ම්ලේච්ඡ ප්‍රහාරයෙන් රනිල්ට ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කර ගත්තා

272

ගෝල්ෆෙස් අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව භාරගත යුතු බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22 වැනිදා) සඳහන් කළේය.

මෙම සිදුවීම සහ මැයි හය රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනා රාජපක්ෂ පවුලේ මැරවර ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැති බවත්, ප්‍රහාරයන් දෙකම එක හා සමාන බවත් හෙතෙම කීවේය.

43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ එම අදහස් පළකළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.

මෙම ප්‍රහාරයේ වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා එක දවසින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට, ලිබරල් නායකයෙක් හැටියට අවුරුදු හතළිස් පහක ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කර ගත්තා. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් සියලුදෙනාම තරහ කරගෙන, ඉමහත් අපකීර්තියට පත්වීමක් තමයි මේ සිද්ධ වුණේ.

ඇත්තටම මේ මොහොතේ ඇයි මේ අරගලය මතුවුණේ? රනිල් වික්‍රමසිංහ මහතා මතක තබාගත යුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපති ධුරය දක්වා එතුමා පැමිණියේ. මේ අරගලකරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීම නිසයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ තුන් කට්ටුව බලෙන් පහ කරලා දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කරපු නිසයි.

අරගලකරුවන් අතර පොඩි පොඩි ප්‍රශ්න, ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ තියෙන්න ඇති. නමුත් මේ මාස හයක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙළෙන ප්‍රශ්න, කිරිපිටි නැතුව අඬන දරුවෝ එක්ක දුක් වේදනා විඳින අම්මාවරු ඉස්පිරිතාලෙට ගියහම, ඒ වගේම බෙහෙත් ශාලාවට ගියහම, බෙහෙත් නැතුව දුක් විඳින මිනිස්සු, පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, භූමිතෙල් ටික නැතුව, දුක් විඳින, මේ රටේ සාමාන්‍ය ජනතාව ආදායම් අහිමි වෙච්ච ගොවියෝ, ධීවරයෝ ඇතුළු මේ රටේ දුක් විඳින ජනතාව මේ සෑම කෙනෙක්ගෙම වේදනාව, වෛරය අද උඩු දුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව, සහකම්පනය අනිවාර්යෙන්ම පෙන්විය යුතු මොහොතක මේ පෙන්නලා තියෙන දුෂ්ටත්වය, මේ පෙන්නලා තියෙන අසීලාචාරත්වය ඉතාමත්ම පිළිකුල් සහගතයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment