තරම පෙන්විය යුතු කාලය එළැඹ ඇත

510

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොඳ නරක දෙක එකට පැමිණේ. ඔස්‌ට්‍රේලියාව සමග පැවැති ටෙස්ට් සහ සීමිත පන්දු වාර තරගාවලියේදීත් ඒ බව දක්නට ලැබිණි. පන්දු වාර 20 -20 තරගාවලියේ ජය පැරදුම 2-1ක් ලෙස ඔස්‌ට්‍රේලියාවට හිමි විය. අනතුරුව සීමිත පන්දුවාර එක් දින තරගාවලිය 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය .පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්විණි. ආරම්භය හොඳ නොවිණි. එහෙත් දෙවෙනි තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් ජය ගත්තේය. එය ඔස්‌ට්‍රේලියානුවන් බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි. දිනේෂ් චන්දිමාල් ඔස්‌ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලාංකිකයෙකු ලැබූ පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඊට කෝඩුකාර ප්‍රභාත් ජයසූරියගෙන් ලැබුණු සහාය අසමසමය.

එසේම පකිස්ථානය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේ ජය ද ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. එය ශ්‍රී ලංකාවටම ලියවී තිබුණු ජයකි. එහෙත් සංචාරකයෝ වාර්තා පොත් අලුත් කරමින් අප රට අත තිබූ ජය උදුරා ගත්හ. ඔස්‌ට්‍රේලියාව පකිස්ථානයට වඩා ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල පසුපසින් සිටියද ඔවුන් ඔස්‌ට්‍රේලියාවට වඩා භයංකර යැයි අප කීවේ ඒ නිසාය. පකිස්ථානය යනු කොයි මොහොතක නැගී සිටීදැයි කියා විශ්වාස කළ නොහැකි කණ්ඩායමකි. මෙවර ගාල්ලේ දී ඔවුහු ඒ බව මතක් කර දුන්හ.

ඔවුන් පසුගියදා ගාල්ලේ දී මතක් කර දුන්නේ මීට වසර 7 කට පෙර දී ශ්‍රී ලංකාව පරදා පල්ලෙකැලේ දී ලැබූ විජයග්‍රහණයයි. එයද මෙම ජයග්‍රහණය මෙන්ම අසමසම ජය කි. මෙවර ගාල්ලේ දී ඔවුන් පිහිටු වූ වාර්තාව වූයේ ගාලු පිටියේ වාර්තාවකි. එහෙත් එදා පල්ලෙකැලේ දී ඔවුහු ලෝකයේ හොඳම හඹා යෑමේ හය වැනි ස්ථානය තම නම ඉදිරියේ ලියා ගත්හ. ආසියාව තුළ එම දක්ෂතාවය හොඳම හඹා යෑමේ දක්ෂතා අතර දෙවන ස්ථානයට පත් විය. මෙවර අබ්දුල්ලා ශහීර් ක්‍රීඩා කළ ඉනිම එවර ක්‍රීඩා කළේ යුනිස් ඛාන්ය. යුනිස් ඛාන් අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණ නොදැවී ලකුණු 171ක් ලබා ගත්තේය. ගාල්ලේ දී අබ්දුල්ලා ශහීර් නොදැවී ලබා ගත් ලකුණු ගණන 160කි. ඔහු ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ ජයග්‍රාහී ලකුණ ද ලබා ගත්තේය. පකිස්තානය එවැනි කණ්ඩායමකි. ගාල්ල තණතීරුවේ 4 වන ඉනිමේ ලකුණු හඹා යෑම කෙතරම් අසීරු දැයි වාර්තා පොත් අපූරුවට පෙන්වා දෙයි. එහි මීට පෙර ජයග්‍රහණයකින් නිමා වූ හොඳම ලකුණු හඹා යෑම වූයේ ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව 2019 වසරේ දී ලකුණු 268ක් හඹාගොස් ජයග්‍රහණය කිරීමයි. ඉන් පසුව වාර්තා වී තිබුණේ ලකුණු 164ක් හඹාගොස් ජයග්‍රහණය කිරීමයි. ගාල්ල එලවා ගොස් පහර දීමට නොහැකි තැනකි. එහෙත් සංචාරක පකිස්ථානය මෙවර ඒ නොහැකියාව හැකියාව බවට පත් කළේය. ලකුණු 342ක් හඹා ගොස් ජය ගත්හ. දැවී ගියේ කඩුලු 6ක් පමණි.

එදා 2015 වසරේ පල්ලෙකැලේ දී ඔවුහු ලකුණු 382 ක් හඹා ගොස් ජයග්‍රහණය වාර්තා කළහ. එම තරඟය පැවතියේද ජූලි මාසයේය. 2015 ජූලි මස 03 වෙනිදා සිට 07 වෙනිදා දක්වා පල්ලෙකැලේ දී එම තරගය පැවැත්විණි. මෙවර 2022 දී ජූලි මස 16 වෙනිදා සිට 20 වෙනිදා තෙක් ගාල්ලේ දී පළමු ටෙස්ට් තරගය පැවැත්විණි. එවර ඔවුහු එම ජයග්‍රහණයත් සමග තරඟාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙවර ඔවුහු ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී පියවරක් තැබූහ.

වෙනස ඇත්තේ ආරම්භයේ හා අවසානයේ පමණි. ප්‍රතිඵලය සමානය. එදා ඔවුහු තරගාවලියට විශිෂ්ට අවසානයක් ලබා ගත්හ. මෙවර විශිෂ්ට ආරම්භයක් ලබා ගත්හ. සංචාරයක් නිම කර පසුගියදා පෙරළා සිය රට බලා ගිය ඔස්‌ට්‍රේලියාව ද ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ ආරම්භ ලබා ගත්හ. එහෙත් අවසානයේ වැඩි ගෞරව දිනා ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි. ඒ අතරින් ටෙස්ට් තරගාවලිය විශිෂ්ටය. පළමු තරගය කඩුලු 10 කින් පැරදුණු ශ්‍රී ලංකාව දෙවැනි තරගයේදී අළු ගසා දමා නැගිට්ටේය. සංචාරකයින්ට තම තරම පෙන්වූහ. මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැටිය. පාකිස්ථානය කොයි මොහොතේ නැගී සිටී දැයි විශ්වාස කළ නොහැකි කණ්ඩායමක් වේ නම් ශ්‍රී ලංකාව එහි අංක එකේය. පකිස්තානයට අවශ්‍ය නම් එහි දෙවන තැන තියා ගත හැක. ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට තවමත් බය මේ ගුණාංගය නිසා ය. කොයි මොහොතේ නැගී සිට පහර දේ දැයි ඇති ඒ අවිනිශ්චිත බිය නිසාය. ඒ නිසා දැන් උදාවී තිබෙන්නේ ශ්‍රී ලංකාවට තම හැටි පෙන්වීමේ කාලයයි. එවැනි අවස්ථා ඕනෑ තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් අතීතයේ වේ. ලෝක කුසලාන ජයග්‍රහණයන් වෙත පැමිණි ගමන තුළත් එවැනි ජයග්‍රහණ ඕනෑ තරම් වේ. අවැසි වන්නේ හැම දෙනාගේ දක්ෂතා එක මිටකට ගැනීමය. පළමු තරගයට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ දෙවැනි තරගයට ඇතුළත් නොවේ. එම තරගයේ නොසිටි පැතුම් නිශ්ශංක දෙවෙනි තරගයට කැඳවා තිබේ. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගෙන් එම තරගයේ අඩුපාඩු කීපයක් සිදු වුණි. ලකුණු ද වාර්තා නොවිණි. ප්‍රතිවාදීන් දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් ගිලිහී ගියා මෙන්ම විනිසුරු තීරණ විමසීමට යොමු කිරීමේ අවස්ථා කිහිපයක් ද ඔහුට වැරදී ගියේය. එහෙත් දෙවැනි ඉනිමේදී පකිස්තාන ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ගේ ස්ටම්ෆ් කිරීමත්, එය තෙවැනි විනිසුරුට යොමු කිරීමට කළ ඉල්ලීමත් විශිෂ්ට එකකි. එය කිසිවකු බලාපොරොත්තු නොවූ දැවී යාමකි.

දිනේෂ් චන්දිමාල් මේ වන විට සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණම යුගය ගත කරමින් සිටීම ශ්‍රී ලංකාවට විශාල අස්වැසිල්ලකි. 2011 වසරේ ඇරඹි ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ මෙතරම් සාර්ථක වර්ෂයක් මීට පෙර උදාවී නැත. විශේෂයෙන් පසුගිය වසර හතර පුරාවටම ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබුණේ අර්ධ ශතක හතරක් සහ එක් ශතකයක් පමණි. එහෙත් පසුගිය මාස දෙක තුළදී පමණක් චන්දිමාල් එක් ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක තුනක් රැස් කරමින් දස්කම් දැක්වීය. ඒ ද්විත්ව ශතකය ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

ප්‍රභාත් ජයසූරිය පළමු ටෙස්ට් ඉනිමේ සිටම වාර්තා බිහි කරමින් පන්දු යවන්නේය. මේ වන විට ඔහුගේ ටෙස්ට් ඉනිම් හතර තුළ ඔහු කඩුලු 5 සීමාවන් තෙවතාවක් බිඳ දමා ඇත. එහි එකතුව කඩුලු 21කි. නවක ක්‍රීඩකයකු ලෙස ඔහු ප්‍රදර්ශනය කරන මෙම දක්ෂතා සැබැවින්ම අගය කළ යුතුය. ඇවැසි වන්නේ මෙම දක්ෂතා කැටුව ජයග්‍රහණය සොයා යෑමයි. පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමු ඉනිමේදී පකිස්තාන ගෞරවය රැකගත් අයුරුත්, දෙවෙනි ඉනිමේ දී නවක ක්‍රීඩක අබ්දුල්ලා ශහීර් පෙන්වූ අපරාජිත පරිණත ඉනිමෙනුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ගත හැකි පාඩම් ඕනෑවටත් වැඩිය. ඒ නිසා දැන් ශ්‍රී ලංකාව පකිස්තානයට තම තරම පෙන්විය යුතු කාලය උදා වී ඇත. කොයි මොහොතේ නැගිට පහර දෙනු ඇති දැයි කියා විශ්වාස කළ නොහැකි ගුණය ප්‍රගුණ කළ යුතු කාලය දැන් උදා වී ඇත. ගාල්ලෙන් හෙට ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවට තමන්ගේ තරම ප්‍රතිවාදී පකිස්තානයට මෙවර පෙන්වීමට තිබෙන අවසන් අවස්ථාවයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment