කුණු පොහොර දේශපාලන කථා වස්තුව

1028

මීට කලකට පෙර ශ්‍රී ලංකාව කැළඹූ චීන කාබනික පොහොර නැව නිසා ලංකාවට මෙරට රජයට රුපියල් බිලියනයකට වැඩි පාඩුවක් සිදු වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. මෙය තනිකරම අසාර්ථක දේශපාලන කළමනාකරණය සහ කොමිස් ජරාව නමැති කාරණා දෙක නිසා සිදු වූ පාඩුවකි. මේ සිද්ධියට පොහොට්ටුව ලකුණ දරණ පොදුජන පෙරමුණේ හිටපු බලගතු ඇමැතිවරයකු සම්බන්ධ බව දැන ගැනීමට තිබේ. පොහොර නැවේ සිද්ධිය නිසා රටට සිදු වූ රුපියල් බිලියනයකට කිට්ටු පාඩුව එයට සම්බන්ධ සහ එයට වගකිවයුතු අයගෙන් අයකර ගත යුතු බව විගණකාධිපතිතුමාගේ මතය වී ඇත. මෙය අයකර ගත යුත්තේ කාගෙන් ද? පහත සඳහන් කතුවැකිය කියවන ඔබට ඉහත සඳහන් සිද්ධිය සඳහා කවරෙකු වගකිවයුතු ද යන්න සිතා ගැනීමට හැකි වනවා ඇත.

 පසුගිය අවුරුද්දේ අවසන් කොටස වන විට ශ්‍රී ලංකාව සතුව තිබූ ඩොලර් සියල්ලම අවසන් වී තිබිණි. යහපාලන ආණ්ඩුව විසින් ඔවුන්ගෙන් පසු බලයට පත්වන පොදුජන පෙරමුණේ ආණ්ඩුවට රට බාරදෙන ලද්දේ ඩොලර් බිලියන 8 කට කිට්ටු භාණ්ඩාගාර තැන්පතුවක් සමඟය. එහෙත් අලුත් ආණ්ඩුව පැමිණි දා සිටම ශ්‍රී ලංකාව කොවිඩ් අර්බුදයෙන් අඩපණව තිබූ නිසා රටට අවශ්‍ය කෑම, බීම ලබා ගැනීමටත්, බෙහෙත් ගෙන්වා ගැනීමටත් තවත් නම සඳහන් නොකරන දේවල් කීපයක් සඳහාත් ඩොලර් සියල්ල වැය වී තිබිණ. ඒ අතර 2021 යල කන්නයට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වා  ගැනීමට ආණ්ඩුවට බැරි විය. පොහොර ගෙන්වීම සඳහා භාණ්ඩාගාරය විවෘත කර බලන විට එහිද සල්ලි තිබුණේ නැත. මේ කරදරයෙන් ගැලවෙන්නේ කොහොමදැයි ආණ්ඩුව කල්පනා කරමින් සිටින විට ආණ්ඩුවට එක් වී සිටි උපදේශකයන් කිහිපදෙනෙක් කදිම ලණුවක් දුන්නේය. ඒ වූ කලී යල කන්නයේ වී වගාවටත්, සෙසු සියලු වගා කටයුතු සඳහාත් සම්පූර්ණයෙන් ම කාබනික පොහොර යොදමු යන්නය. ශ්‍රී ලංකාව අවසන් වරට මුළු රටේම වගාව සඳහා කාබනික පොහොර යොදාගෙන තිබුණේ මීට අවුරුදු 60 කට පමණ පෙරය. ඒ කාලයේ සිට රසායනික පොහොරත්, රසායනික කෘමිනාශකත් ටිකෙන් ටික මේ රටේ ගොවිතැන් තුළට අවශෝෂණය වීමට පටන් ගෙන තිබිණි. 1975 වන විට ශ්‍රී ලංකාව මුළුමනින්ම යැපුණේ රසායනික පොහොර සහ රසායනික කෘමිනාශකත්, රසායනික වල් නාශකත් මත ය. එතැන් පටන් 2021 දක්වා අවුරුදු 47 ක කාලයක් ගතව තිබූ අතර පැය 24 ක් තුළ නැවත වරක් ශ්‍රී ලංකාවේ මහ පොළොවට කාබනික පොහොර පමණක් හඳුන්වා දීමට හෝ තනිකරම කාබනික පොහොරවලින් ගොවිතැන් කිරීම හෝ කළ නොහැකි විය. එහෙත් ආණ්ඩුව ඒ සත්‍යය පිළිගත්තේ නැත. එළඹෙන යල කන්නය සඳහා කාබනික පොහොර ලංකාවේ නොතිබූ බැවින් ආණ්ඩුව කළේ චීනයේ ක්වින්ඩාවෝ සීවින් සමාගමෙන් ඩොලර් මිලියන 49.7 ක් වටිනා කාබනික පොහොර ටොන් අනූනමදාහක් ඇණවුම් කිරීමය. එම ඇණවුම ලැබීමෙන් සති කිහිපයකට පසු පැනමාවේ රෙජිස්ටර් කෙරුණු හිපෝස්පිරිට් නමැති බඩු නැව ක්වින්ඩාවෝ සීවින් සමාගම නිපදවූ පොහොර ටොන් අනූනමදාහක් පටවාගෙන ශ්‍රී ලංකාව බලා ගමන් ඇරඹීය. සාමාන්‍යයෙන් මෙවැනි පොහොර තොගයක් ලංකාවට එන විට එහි සාම්පල් ගුවනින් මෙහි එවා රසායනාගාර පරීක්‍ෂණයකට යොමුකිරීම කරනු ලැබේ. චීන පොහොර සාම්පලය ඒ ආකාරයෙන් ගුවනින්  ගෙන්වා පරීක්‍ෂා කරන ලද කල්හී ඒ තුළ අර්වීනියා නමැති බැක්ටීරියාව තිබී හමුවිය. අර්වීනියා බැක්ටීරියාව අර්තාපල්, කැරට් වැනි පොලෝ මට්ටමින් පහළ වැවෙන බෝගයන්ට ඉතාම අගුණ ය. මේ නිසා පොහොර තොගය ලංකාවට නොඑවන ලෙසට ලක් රජය ක්වින්ඩාවෝ සීවින් සමාගමට නියෝගයක් නිකුත් කළේය. ඊට සමාන්තරව අදාළ පොහොර නැවට ඩොලර් මිලියන 4.7 ක් ගෙවීම සඳහා අවශ්‍ය ණයවර ලිපිය ද ආපසු කැඳවනු ලැබීය. ඒ අතර ඉතා පුදුම සහගත ලෙස හිපෝස්පිරිට් නැව මහ මුහුදෙන් අතුරුදන් විය. සිදු වී තිබුණේ එම නැව වහාම නම මාරු කරමින් දිගටම යාත්‍රා කිරීමය. ශ්‍රී ලංකා රජය නැවේ තිබූ පොහොර තොගය ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු චීනය බලවත් සේ කෝපයට පත් විය. පොහොර තොගය සඳහා ණයවර ලිපිය නිකුත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකුවක් අසාදු ලේඛනගත කිරීමද ඔවුන් විසින් කරන ලදී. මේ අතර කාබනික පොහොර සිද්ධියෙන් විශාල ජරාවක් අපේක්‍ෂාවෙන් සිටි හෝ අපේක්‍ෂාවෙන් නොසිටි ඇමැතිවරයෙක් ක්වින්ඩාවෝ සීවින් සමාගමට දුරකථනයෙන් කතා කර පොහොර නැව ලංකාවට එවන ලෙසත්, ඉතිරි හරියේ වගකීම තමන් භාරගන්නා බවත් දන්වා සිටියේය. මේ අනුව බැක්ටීරියා සහිත පොහොර තොගය රැගත් නැව කෙළින්ම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණ නැංගුරම් දැමීම සිදුවිය. මෙවර ඔවුන් ලංකාවට පැමිණ සිටියේ වගකිවයුතු ඇමැතිතුමෙකුගෙන් ලද නියෝගය මත ය. ඒ නිසා පොහොර තොගය ගොඩබාන්නේ නැතිව ආපසු යෑමට බැරි බවත්, ගොඩබාන්නේ නැතිව යනවා නම් රුපියල් බිලියනයක වන්දියක් අවශ්‍ය බවත් ක්වින්ඩාවෝ සීවින් සමාගම ලක් රජයට කීවේය. මෙය සෙල්ලම් වැඩක් නොවේ. නැවේ තිබුණු කාබනික පොහොරවල අර්වීනියා බැක්ටීරියාව තිබූ බව ඒ වන විට මුළු ලෝකයේම පැතිර ගොස් තිබූ අතර එමගින් ක්විඩාවෝ සීවින් සමාගමේ කීර්තිනාමය සහ වෙනත් බිස්නස් සම්පූර්ණයෙන් ම කඩාකප්පල් වී තිබිණ. මේ තත්ත්වය දුරදිග ගියේ නම් තව පොඩ්ඩෙන් චීනා අපේ රටට බෝම්බ දමන්නේය. කෙසේ වුවද වන්දිය දීමට එකඟ වීමෙන් පසු කාබනික පොහොර තොගයත් සමඟ හිපෝස්පිරිට් නැව ආපසු චීනය බලා ගියේය. වැඩේ සමථයකට පත් වන්නේ වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවීමෙන් පසුය. ඒ සමගම අසාදුගත ලේඛනගත කළ ශ්‍රී ලාංකික බැංකුව එම ලේඛනයෙන් ඉවත් කිරීමට ද චීනය කටයුතු කළේය.

 මේ සිද්ධියේදී සියයට සියයක් චීන රජය වැරදි නැත. හිපෝස්පිරිට් නැව කුණු පොහොර තොගය පටවාගෙන මෙරටට එන්නේ එවකට කැබිනෙට්ටුවේ සිටි බලගතු ඇමැතිතුමාගේ නියෝගය මත ය. සමහර විට පොහොර නැවට ගෙවූ වන්දියෙන් එතුමාට කිසියම් සපෝට් එකක් ලැබුණේ දැයි අපි නොදනිමු. එසේම රටට සිදු වූ අලාභය එකී දේශපාලනඥයාගෙන් අය කළ යුතු බවට විගණකාධිපති කරන යෝජනාවට එකඟ වෙමු. කුණු පොහොර දේශපාලන කථා වස්තුව මෙතනින් අවසන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment