අබු උබයිදා අතහැර මහමොළකරු සෙවීම

583

හෂීම් දෙමළ බසත් අරාබි බසත් හොඳින් කතා කරන චතුර කථිකයෙක් විය. තම මතය අනුන්ට බලෙන් කාවද්දන්නට ඔහු සමතෙකි. ඉක්මනින්ම සහරාන් හෂීම් කාත්තන්කුඩියේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් බැතිමත්හු ඔහුට ආගමික දේශනා පවත්වන්නට ආරාධනා කළහ. සහරාන් හෂීම් ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මුස්ලිම් ආගමික සභාවල දේශනා පවත්වමින් සංචාරය කළේය. ඔහුට තම බිරිඳ හාදියා හමු වන්නේ කැකුණගොල්ල ප්‍රදේශයේ එවැනි සංචාරයක නිරත වී සිටියදීය.

අප්‍රේල් 21 යනු තවත් එක් අඳුරු දිනයකි. ඉතිහාසය පුරාම බොහෝ ත්‍රස්ත ප්‍රහාර වාර්තා වී ඇත. නමුත් මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයකින් ලංකාව සලිත වූයේ 2019 පාස්කු ඉරිදා දිනයේය. මේ ප්‍රහාරයට වසර හතරක් ගතවී ඇති නමුත් අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස විශ්වාස කෙරෙන මොහොමඩ් සහරාන් හෂීම් අමතක කර තවමත් මහමොළකරු සොයන බව පෙනේ. මෙය බරපතළ විහිළුවකි. 2019 වසරේ අප්‍රේල් 21 දාට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයන් 277 දෙනකු මරණයට පත්කරමින්, ළමුන් සිය ගණනකට තම දෙමව්පියන්, නෑ හිතවතුන් අහිමි කරමින් මුස්ලිම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළෝ ය. පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්ක කර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය. එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා විය. ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනකු, පොලිස් නිලධාරීන් තිදෙනකු සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයන් 277 දෙනකු මරණයට පත්විය. තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය. මීගමුව, මඩකලපුව සහ කොළඹ පිහිටි පල්ලිවලට ප්‍රහාර එල්ල කෙරුණේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුර දී ය. ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි සහ ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ හෝටල් සහ ලැගුම්හල් ය.

“සිදු වෙතැයි සිතිය හැකි සැලසුම්සහගත ප්‍රහාරයක තොරතුරු” යන ශීර්ෂය සහිතව පොලිසිය මගින් අදාළ අංශ වෙත යවන ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය යවා තිබුණේ අප්‍රේල් 11 වැනිදාය. එය එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබිණි. එසේම අධ්‍යක්ෂ/ ඇමැති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ/ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ/ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියේ පිටපත් යොමු කර තිබිණි. එහි සඳහන් වූයේ “ජාතික තව්හිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරමි,” මැයෙන් සඳහන්ව තිබිණි. නමුත් සහරාන් ඇතුළු කණ්ඩායම බෝම්බ පුපුරවා මහත් විපතක් සිදු කළ පසුව මේ ලිපිය ගැන අවධානය යොමුවිය. එය ඛේදයකි. කොළඹ කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි පුද්ගලයකු බෝම්බය පුපුරා ගිය අවස්ථාව ගැන මෙලෙස පවසා තිබිණි. “පූජාව පටන් අරන් 8:45 ට ශබ්දයක් ආවා. ඇතුලේ පන්සීයක් හයසීයක් ඉන්න ඇති. අපි එතකොටම ඇතුළට ගියා. ගිහින් බලනකොට ‘බොඩීස්’ ටිකක් තිබුණා. අපි පොලිතින්වලින් ඒ ශරීර වසා දැම්මා. ඊට පස්සේ පොලිසිය ඇවිත් කිව්වා අපට එළියට යන්න කියලා.”

ලියාපදිංචි කළ හා නොකළ මුස්ලිම් පල්ලි 60 කට වඩා කාත්තන්කුඩියේ ඇත. ඒවායින් අතළොස්සක් හැරුණු විට අනෙක්වා සියල්ල වහාබ් මතවාදයේ පිළිවෙත් අදහති. හයාත් මොහොමඩ්ට සහ සමීනා හෂීම්ට දාව සහ්රාන් හෂීම් 1985 උපත ලැබුවේය. ඔහුගේ පවුලේ අය පදිංචිව සිටියේ නගරයේ ‘වෝඩ් 3’ කොටසේය. දරුවන් 5 දෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා ඔහුය. සහරාන් හෂීම් විවාහ වූයේ 2010 දීය. ඔහුගේ භාර්යාව වූ හාදියාගේ උපන් ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, කැකුණගොල්ලයි. විවාහ වෙද්දී ඇය කැකුණගොල්ල ජාතික පාසලේ ශිෂ්‍යාවකව සිටියාය. හෂීම් දෙමළ බසත් අරාබි බසත් හොඳින් කතා කරන චතුර කථිකයෙක් විය. තම මතය අනුන්ට බලෙන් කාවද්දන්නට ඔහු සමතෙකි. ඉක්මනින්ම සහරාන් හෂීම් කාත්තන්කුඩියේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් බැතිමත්හු ඔහුට ආගමික දේශනා පවත්වන්නට ආරාධනා කළහ. සහරාන් හෂීම් ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මුස්ලිම් ආගමික සභාවල දේශනා පවත්වමින් සංචාරය කළේය. ඔහුට තම බිරිඳ හාදියා හමු වන්නේ කැකුණගොල්ල ප්‍රදේශයේ එවැනි සංචාරයක නිරත වී සිටියදීය. සහරාන් හෂීම්ගේ උග්‍ර අයිසිස් අන්තවාදියකු වී ඇත්තේ ඔහු දීර්ඝව ඉන්දියාවේ ගත කළ කාලයේ දීය. අති ධාවනකාරී ඉස්ලාමීය අන්තවාදී මූලධාර්මික ක්‍රියාකාරී අයකු ලෙස හිඳ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැඟීමේ අදහසින් ඔහු ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියාකාරකම්වල නියැළෙන්නකු බවට පත්ව තිබේ. සියල්ල ආපසු කැරකී සහරාන් හෂීම් නැවත ශ්‍රී ලංකාවට එන්නට ඉටා ගත්තේ ඔහු විශ්වාස කළ ඉස්ලාමීය රාජ්‍ය ගොඩනැඟීම වෙනුවෙන් ත්‍රස්ත ක්‍රියාවල නියැළෙන්නටයි. එය පාස්කු ඉරු දිනයේ ලෙයින් හා යකඩින් සටහන් විය. සලාෆි ජිහාඩ්වාදය සංක්‍රාන්තික ඉස්ලාමීය මතවාදයේ වහාබ් බලපෑම මත බිහිවූවකි. එය මූලධර්මවාදී ඉස්ලාම් ආගමට ආපසු හැරී අයුධ සන්නද්ධ අරගලය අදහන්නකි. ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘අබු උබයිදා’ ලෙස හඳුන්වා තිබිණි. ඒ මොහොමඩ් සහරාන් මොහොමඩ් හෂීම් ය. මේ ප්‍රහාර ගැන ඉන්දියාව හොඳින් දැන සිටි බව නොරහසකි. සහරාන්ට වඩා හොඳ සබඳතා තිබුණෙත් පාකිස්තානය සමග නොව ඉන්දියාව සමගය. නරේන්ද්‍ර මෝදි අගමැතිට 2019 මැතිවරණය ජය ගැනීමට ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර වෙස්වලාගත් ආශිර්වාදයක් වූ බව කියන්නේ කට කහනවාට නොවේ.

2019 මාර්තු 15 වැනිදා සිය වාහනයට තුවක්කු කිහිපයක් දමාගත් බ්‍රෙන්ටන් හැරිසන් වේගයෙන් රිය පදවාගෙන ගියේ නවසීලන්තයේ අල්නුර් මුස්ලිම් පල්ලිය වෙතය. ඉවක් බවක් නැතිව වෙඩි ප්‍රහාර එල්ල කළ ඔහු පසුව තවත් ඉස්ලාමික මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රහාර එල්ල කළේය. මෙය ඉතිහාසයේ ලියැවුණේ ක්‍රයිස්චර්ච් ප්‍රහාරය ලෙසයි. එදින මුස්ලිම් ආගමිකයන් 51 දෙනකු මරණයට පත්වූ අතර තවත් 40 දෙනකු තුවාල ලැබීය. බ්‍රෙන්ටන් මේ ප්‍රහාර එල්ල කළේ කිසිවකුගේ අණ පරිදි නොවේ. තමන් විසින්ම මෙහෙයවීමෙන් මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් එල්ල කළ ඔහු එදිනම අත්අඩංගුවට පත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ මුලින්ම ප්‍රකාශ වූයේ මෙය නවසීලන්ත ප්‍රහාරයට පලිගැනීමට කළ එකක් යනුවෙනි. නමුත් ඇත්ත මෙය නොවේ. බ්‍රෙන්ටන් ප්‍රහාර එල්ල කළද නොකළද සහරාන් හෂීම් ඇතුළු පිරිස කොච්චිකඩේ පල්ලිය ඇතුළු ස්ථානවල බෝම්බ පිපිරවීම් අනිවාර්යයෙන්ම සිදුකරනු ලබයි. හෂීම්ගේ කතාව වෙනම එකකි. අබු බකර් බැග්ඩෑඩිද පාස්කු ප්‍රහාරයෙන් පසුව යළි මතුවී ප්‍රකාශ නිකුත් කළේ හෂීම්ගේ කණ්ඩායම හරහා තමන්ට ලකුණු දමා ගැනීමටය. අබු බකර් නොව සහරාන්ගේ ක්‍රියාකාරකම් ඉන්දීය ඔත්තු සේවා හොඳින් දැන සිටි බවත් රහසක් නොවේ. එය වෙනම කතාවකි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ හතරවන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ප්‍රධාන දේව මෙහෙය පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැඳුරේදී පැවැත්වුණි. එහිදී වැඩියෙන් කතා කෙරුණේ මහමොළකරු ගැනය. ප්‍රහාර එල්ල කළ සහරාන්ට දොස් පැවරීමක් සිදුවූයේ නැත. එසේනම් මහමොළකරු බෞද්ධයෙක් ද? මෙය බරපතළ ප්‍රශ්නයකි. මුස්ලිම් අන්තවාදය ගැන කතාවක් නැත. පල්ලියේ සරණ ලබන භික්ෂු පිරිසක් ජාත්‍යන්තර උසාවි යන්නට කතා කරති. පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වසර හතරක් ගත වුව ද මේ දක්වා යුක්තිය ඉටු කිරීමට රජය අසමත් වීම සහ විමර්ශන සම්බන්ධයෙන් ඇති සැක සහිත තැන් ගැන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ප්‍රකාශ කර තිබිණි. ඔහු දැන් පවසන්නේ දෙහිවල බෝම්බකරුට මැරෙන්න ඉඩ දීලා බුද්ධි අංශ කළේ රහස් වළ දැමීමක් සිදුකර තිබෙන්නේද යන්නයි. වසර හතරක් තිස්සෙම පල්ලිය මහමොළකරු සොයයි. එහිදී අගරදගුරු මෙසේ පවසා තිබිණි. “හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂිම්ගේ ත්‍රස්ත කණ්ඩායම් අතර කලක සිට පැවති ගනුදෙනු මොනවා දැයි සොයා බැලීමට කිසිවකු කටයුතු කළේ දැයි අපි ප්‍රශ්න කර සිටිනවා. දෙහිවල බෝම්බය පුපුරවා ගත් ජමීල් ගැන බුද්ධි අංශ හොඳටම දැනගෙන හිටියා. හමුදා බුද්ධි අංශ ඔහුට බෝම්බයක් පුපුරාගෙන සිය දිවි හානි කර ගන්න ඉඩ දුන්නේ ඇයි දැයි අපිට ප්‍රශ්නයක් නැඟෙනවා. එලෙසම එය ඔහු පුපුරා ගත්තා ද නැත්නම් යමෙකු දුරස්ථ පාලකයකින් එය පිපිරෙව්වා දැයි අපිට ප්‍රශ්න කළ හැක. මේ තැනැත්තා සිය දිවි හානිකර ගැනීම තුළ බුද්ධි අංශ තමන් හා ජමීල් මෙන්ම ඔහුගේ කණ්ඩායම අතර තිබුණු ගනුදෙනු පිළිබඳව තොරතුරු සදහටම මකා දැමීමට ඉඩ දුන්නා නොවේදෝ දැයි, අපිට සැකයක් තිබේ.”

අපට නම් පෙනෙන්නේ තව වසර සීයක් යන තෙක්ම පල්ලිය අනවරතව මහමොළකරු සොයනු ඇත යන්නය. මේවා දැක සිනාසෙන්නේ සහරාන් මිස අන් කවරෙක්වත් නොවේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment