දිනා ගැනීමට වෑයම් කළහ. ඒ වෑයම ද පහසු නොවීය. බොහෝ නායකයෝ සිරබත් කෑහ. අනගාරික ධර්මපාලතුමන් ජාතික චින්තනය ඔස්සේ මිනිසුන් ඒකරාශී කරද්දී ටිබෙට් ජාතික මහින්ද හිමි ආදීන් කවියෙන් දේශානුරාගය අවදි කළහ. එසේම ඩී. එස්. සේනානායක, සර්. ඩී. බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම්, ටී. බී. ජයා වැනි අය දේශපාලනිකව ද සටන් කරමින් නිදහස දිනා ගැනීමට උර දුන්හ.

රටක නිදහස සම්පූර්ණ වීමට නම් චින්තනමය නිදහස, ආගමික නිදහස, අධ්‍යාපනික නිදහස, ආර්ථික නිදහස, දේශපාලන නිදහස ආදී සියලු ක්‍ෂේත්‍රයන්හි නිදහස තිබිය යුතුය. එහෙත් නිදහස ලැබී අවුරුදු 76ක් ගත වුවත් ඒ කිසිදු ක්‍ෂේත්‍රයක නිදහස ලබාගැනීමට අප සමත්වී නොමැත. උදාහරණයක් ලෙස පැහැදිලි කරන්නේ නම් අදටත් ආගමික වශයෙන් අප රටේ ක්‍රියාත්මක වන්නේ 1931 සම්මත කරන ලද විහාර හා දේවාලගම් පනතය. ඉඩම් වෙනුවෙන් ක්‍රියාත්මක කරනුයේ 1937 සම්මතවූ පනතය. නීතිය හැටියට ක්‍රියාත්මක කරනු ලබන්නේ රෝම ලන්දේසි නීතියයි. ආර්ථිකය ක්‍රියාත්මක කරවනු ලබන්නේ ලෝක බැංක හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තීන්ට මුල් තැන දෙමිනි. අධ්‍යාපන ප්‍රතිපත්තීන්ද බටහිරට ගැතිවූ සංකල්ප මතම යැපෙයි. එහෙයින් අද වනවිට අපි රටක් හැටියට දැඩි මූල්‍ය අර්බුදයකට විනිමය අර්බුදයකට ද ණය අර්බුදයකට ද මුහුණ දී සිටිමු. 76 වසරක් ගතවූ තැන මෙරට එකම ආර්ථික දර්ශනය සහ ප්‍රතිපත්තිය වී ඇත්තේ නැවෙන් බඩට ප්‍රතිපත්තියයි. අපි අද ආහාරපාන පවා එන තෙක් මුහුද දෙස දෑස් අයා බලා සිටිමු. එය එසේ නම් අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැන කවර කථා ද?

එය සේ වුවද මේ පිළිබඳව දොම්නස්වෙමින් ගත කිරීමට දැන් අපට කාලයක් නැත. නොපමාව අප කළ යුත්තේ රටක් හැටියට සැබෑ නිදහස දිනා ගැනීමේ සටන මේ මොහොතේ සිටම පටන් ගැනීමය. අපේ මුතුන් මිත්තන් වැව් අමුණු හදමින් කෙත් වතු සරුසාර කරමින් නිවහල් ජාතියක් හැටියට ජීවත්වූ ඒ අතීතයෙන් අප පාඩම් උගත යුතුය. එදා අපේ මුතුන් මිත්තන් පිට රටින් කෑම ටික ලැබෙන තෙක් බලා සිටියේ නම් ඔවුන් දහස් ගණන් වැව් අමුණු ගොඩනඟා කෙත් වතු සරුසාර කරන්නේ නැත. එවන් නිවහල් මුතුන් මිත්තන්ගෙන් පැවැත එන පරපුරක් හිඟමනට වැටුණේ කෙසේද? යන අප සියලු දෙනාම විමසීමට ලක් කළ යුතුය. අපේ පරාක්‍රමබාහු, ගජබාහු වැනි වීර රජවරු පිට රටට පවා අභියෝග කළහ. ගජබාහු මහ රජතුමා දකුණු ඉන්දියාව ආක්‍රමණය කොට එහි බලය පතුරුවා එරටින් 12000ක් ජනයා මෙරට වැඩට ගෙනාවේය. එබඳු අතීතයක් අපිට තිබුණි. දැන් ඒ සියල්ල සිදුවී හමාරය. බෞද්ධ දර්ශනය අනුව ප්‍රතිඵලය දෙස බලමින් ඒවා පිළිබඳ වැළපීම, කලකිරීම අප ගත යුතු මඟ නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල දර්ශනය අනුව බැලිය යුත්තේ මෙකී අවුරුදු 76 තුළ අප රටක් හැටියට මේ තරම් පරිහානියට පත්වීමට බලපෑ හේතු දෙසය. 48 දී ලැබූ නිදහස සැබෑ නිදහසක් දක්වා පරිපූර්ණ කර ගැනීමට නොහැකි වූයේ කවර හේතු නිසා ද? කියායි.

යළි දිනාගත යුතු නිදහස

එවැනි හේතු සාධක කිහිපයකි. ඉන් පළමුවැන්න නම් අප යටත් විජිත පාලනයෙන් මිදුණ ද යටත් විජිත ගැති මානසික්වයෙන් මිදීමට අසමත් වීමයි. දෙවැන්න අපේ රටේ සම්පත් මැනවින් හඳුනාගෙන ඒවා සංවර්ධනය කරමින් රටේ දියුණුවට දායක කර ගැනීමට අපොහොසත්වීමයි. තුන්වැන්න නිර්මාණාත්මක මිනිසුන්, ව්‍යවසායකයන්, නවෝත්පාදන කර්මාන්තකරුවන්, විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්ෂකා ඇති ශිල්පීන්, පර්යේෂකයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ගිරාපෝතකයන්, ලිපිකරුවන්, කම්මැලියන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනඟාගැනීමයි. හතරවැන්න බෞද්ධ දර්ශනය නොතකා බටහිර උපන් මතවාදවලට ගැතිකම් කරන දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ බලයට ගෙන ඒමයි. පස්වැන්න රටට අහිතවත් දූෂණය වංචාව, අල්ලස, හොරකම්, ගජමිතුරු පවුල්වාදය, එකම දහම කර ගත් ආණ්ඩු රට පාලනය කිරීමය. හයවැන්න හොරකමට වංචාවට උඩගෙඩි දෙන එවැනි චරිතයන්ගෙන් යුත් දේශපාලනඥයන් පසුපසම යන බහුතර රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව සිටීමය.

මා දකින හැටියට මෙකී ප්‍රධාන හේතු හය රටේ පරිහානියට බලපා තිබේ. අපේ පාලකයන් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, සහනශීලී ප්‍රතිපත්තීන් හා ඉගැන්වීම් මායිම් කළේ නැත. කාලාම සූත්‍රයේ විමසුම්ශීලී ඉගැන්වීම් අධ්‍යයනය කළේ නැත. එනිසා ඔවුන් වහල් චින්තනයකට නතුවී ලෝකයේ බලවත් රටවල්වලට ගැතිවෙමින් ක්‍රියාකිරීමට යොමුවූ බව පෙනේ. අප කළ යුතුව තිබුණේ තෝරාගත් බලවත් රටවල් කිහිපයකට ගැතිකම් කිරීමත්, අනෙක් බලවතුන්ට එරෙහිවීමක් නොව සියලුදෙනා සමඟ මැද තැනක සිට කටයුතු කිරීමය. එසේ කටයුතු නොකිරීම නිසා මේ වනවිට අපේ රට කලාපීය සහ ලෝක බලවතුන්ගේ ගොදුරක් බවට පත්වී තිබේ. එක් පැත්තකින් ඉන්දියාව, අනෙක් පැත්තෙන් චීනයයි. ඊළඟට ඇමරිකාව, රුසියාව හා යුරෝපීය රටවල්ය. මේ සියල්ලේ ගොදුරක්වීමට අපට සිදුව තිබෙන්නේ අප සැබැවින්ම චින්තනමය, ආගමික, අධ්‍යාපනික, ආර්ථික දේශපාලන නිදහස දිනා ගැනීමට අසමත්වූ හෙයිනි. අවම වශයෙන් නිදහසේ ශත සංවත්සරය සමරන දිනයේදීවත් මේ සියලු ක්‍ෂේත්‍රයන්හි පරිපූර්ණ නිදහස සපුරා ගැනීමට සියලු භේද නොතකා බෞද්ධ දර්ශනය මුල්කරගෙන කටයුතු කරමු.

බළපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය
රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බළපිටියේ
සිරිසීවලි නාහමියන්

advertistmentadvertistment
advertistmentadvertistment