මහ මොළකරු, පොඩි මොළකරු, කිරිකරු සහ කරත්තකරු

835

ආසියාවේ රටවල් ගණනාවකම ත්‍රස්තවාදය පැළ කළ පාත්ති ඇත. මේ පාත්ති වැඩිහරියක්ම ඉන්දු පාකිස්ථාන බෝඩරයේ පිහිටා තිබේ. ඉන්දියාවේ ත්‍රස්තවාදය පවත්වාගෙන යන්නේ ඒ රටේ ආණ්ඩුව නොව ස්වාධීන ත්‍රස්තවාදී කල්ලි විසිනි. එහෙත් පාකිස්ත්නයේ තත්ත්වය ඊට වෙනස්ය. පාකිස්ථාන යුධ හමුදාව තුළ කුඩා අන්තවාදී සහ ත්‍රස්තවාදී කල්ලි ඇත. මේවා clandestine terrorist pockets ලෙස හඳුන්වනු ලැබේ. මුළු මහත් පකිස්ථානයම යුධ හමුදාව ත්‍රස්තවාදීන් බවක් මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ නැත. සෑම පවුලක් තුළම මොකෙක් හෝ එක කාලකන්නියෙක් ඇත. එසේම සෑම දේශපාලන පක්ෂයක් තුළම කාලකන්නින් බොහෝ දෙනෙක් ඇත. මේ ආකාරයෙන් ලෝකයේ සෑම සන්නද්ධ හමුදාවක් තුළම කවර වර්ගයක හෝ මානව විරෝධී මතවාදයක් දරණ කුඩා කණ්ඩායම් සිටීමට ඉඩ තිබේ. තිස් අවුරුදු ජනවාර්ගික යුධ සමයේදී මෙවැනි කණ්ඩායම් අපේ රටේ සන්නද්ධ හමුදාව තුළද තිබිණ. එසේම ප්‍රභාකරන්ගේ ත්‍රස්ත සංවිධානය තුළද මෙවැනි කල්ලි ඇතිවිය. ප්‍රභාකරන්ගේ දෙවනියා වූ මහත්තයා එවැනි කල්ලියක් නිර්මාණය කර ප්‍රභාකරන්ගෙන් මැරුම් කෑවේය. කරුණා අම්මන්ද මෙවැනි කල්ලියක අයිතිකාරයෙකි. මෙවැනි කල්ලියක් ගැන හෙළිදරව් වූ විට එහි මහ මොළකරු කව්ද, පොඩි මොළකරු කව්ද හතරැස් මොළකරු කව්ද, තුන්හුලස් මොළකරු කව්ද යනාදිය ගැන නොබලා මුළු කල්ලියම සමූල ඝාතනය කිරීම ත්‍රස්තවාදී සිරිතය. ප්‍රභාකරන් සමහරවිට තම පැරණිම මිතුරන් පවා සැකකොට ඝාතනය කළේය.

ප්‍රභාකරන්ගේ සහෝදරයා බඳු වූ මාක්ස්වාදී මූලයක් සහිත ප්‍රචණ්ඩ ත්‍රස්තවාදියකු වූ උමා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. යෙන් වෙන්වී වෙනම සංවිධානගත වූ කල්හි ප්‍රභාකරන්ගේ ගෝලයෝ වැල්ලවත්තේදී ඔහුට වෙඩි තබා මරණ ලදී. අපේ කතාව ටිකක් දික්වන බව පෙනේ. එබැවින් ප්‍රස්තුතයට එළඹෙමු. පාකිස්ථානයේ ත්‍රස්ත නාශක ඒකකය තුළදී ඊයේ (25) බෝම්බ පිපිරීමක් සිදුවූ අතර එමගින් ආණ්ඩුවේ ත්‍රස්ත නාශක නිලධාරීන් 12 ක් on the spot මිය ගියහ. තවත් 50 ක් බරපතළ තුවාල ලැබූහ. බෝම්බය පිපිරී ස්වල්ප වේලාවකට පසු එය සිදුකරන ලද්දේ තරීක් ඊ තලේබාන් පකිස්ථාන් නමැති සංවිධානය බව හෙළිවිය. ඉන්පසු ප්‍රහාරයේ මහ මොළකරු කව්ද කුඩා මොළකරු කව්ද යනාදිය පකිස්ථාන් හමුදාව හෙව්වේ නැත. ඔවුන් කළේ ඉහත සඳහන් ත්‍රස්ත සංවිධානයට අයත් අතට අහුවෙන හැම එකාම සමූල ඝාතනය කිරීමය. මිනී මැරීම සහ සතුන් මැරීම පාපයක් සේ මේ පුවත්පත විසින් සලකනු ලැබේ. අප මිනී මරන්නන්ගේ පැත්තේ හිටගන්නේ නැත. අප මේ පැහැදිලි කළේ පාකිස්ථානය වැනි රටවල් වැඩේ කළ එකාගේ මොලේ සයිස් එක නොබලා අවශ්‍ය පියවර ගන්නා විදියය. ඇමරිකාවේ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැගිල්ලට එල්ල කළ 9-11 ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු (සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් මහ මොළකරු) ඔසාමා බින් ලාඩ්න් නොව වෙනත් ඉස්ලාමීය අන්තවාදියෙකි. මේ සිද්ධියේදී මහ මොළකරු සහ පොඩි මොළකරු සෙවීම පැත්තකට දැමූ ඇමරිකාව සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කර ඔසාමා බින් ලාඩ්න් ද මරා ඉදිරි දින කිහිපය තුළදී ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ ඊළඟ ත්‍රස්තවාදී නායකයාද මරා දැමුවේය. මෙවැනි සමූල ඝාතන වලදී සාපරාධී මහ මොළකරු, පොඩි මොළකරු ඇතුළු සියලුම මොළකරුවෝ එකගොඩේ මැරෙති. එවිට ඊළඟ මොළකරු බිහිවනතුරු ප්‍රචණ්ඩත්වය කළමනාකරණය කිරීමට ආරක්ෂක අංශවලට පුළුවන.

මහ මොළකරු යන වචනය මේ රට තුළ බෙහෙවින් ජනප්‍රිය යෙදුමක් වී තිබේ. මේ වචනය අද වනවිට කිරිකරු, පත්තරකරු, මාළුකරු යන වචන තරමටම ප්‍රසිද්ධය. අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය විවිධ අපරාධවල මහ මොළකරුවන් සොයා ගැනීමට නොහැකිවීම නිසා මේ දිනවල රස්තියාදු වෙමින් සිටිති. දිනේෂ් ශාෆ්ටර් ඝාතනයේ මහ මොළකරු අදටත් හමුවී නැත. පාස්කු බෝම්බයේ මහ මොළකරු අදටත් ආගිය අතක් නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මහ මොළකරු අදටත් හෙළිවී නැත. වසීම් තාජුඩීන් ඝාතනයේ මහ මොළකරු කවදාවත්ම හමුවෙන්නේ නැත. (අප මේ කියන්නේ කටට ආව නිසා මිස ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ දීමට CID යෑමට නොවේ) ඕනෑම අපරාධයක මහ මොළකරු සොයනතුරු පරීක්ෂණය ඉවර නොකර තබාගත හැකිය. සමහරවිට ලෝක විනාශය සිදුවන තුරුම මේ පරීක්ෂණය ඉවරවන්නේ නැත. ඒ නිසා අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ තිබේ. අනෙක කිසියම් අපරාධයක් සිදුවූ පසු අවශ්‍ය පියවර ධාර්මිකව හෝ අධාර්මිකව ගැනීමෙන් ප්‍රශ්නයට යම් ප්‍රමාණයක සාධාරණ උත්තරයක් ලබාගත හැකිය. මහ මොළකරු සොයමින් සිටින විට අප නොදැනීම කල්ගතවී මහ මොළකරුත් මියගොස් අපත් මිය යන්නේය. පාස්කු බෝම්බයේ මහ මොළකරු ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ සහරාන් හෂීම්ය. කාත්තන්කුඩියේ පාරවල් ගානේ ඇවිදිමින් සිටි විකෘති මානසිකත්වයක් සහිත ආගමික අන්තවාදියකු වූ සහරාන් හෂීම් කාගෙන් කාගෙන් හෝ ආධාර ලබාගෙන මීට හතර අවුරුද්දකට පෙර පාස්කු ඉරිදා දවසේ ලංකාවේ කතෝලික පල්ලි ගණනාවකට බෝම්බ ගසා 300 ක් පමණ මැරවීය. ඔහු මෙය කර ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානය කෙරෙහි හටගත් අවේශයකින් මිස අයි.එස්.අයි.එස්. සංවිධනයට කෙලින්ම සම්බන්ධ වීමකින් තොරව බව මේ වනවිට පැහැදිලිවී තිබේ. බෞද්ධයකු වීමට අවශ්‍ය නම් පන්සලේ හාමුදුරුවන්ට ඇප්ලිකේෂන් දැමිය යුතු නැත. කතෝලිකයකු වීමට අවශ්‍ය නම් පාප් වහන්සේට ඇප්ලිකේෂන් දැමිය යුතු නැත. එම ඇප්ලිකේෂන් එක ආධ්‍යාත්මික වශයෙන් හටගන්නා අවබෝධය මත ස්වයංක්‍රීයව යන ඇප්ලිකේෂන් එකකි. ඒ ආකාරයෙන්ම අයි.එස්.අයි.එස්. සංවිධනයට බැඳීමට අවශ්‍ය කරන ඕනෑම කෙනකු කළ යුත්තේ තමන් එම සංවිධානයට බැඳී ඇති බව සිතා ගැනීම පමණි. එතැන් සිට ඔහු අයි එස් අයි එස් ය. මෙහිදී මහ මොළකරුවා හෝ පොඩි මොළකරුවා මොකා වුණත් වැදගත් වන්නේ වැඩේ කරන එකා පමණි. සමහරවිට ඒකා කිසිදු මොළයක් ඇත්තේම නැති එකෙක් වීමටද ඉඩ තිබේ. අපගේ තර්කය කොතරම් ප්‍රායෝගික දැයි අපි නොදනිමු. එහෙත් වැඩක් ඉක්මනින් කෙළවර කිරීමට අවශ්‍ය නම් අපට කෙටි පාරවල්වල ගමන් කළ හැකි බව පමණක් මෙනෙහි කරමු.

 

advertistmentadvertistment
advertistmentadvertistment