රනිල්ට පුළුවන් ණය ගන්නයි විකුණන්නයි විතරයි – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හලාවතදී කියයි

401

රනිල් වික්‍රමසිංහට තියෙන්නේ ණය ගන්න පාර සහ විකුණන පාර විතරයි. ඒ පාරේ ගිහින් මේ රට ගොඩගන්න පුළුවන් නම් දැන් ගොඩගිහින් තිබෙන්න ඕනෑ. රුපියල් කෝටි විසිඅට ලක්ෂයක් මේරට ණය කරලා තිබෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ නායකයා මේ කරුණු අනාවරණය කළේ හලාවත පැවති රැළියක් අමතමිනි. එහිදී ඔහු මෙසේද කීය.

ඡන්දය පවත්වන්න කියලා අධිකරණය දුන් තීන්දුවත්, ව්‍යවස්ථාවත් නොසලකා ඡන්දයට වෙට්ටු දා තිබෙනවා. රංජන් හිරේ ගියේ අධිකරණයට අපහාස කළා කියලා. එස්.බී. හිරේ ගියේ අධිකරණයේ තීන්දුව බලු‍ තීන්දුවක් කියල කියූ නිසා. දැන් අධිකරණය ලබාදී තිබෙන තීන්දුවට අනුව භාණ්ඩාගාරයේ ලේකම් කටයුතු කරන්නේ නැහැ. හරි නම් නඩු දාන්න ඕනෑ නීතිපති. නමුත් ජාතික ජන බලවේගයේ අපි නඩු දැම්මා. පාර්ලිමේන්තුවේදී දොලවත්ත මන්ත්‍රීවරයා අධිකරණයේ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට අපහාස කළා කියලා ගෙනත් ප්‍රශ්න කරන්න ඕනෑ බව කීවා. සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා නැගිටලා කීවේ පාර්ලිමේන්තුවේ තීන්දුව ලැබෙන තුරු අධිකරණයේ තීන්දුව අත්හිටුවන්න කියලා. රනිල් මේ ඔප්පු කරමින් ඉන්නේ කුමක්ද? ලංකා ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් පළමු වතාවට පොදු ජනයා අතට බලය මාරුවීම වළක්වන්න වෙට්ටු දානවා. මහර තිබුණු අතුරු මැතිවරණයට විජය කුමාරතුංගත්, කමලවර්ණ ජයකොඩිත් ඉදිරිපත් වුණා. ප්‍රතිඵල නිකුත් කළේ නැහැ. ජේ.ආර්. නියෝග කර තිබුණේ කමලවර්ණ ජයකොඩි ජයග්‍රහණය කරන තුරු ඡන්දය ගණන් කරන්න කියලා. ඒ වගේම රනිල් දිනන තුරු ඡන්දය නොතියා ඉන්න නම් කල්පයකට ඡන්දය තියන්න වෙන්නේ නැහැ. මේ රටේ රනිල් දිනන්නේ නැහැ.

අපි මීටර් සීය දුවන්න ආවා කියලා රනිල් හිතුවත් අපි ආවේ මැරතන් එකක් දුවන්න. ඒ මැරතන් එකෙන් අපි ජයග්‍රහණය කරන බව රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න ඕනෑ. කල් දාලා, හාල්, ඩීසල්, වගේ දේවල් බෙදලා දිනන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. හාල් බෙදන්න ගිය මහින්ද අමරවීරට හූ කියලා පන්නා ගත්තා. ඒගොල්ලන්ගේ ලොකුම චණ්ඩියා වුණු ගෝඨාභය පලවා හරින්න ජනතාව සමත් වුණා. එහෙව් එකෙ මේ හාදයෝ මොන චණ්ඩිද? සමහර අය කියන්න සහ ලියන්න පටන්ගෙන තිබෙනවා රනිල් රට හදන්න යන බව. ආර්ථිකය සහ රට විනාශ කළ කෙනෙකුට ආර්ථිකයත්, රටත් හදන්නත් බැහැ.

පිනා චාන්ස් එකකින් බලයට ආව රනිල් 2015 ඉඳලා 2019 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයෙන් ඩොලර් බිලියන 12.5ක් අරගෙනත් රට වට්ටපු රනිල් අයි.එම්.එෆ්. එකෙන් ඩොලර් බිලියන 2.9ක් අරගෙන රට හදයිද?

අපේ රටේ රාජ්‍ය ආයතන සහ දේපළ 88ක් විකුණලා තිබෙනවා. විකිණීම හොඳයි නම්, ඒවා ගත්ත හාදයෝ ඒ කර්මාන්ත දියුණු කර තිබෙන්න ඕනෑ. නමුත් අද වෙනවිට ඒ කිසිම කර්මාන්ත ශාලාවක් නැහැ. වැලිසර කිරිපිටි කම්හල විකුණා දැම්මා. අද කිරිපිටි හදනවාද? හිඟු‍රාන සීනි කර්මාන්ත ශාලාව වික්කා. අද සීනි හදනවාද? ඇඹිලිපිටියේ කඩදාසි කම්හල විකුණා දැම්මා. අද කඩදාසි හදනවාද? තුනී ලෑලි සංස්ථාව විකුණා දැම්මා. අද තුනී ලෑලි හදනවාද? රජය සතුව තිබුණු වතු සමාගම් විස්සක් විකුණා දැම්මා. අද තේ වගාව දියුණු කර තිබෙනවාද? සමහර තේ වතු අද අයිතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ ටාටා සමාගමට. විකිණීම හොඳයි නම්, අඩුම තරමේ වැඩකරන කම්කරුවන්ට දවසකට රුපියල් 1000ක පඩියක් දෙන්න හැකිවෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහලා කියන විකිණීමේ සූත්‍රය එකම ආර්ථික සූත්‍රය නොවෙයි. අර්ජුන ඇමැති වෙලා ඉන්න කොට තෙල් සංස්ථාවේ සභාපති අර්ජුනගේ මල්ලි. අලි සබ්රි ඇමැති වෙනකොට අලි සබ්රිගේ මල්ලි තෙල් සංස්ථාවේ සභාපති. මහින්ද යටතේ තිබෙන කොට සභාපති එයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක සුමිත් විජේසිංහ. 1977 ජේ.ආර්. ජයවර්ධන තෙල් සංස්ථාවට පත් කළේ ගාමිණී ලොකුගේ. මේ ගොල්ලෝ යටතේ තෙල් සංස්ථාවට ඒගොල්ලන්ගේ පෝස්ටර් ගහපු අය පිරෙව්වා. ඊට පස්සේ මැර ප්‍රහාරවලට යොදා ගත්තා. මේ රටේ ජනතාව ණයට තෙල් ගහලා මේ ආයතන කඩා වැට්ටුවේ නැහැ. කංචන විජේසේකර ඇමැති කියනවා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ට සුඛෝපභෝගි වාහන දී තිබෙන බව. ඒ දීලා තිබෙන්නේ ඒගොල්ලන්ගේම වෘත්තීය සමිති නායකයන්ට. අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඒ වගේම දීලා තිබෙනවා. බාල තෙල් සහ බාල පොම්ප ගෙනාව සුසිල් ප්‍රේමජයන්ත, ෆවුසි තෙල් සංස්ථාව නැති කළා. එයාර් ලංකා එක චන්ද්‍රිකාගේ කාලයේ එමිරේට් සමාගමට විකුණුවාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලයේ එංගලන්තයේ ඉඳලා හදිසියේ ඔහුගේ පිරිවර එක්ක එන්න ගුවන් යානයක් වෙන්කර නොදුන් නිසා රජයට ගත්තා. ඊට පස්සේ එයාගේ මස්සිනා, ශිරන්තිගේ මල්ලි සභාපති කළා. ඔහු සාමාන්‍ය පෙළත් අසමත්. ඔහුට සිංගප්පූරුවේ සිට එන්න ගුවන් යානයක් නොතිබුණු නිසා මැලේසියාවේ ඉඳලා ගෙන්වා ගත් යානයකින් ආපසු මේ රටට ආවා. පාලකයෝ රාජ්‍ය ආයතන විනාශ කළේ ඔහොමයි.

හොරකම් කර කර ව්‍යාපාර කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ ණය ගන්න පාර සහ විකුණන පාර විතරයි. ඒ පාරේ ගිහින් මේ රට ගොඩගන්න පුළුවන් නම් දැන් ගොඩගිහින් තිබෙන්න ඕනෑ. රුපියල් කෝටි විසි අට ලක්ෂයක් මේ රට ණය කරලා තිබෙන්නේ. මේ කඩා දැමූ රට ගොඩනගන්නේ දූෂණය තුරන්කර ජාතික නිෂ්පාදනයක් ඇති කරන නව ආර්ථික වැඩපිළිවෙළක් සහිත ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විතරයි. ඉන්දියාවේ ගොවිපළකින් බිත්තර මිලදීගෙන වරාය දක්වා ප්‍රවාහනය කරලා නැවෙන් ගෙනැවිත් මේ රට තුළ බෙදාහැරලා රුපියල් 35/- මිලකට දෙන්න පුළුවන් නම්, රහස මොකක්ද? නිෂ්පාදන පිරිවැය අඩුවීමයි. අපේ රටේ බිත්තර නිෂ්පාදනය ගැන විතරක් සලකා බැලු‍වත් අඩු පිරිවැයකින් බිත්තරයක් නිෂ්පාදනය කරලා, ජනතාවට දෙන්න බැරි ආණ්ඩුවක් රට ගොඩනගන්නේ නැහැ. නව දැක්මකින් රට ගොඩගන්න ඕනෑ. ඒ දැක්ම සහ හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ජාතික ජන බලවේගය ජනවරමින් බලයට පත්වීම, රනිල් වික්‍රමසිංහගේ ඡන්ද කල්දැමීම්වලින් වළක්වන්න බැහැ.
සිරිමන්ත රත්නසේකර, ස්වර්ණ ශ්‍රී මහවත්ත – හලාවත විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment