යන ගමන කවුරුන් හෝ වෙනස් කළොත් ඒ වගකීම ඔවුන් දැරිය යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

212

මේ යන ගමන කවුරුන් හෝ වෙනස් කළොත් ඒ වගකීම ඔවුන් විසින් දැරිය යුතුයි. කරන බොරු ප්‍රකාශවල වගකීමත් ඔවුන් විසින් දැරිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (16 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැ වසීය.

අපි ජාතියක් හැටියට කල්පනාවෙන් වැඩ කරමු. අපිට පේනවා ශ්‍රී ලාංකික මහජනතාව දැනුවත් කිරීම වැදගත්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 මේක බාරගත්ත අවස්ථාවේ ඉඳලා අපි දේශපාලනය කළේ නැහැ. කාටවත් දේශපාලනයක් කරන්න පුලුවන්කමක් තිබුණෙත් නැහැ. 2020 සිට 2023 දක්වා කිසිම සංවර්ධන ක්‍රියාවලියක් කරන්න ශක්තියක් කාටවත් තිබුණේ නැහැ. දැන් ඔන්න අපිට අවස්ථාව තිබෙනවා පෙබරවාරි මාසයේ ඉඳලා ගම් නියම්ගම්වල අවුරුදු 3 ක් අතපසු වූ වැඩ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඒ අතරේ මට පේනවා උත්සාහ කරනවා විවිධ සංවිධාන පුලුවන්ද කියලා වැඩ වර්ජන රැල්ලක් ඇති කරලා කාර්ය ආදායම අඩු කරන්න. මොකද අපේ වැඩ වර්ජන රැල්ලක් ඇති කළාම තියෙන අවාසිය හැම වැඩ වර්ජනයකින්ම එය ලෝකයේ ප්‍රදර්ශනය කළාම ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ප්‍රමාණය අඩු කළාම රටේ ආර්ථිකය කඩා බිඳ දමන්න පුලුවන්. නිදහසින් පසුව අවුරුදු 75 ක් මම ඇතුළු සියලු දෙනාම වැඩවර්ජන සහ අනෙක් ක්‍රියාවලියන් කළා. ඒකෙ පාඩුව ඩොලර් ත්‍රිලියන ගාණක් ජාතියට අහිමි කර තිබෙනවා.

අපි කර්මාන්ත ශාලාවක් ගත්තම කියනවා. අපිට ජංගි මහන්න කර්මාන්ත ශාලා එපා කියලා. ඊට පස්සෙ ඒක ඇතුලේ වෘත්තිය සමිතියක් හදාගෙන කියනවා මේ කර්මාන්ත ශාලාව ජාතික වස්තුවක් වෙනස් කරන්න එපා කියලා. කාටද මේවා කියන්නේ ? අපි ඇඟලුම් කර්මාන්ත හදලා තියෙන්නේ සදාකල් ලංකාව ඒවායින් ගෙනියන්න නොවේ. අපිට ඉන් පසුව ඊළඟ පියවරට යන්න තිබෙනවා. අපිට බයිසිකල් හදන්න ඕන, අපිට මෝටර්සයිකල් හදන්න ඕන, අපිට ත්‍රීවිල් හදන්න ඕන, අපිට ගුවන් යානා හදන්න ඕන. අපිට ඉස්සරහට යන්න තිබෙනවා. එතකොට කියයි අපි පොඩි රටක් කියලා. සිංගප්පූරුව කොළඹ දිස්ත්‍රික්කය විතර ඇති. ලෝකයේ බලවත් රටක්. මෙතන මේ වරාය ලඟින් යනවා අවුරුද්දකට නැව් 36,000 ක්. නැව් නවත්තගන්න බැහැ. ආණ්ඩු හිතන්න පුලුවන්, පුද්ගලයන් හිතන්න පුලුවන් වරායක් හැදුවාම නැව් නවත්වයි කියලා. එහෙම නැව් නවත්වන්නෙ නැහැ. ලෝකයේ නැව් නවත්වගන්න නම් මේ රට පාලනය කරන නායකයා ලෝකයේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සමඟ එකඟතාවයකින් ලෝකයේ නැව් ශ්‍රී ලංකාවේ නවත්වා ගත යුතුයි. එතකොට ඒ නිසා තමයි මට දැන් පේනවා බොහොම බහුශ්‍රැත දේශපාලඥයන් රතු මුහුද ගැන කතා කරනවා, මේ නොදන්න දේවල් කතා කරන්නෙ නැතුව පාඩුවේ හිටියොත් ශ්‍රී ලංකාවට යහපතක් වෙයි.

මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නෙ වසර 60 ක දේශපාලන පළපුරුද්දක් තිබෙන, ආර්ථිකය පිළිබඳ දැනුමක් තිබෙන, මුදල් අමාත්‍යංශය ගැන හොඳ අවබෝධයක් තිබෙන, රට වැටුණු අවස්ථාවලදී පමණක් මුදල් අමාත්‍යංශය අතට අරගෙන හසුරුවන නායකයා. 2021 අපි බාරගත්තම එතුමා මුදල් ඇමතිකම දැරුවේ නැහැ. එතුමා ඒ වෙනුවට දැරුවේ ආර්ථික අමාත්‍යංශය. එතුමා මුදල් ඇමතිවරයා කළේ චොක්ෂි මහත්තයා. හැබැයි මේ වෙලාවේ ඒක එතුමා අතට ගත්තා, මොකද එතුමා තමයි තනියම වැල් පාලමෙන් යන්න හැදුවේ. දැන් එහෙනම් එතුමා පළවෙනි පියවර සාර්ථකයි, දෙවෙනි පියවර සාර්ථකයි. දැන් ජපානයේ මුදල් ඇමතිවරයා ගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියා. එතුමා පැමිණෙන් කලින් ජපානයේ තව කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා. දැන් පෞද්ගලික ණය අපි දැන් කොහොමද අපි නැවත ප්‍රතිසංශෝධනය කරන්නෙ කොහොමද කියලා සාකච්ඡාවන් මේ දවස්වල යනවා. එහෙනම් මෙය නැවත කඩා බිඳ දමා විනාශ කළොත් එහි වගකීම ඒ සම්බන්ධයෙන් බොරු කියන කණ්ඩායම හොඳට මහජනතාව හඳුනා ගත යුතුයි. ඒ අපරාධය ශ්‍රී ලංකාවට අවුරුදු 75 ක් කර තිබෙනවා. එය නැවැත්විය යුතුයි කියන එකයි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තිබෙන්නේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment