දැනුමෙන් පිරි සමාජයකට කැළණි සරසවි නේත්‍රා ප්‍රජා සත්කාරය

103

අප කැලණි විද්‍යාලීය පුස්තකාල තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය පසුගියදා අභිමානවත් 50 වසරක ගමන් මග සමරනු ලැබුවා. මෙම සංවත්සර සැමරීම සමඟින් වාර්ෂිකව ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් අතර දැනුමෙන් සපිරි සමාජයකට පදනමක් එක් කරමින් දුෂ්කරතා අභියෝග මැද ඉගෙනුම ලබන පාසල්වල දූ දරුවන්ගේ ඉගෙනීම සඵල කර ගැනීමට දිරියක් වෙමින් පාසල් පුස්තකාල සඳහා පොත්පත් හා උපකරණ පිරිනැමීමට අධ්‍යයන අංශය ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති “නේත්‍රා” “ලොවක් දකින්නට නෙත් පාදමු” යන උදාර සංකල්පය ජනගත කරමින් මේ වන විට පළවෙනි අදියර සබරගමු පළාත – දෙවන අදියර – සබරගමු පළාත තුන්වැනි අදියර පසුගිය මැයි මස 25 වෙනි දින වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන බලප්‍රදේශයේ දුෂ්කර පාසල් 40 ක් තෝරාගෙන ඉගෙනුම ලබන දූ දරුවන්ට පාසල් පුස්තකාලය සඳහා පොත් කට්ටල බෙදාදීම අති සාර්ථක ලෙසින් නිමාවට පත් කරන ලදී.

නේත්‍රා වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අදාළ බල ප්‍රදේශයන්හි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ තෝරාගැනීම යටතේ විහිදෙන ලෙස පාසල් තෝරාගැනීම සිදු කරමින් අප අධ්‍යයන අංශය වාර්තා කරයි. ඒ අනුව අප අධ්‍යයන අංශය අදාළ බලප්‍රදේශයේ තෝරාගත් පාසලක නේත්‍රා වැඩසටහන ජනගත කිරීම සංකේතවත් කරයි.

පසුගිය මැයි මස 25 වෙනි දින පුත්තලම බල ප්‍රදේශයේ පාසල් 40 ක විදුහල්පතිවරු පුත්තලම පලාවිය සිංහල මහා විද්‍යාලයට කැඳවීම සිදුවිය. එම අවස්ථාවට පුත්තලම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් ප්‍රමුඛ ප්‍රධානීන් අප අධ්‍යයන අංශයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. වීරසිංහයන්ගේ මූලිකත්වයෙන් අධ්‍යයන අංශ කථිකාචාර්ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය එක්විය.

නේත්‍රා පොත්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. වීරසිංහයන් අප පුස්තකාල තොරතුරු ද අධ්‍යයන අංශයේ දැක්ම හා කාර්යභාරය ප්‍රමුඛ අරමුණ පිළිබඳ විදුහල්පතිවරුන් ප්‍රමුඛ කලාප අධ්‍යාපන බලධාරීන්ට කරුණු පැහැදිලි කළේය. අප පුස්තකාල තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමියන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි ගුණතිලකයන් දැනුම සමාජයක බලය පිළිබඳ අපට පැවරෙන වගකීම හා කාර්යභාරය පිළිබඳ කාරණා මැනවින් පැහැදිලි කළා. සහකාර පරිපාලන අධ්‍යක්ෂතුමිය සහ විදුහල්පතිවරුන් නියෝජනය කරමින් විදුහල්පතිතුමියන් නේත්‍රා අප ප්‍රජාසත්කාරය කෘතවේදීව අගයමින් තම ගුරු භූමිකාව තුළ පොත පත තුළින් ලද පන්නරය හා කොතෙක් දුරට බලපෑමක් කර ඇත්ද යන්න කදිමට තම අත්දැකීම් තුළින් පැවසුවාය.

නේත්‍රා වැඩසටහනේදී විදුහල්පතිවරුන්ගේ කැපවීම, උනන්දුව හා සුහදශීලීව අප අධ්‍යයන අංශයේ සෑම දෙනාගේ විශේෂ අවධානයට හා ප්‍රසාදයට හේතුවිය.

නේත්‍රා තුළින් අද අප ලබාගත් වාර්තා පොත පත තම පාසලේ පුස්තකාලයට එක්කොට දරුවන්ට කියවීමේ අවස්ථා වැඩි වැඩියෙන් ලබාදීම තම එකම බලාපොරොත්තුව බව වැඩසටහන නිමාවීමෙන් පසු අප හමුවූ විදුහල්පතිවරුන් කිහිප දෙනකුට පැවසුවා. සැබවින්ම ඒ ගැන අප අධ්‍යයන අංශය සතුටට පත්වෙනවා.

මල්ලකට බඩු පුරවන්නා සේ මනසට දැනුම පිරවිය යුතුයි. ඇල්ඩන් හක්ස්ලි නැමැති දාර්ශනිකයා ලොවට පෙන්වා දුන් අදහස කොතරම් ප්‍රබලව දැනෙන අරුත්බර සංකල්පනාවක් ද යන්න අප අධ්‍යයන අංශයක් ලෙස ප්‍රායෝගිකව හඳුනාගෙන ඇත.

දැනුම සාක්ෂරතාවය මගින් පුස්තකාල පොත පත පරිශීලනය කරන නැණ ගුණ පිරි පාසල් දරුවන්ගේ ලෝකය ජයගන්නට ඒ සඳහා ඉගෙනුම දැනුමෙන් සන්නද්ධ වන්නට දිරි ගන්වමින් නේත්‍රා වැඩසටහන අද දවසේ පූර්වාදර්ශයක් එක් කරනු ඇත.

අප අධ්‍යයන අංශයේ කථිකාචාර්ය බෝපත්තේ සෝමානන්ද ස්වාමින් වහන්සේ නේත්‍රා වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු නිරතුරුවම සොයාබලයි. ඒ අනුව පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 40 ක දූ දරුවන්ට පොත්පත් ලබාදීමේදී කලාප සහකාර අධ්‍යක්ෂ (පුස්තකාල විද්‍යා) බණ්ඩාර මහතා සමඟ එක්ව නේත්‍රා වැඩසටහනින් මෙවර සාර්ථකව කැපකිරීම් කළ නිහඬ භූමිකා අතර ප්‍රමුඛ දෙපළ විය.

ලොව ජයගත් විශිෂ්ට භූමිකා පොතපත ඇසුරු කිරීම තුළ තම ජීවන පන්නරය ලබමින් ඉලක්ක අරමුණු ජයගත් විශිෂ්ටයන් විය. නව තාක්ෂණික ප්‍රයෝග විධි ක්‍රම මත ඉදිරියට ගොඩනැඟෙන සමාජ දේහය තුළ පොතපත ඇසුර තවදුරටත් පෙරමුණේ සිටීම සතුටකි, දිරියකි. පොතපත ඇසුරේ අපට නිර්මාණශීලී දැක්මක් ඇති විද්‍යාර්ථීන් සංස්කෘතික පුරවැසියන් සමාජ සබඳතා ක්‍රියාවලිය තුළ අපට හමුව ඇත.

පුත්තලම කලාප අධ්‍යක්ෂක, සහකාර අධ්‍යක්ෂක (පුස්තකාල විද්‍යා) බණ්ඩාර මහතා අප ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ගෙන් ඉල්ලීමක් කළා පුස්තකාලය යන නාමය වෙනස් කර කියවීමේ මධ්‍යස්ථාන (Reading Center) ලෙස ජනගත කරවීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනට ක්‍රියාත්මක එකම අධ්‍යයන අංශය අප කැළණි විශ්වවිද්‍යාලීය පුස්තකාල තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය යි.

නේත්‍රා ව්‍යාපෘතියේ ජල බඳුන දැනුම පොතපත සමඟින් නිරතුරු පිරී පවතී. එම ජල බඳුන හිස් නොවේ.

පෙර දිනයේ නේත්‍රා ජල බඳුනෙන් දැනට පොතපත ලබාගත් සරසවි විද්‍යාර්ථ ප්‍රජාව තම දිවිගමන සරුසාර කර ගනිමින් දෙස් විදෙස් තම වෘත්තිය දැයට ආශිර්වාදය කරගත්තා. එනිසාම තමාගේ කෘතවේදී දායකත්වය නේත්‍රා ජල බඳුනට දැනුම පොතපත නිරතුරුව ලබාදෙයි. ඒ නිසා නේත්‍රා ජල බඳුන නිරතුරුවම පිරි පවතී. ඒ ජල බඳුනේ දැනුම පොතපත නේත්‍රා තුළින් අප දේශයේ පාසල් දූ දරුවන්ට බෙදා දෙනු ඇත.

චීන හිතොප දේශයක මෙසේ සටහන් වේ. “ගුරුවරු දොර අරිනවා නමුත් ඔබ විසින්ම ඇතුළත් විය යුතුය. Teacher open the door, but you must enter by yourself.”

තොරතුරු, දැනුම, නිර්මාණශීලී කුසලතාවය, සන්නිවේදන හැකියාව, සොබාදහම කියවීම හා මනුස්සකම හා බැදුණු වටිනාකම් නිරතුරු කියවාගන්නට ජනගත කිරීමට අප පුස්තකාල තොරතුරු අධ්‍යයන අංශ සහෘද සගයන්ට අප ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. වීරසිංහ ගුරු පියතුමන් නිරතුරුවම උපදේශකත්ව මඟපෙන්වා දෙයි. එසේම කැලණි සරසවි නැණබිමේ උපකුලපතිතුමිය ලෙස මහාචාර්ය ලිලන්ති ද සිල්වා ඇඳුරුතුමිය නිරතුරුවම අප අධ්‍යයන අංශයට දිරිය දෙමින් ඉදිරිගමන් මඟට ආශිර්වාද කරයි.

එම්. සරත් කුමාර පෙරේරා
ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මාධ්‍යවේදී/ බාහිර කථිකාචාර්ය පුස්තකාල තොරතුරු
විද්‍යා අධ්‍යයන අංශය.

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment