ලොරි රියැදුරුගේ නොසැලකිල්ලෙන් උපකාරක පන්ති ගුරුවරයා මරුට

757

යතුරුපැදියක ගමන්ගත් උපකාරක පන්ති ගුරුවරයා කනදුල්ල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිස් රථවාහන අංශය පවසයි.

දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි නිශ්ශංක වෛද්‍යරත්නගේ ලංකාතිලක වෛද්‍යරත්න නමැති උපකාරක පන්ති ගුරු භවතෙකු එසේ මියගොස් තිබිණ.

ඉකුත් 09 දා පෙරවරුවේ සිදුව ඇතැයි කියන මෙම මාරක රිය අනතුරේදී, කුලියාපිටිය දෙස සිට උඩුබද්දාව දෙසට ගමන්ගත් යතුරුපැදිකරු එම දෙසටම පිටුපසින් ගමන්ගත් ටෙන්වීල් ලොරියක ගැටීමෙන් අදාළ අනතුර සිදුව තිබිණ.

ලොරියේ රියැදුරු මාර්ගයේ නිසි අවධානයකින් යුතුව ධාවනය කොට නොමැති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එමෙන්ම බැලූ බැල්මට තිරිංග තද කිරීමක් පිළිබඳව ද කිසිදු සලකුණක් නොවූ බවද පොලිසිය එහිදී පැවසීය.

කෙසේ නමුත් අදාළ උපකාරක පන්ති ගුරු භවතා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර සිදුකළ බව කියන 36 හැවිරිදි සැකකාර රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කුලියාපිටිය පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ජ.න. දහනක, පො.සැ. ගුණතිලක (7928), පො.කො. චතුරංග (76664) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවිය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment