අපේ තනි නොතනියට හිටිය ‘මහ දුන් ගහ’

952

“අත්වැල්තොට මහ දුන් ගහ පෙරලිලා….” ඒ දුක්මුසු ආරංචිය කන වැකුණේ මීට දින කිහිපයකට පෙර දී ය. කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක මායිම්වල තිබූ ඒ විසල් වෘක්ෂය සමග බැඳුණු දශක දෙකකට එහා ගිය අතීත සිද්ධි එකින්නෙක මැවී පෙනුනේ සිනමා පටයක රූප පෙළක් ආකාරයට ය.

මේ විසල් වනස්පතිය මුලින්ම අප මතකයේ තැන්පත් වෙන්නේ අප පාසල් සමයේ දී ය. ඒ සිංහරාජය නැරඹීමට යන අතර වාරයේ දිනෙක මේ වෘක්ෂය නැරඹීමට හැකි වීමේනි. ඒ මතක හැටියට අනුව දශකයේ මැද භාගයේ දී ය. මෙම මහ වෘක්ෂය සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති වෙන්නේ අනූව දශකයේ අග භාගයේ දී ය. 90 දශකයේ අග භාගය යනු මේ මහ වෘක්ෂය වැනසීමට යම් පිරිසක් කුමන්ත්‍රණය කළ අවදියකි.

අපේ තනි නොතනියට හිටිය ‘මහ දුන් ගහ’

අප මුල් දවස්වල මේ මහ වෘක්ෂය බැලීමට පැමිණෙන වංගියේ මේ මාර්ගය තාර තැන තැන ගැලවී අබලන් වු ඉතා කුඩා මාර්ගයකි. වෘක්ෂය පිහිටා තිබුණේ වරතල්ගොඩ රක්ෂිත වන මායිමේය. එහි අතීත කතාව ගැන හරියටම දන්නා අය එදවස ද ඒ ප්‍රදේශයේ සුලබ වූයේ නැත. බැලූ බැල්මට මේ විසල් වෘක්ෂය වසර හාරපන්සියයක්වත් මේ ප්‍රදේශයේ සිදුවන වෙනස් කම් දැන සිටි බව නම් ස්ථිර කරුණකි.

ඈත අතීතයේ මේ ඉසව්වේ සිටි ගැමි ජනයා පවසන්නේ ඉතාම ගෞවරයකින් යුතුව ය.

“ඒ කාලේ මහත්තයෝ ඔය “මහ දුන් ගහ” තමයි අපේ තනි නොතනියට හිටියේ. ඉස්සර මේ පාර තිබුණේ හරි පුංචියට. මෙතනින් සිරිපාදේ ගිය හැමෝම බාර හාර වුණේ ඔය මහ දුන් ගහට.” අප සමග එලෙස දොඩමළු වුයේ අත්වැල්තොට ඇල්ල සමීපයේ කුඩා ව්‍යාපාරයක් කර ගෙන යන ආච්චි ආම්මා ය. ඒ මාතාව සමග අපේ ඇසුර ද දශක දෙකකටත් වැඩි ය.

අපේ තනි නොතනියට හිටිය ‘මහ දුන් ගහ’

අතීත ගැමියන්සේම වර්තමාන ඒ අවට සිටින අය අද ද පවසන්නේ මේ විසල් වෘක්ෂය සතුව පුදුම හාස්කම් තිබූ බවකි. වරක් මේ මහ වෘක්ෂයේ කොඩියක් දැමීමට නැග්ග පුද්ගලයෙකු ඇද වැටුනු ආකාරය පැරණි ගැමියන්ට අද ද අමතක නැත.

“ඔය මහ ගහට පුදුම බලයක් තිබුණේ. පොරෝ පහරක් එහෙම කවුරු හරි ගැහුවොත් ඒ මිනිහා එතනම ඉවරයි” මහ වනස්පතියේ අතීත මතක ආවර්ජනය කරමින් ඒ ආකාරයට අප සමග දොඩමළු ූුවූයේ කලවානේ ගුණතිලක මහතා ය.

මේ මහ වෘක්ෂය කපා බිම හෙළන්නට මුලින්ම පිඹුරුපත් සැකසුනේ මාකෙළි ඇල්ල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වු අවදියේ දී ය. එකල මාර්ගය පළල් කරන මුවාවෙන් මෙම මහ දුන් වෘක්ෂය සුන් කිරීමට පිරිසක් සංවිධානාත්මකවම කැස කවන බව අපට තේරුම් ගියේ කීරන්තිඩියේ පඤ්ඤාසේකර හිමියන් හා අජන්ත පලිහවඩන මහතා එකල කළ දැනුවත් කිරීමක් හරහා ය. එම දැනුවත් කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ උරග හා උභය ජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ හා මෙම ලියුම්කරු එම ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරත විය. මේ මහ වනස්පතිය ද කපා දැමීමට ලකුණු කළ ගස් අතර තිබුණේය. ව්‍යාපෘතියට මුවා වී විසල් පරිසර හානියක් සිදු කරමින් තිබෙන බව ද අපට අනාවරණය වූයේ එම සංචාරයේ දී ය.

ඔය වකවානුවේම මෙම දැවැන්ත වෘක්ෂය මහණ කිරීමේ කටයුත්තක් ද සිදු විය. ඒ කීරන්තිඩියේ පඤ්ඤාසේකර හිමියන්ගේ මූලිකත්වයෙනි.

මේ වකවානුවේ එම ඉසව්වෙන් සිංහරාජය බලා යමින් සිටි කීරන්තිඩියේ හිමි හා අජන්ත පලිහවඩන මහතා වෙන්නට යන විනාශය හා සිදු වී තිබෙන විනාශය දැක මේ ගස මහණ කිරීම සිදු කර ඇත. ලංකාවේ මුල්වරට මහණ කළ වෘක්ෂය බවට මෙය පත් වූයේ ඒ ආකාරයට ය.

එපමණකින් ද නොනැවතුනු කීරන්තිඩියේ හාමුදුරුවෝ ඊට පසුදිනම අත්වැල්තොට විහාරයේ විහාරාධිපති හිමියෝ හමුවූහ.

“මෙහෙම ගියොත් නායක හාමුදුරුවනේ සමන් දේවාලයත් පාරට කැඩෙනවා. අර මහ ගහ ඇතුළු ගස් ටිකත් කැපෙනවා. අපි මේක නතර කරන්න ඕනා. ඔබවහන්සේ මට ලියමනක් හදලා දෙන්න මේකට විරෝධය දක්වලා. ගමේ නායක හාමුදුරුවෝ විදියට. මම ඒක අරන් ෆවුසි මහත්තයා ගාවට යන්නම්.”කීරන්තිඩියේ හිමියෝ කීහ.ඒ ලියමන ලැබිණි. කෙලින්ම කීරන්තිඩියේ හිමි නතර වූයේ එවකට මහා මාර්ග ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ නිවසේ ය. වේලාව උදෑසන 6 පසු වුණා පමණි. ලිපිය බැලූ ෆවුසි ඇමැතිවරයා වහාම මහා මාර්ග අධිකාරියේ එවකට සභාපතිවරයා වූ ජයසිංහ මහතාට කතා කළේ ය.

“පාරවල් හදන්න පන්සල් දේවාල එහෙම කඩන්න යන්න එපා” ඒ ඇමැති ෆවුසි ය. එම වකවානුවේම මේ ලියුම්කරු ද සිදුවෙන්නට යන විනාශය ගැන විශේෂ ලිපියක් ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ ඡායාරූප සහිතව පළ කළේ ය.

“ඔය ගහ කපන්නේ නැහැ” එම ලිපියට පිළිතුරු වශයෙන් මහ මාර්ග ඇමැති ලියුම්කරුට ද කීවේය. එපමණක් ද නොව මේ විසල් වනස්පතියේ ඡායාරූපයක් සහිතව අපූරු කවියක් එකල දිවයින ඉරිදා සංග්‍රහයේ සංකල්පනා තීරයට අප අතරින් වෙන්ව ගිය කසුරි රචනා කළේ ය. එයට ද විශාල පාඨක ප්‍රතිචාරයක් ලැබිණි.

මාකේළි ජලාශයට යට වන ප්‍රදේශයේ හා මාර්ග පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් විනාශ වන ශාකවල තිබෙන උඩවැඩියා වර්ග බේරා ගැනීමේ මෙහෙයුමක් ද මේ කාලයේම දියත් විය. ඒ අජන්ත පලිහවඩන මහතාගේ මැදිහත්වීමෙනි. මේ ලියුම්කරුසේම බන්දුරංග කාරියවසම්, උදය ලියනගේ, හර්ෂණී විජේසිංහ ඇතුළු කණ්ඩායමක් ඒ කාර්යයට ස්වෙච්ඡාවෙන්ම එක්ව කටයුතු කළහ. එය අවසන් වූයේ විදු ලොවට අලුත් උඩවැඩියා වර්ග දෙකක් එකතු කිරීමෙන් පසුව ය.

එලෙසම මෙම මහ වනස්පතියේ කළ පරීක්ෂාවන්හි ප්‍රතිඵලයක් ලෙස නව හූනන් විශේෂයක් ලෝකයට දයාද කිරීමට එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහයන්ට හැකි විය. Cnemaspis molligodai ලෙස එම විශේෂය නම් කර ඇත.

එවැනි අපූරු ඉතිහාස කතාවක් සහිත මේ මහ දුන් වනස්පතිය එතැනින් යන බොහෝ දෙනෙකුගේ කැමරාවල ද නොමැකෙන මතකයක් ලෙස සනිටුහන්ව ඇත. ජන මනස තුළ එවැනි අපූරු ඉඩක් තැබූ පරිසර පද්ධතියක් විලසින් ජීවත් වූ ඒ මහ වෘක්ෂය පසුගියදා කැබලි තුනකට වෙන්ව පෙරළී ගියේ ය. මෙලෙස පෙරළී යන්නට වසරකට පමණ පෙර ද වෘක්ෂයේ උඩ කොටස කැඩී වෙන්ව ගිය බව මතක ය. වර්තමානය වනවිට ලංකාවේ වාර්තා ගත උසින් වැඩිම “දුන්” වනස්පතිය ලෙස සැලකුන සබරගමුව හා කළුතර පළාත් මායිම සනිටුහන් කළ ඒ විසල් වෘක්ෂය දැන් සිටින්නේ මහ පොළොව බදාගෙන ය. එය මහණ කළ වෘක්ෂයක් බැවින් එයට අවසන් ගෞවරව දක්වන්නට පසුගියදා විශේෂ පිරිසක් එහි ගියහ. එයට මුල් වූයේ පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රධානි හේමන්ත විතානගේ මහතා ය. මහා සංඝරත්නය ද ඒ සඳහා වැඩම කළහ. මොරපිටිය මහින්දාරාමයේ විහාරාධිපති අති පූජ්‍ය මොරපිටියේ ධම්මානන්ද හිමි, අත්වැල්තොට ගංගාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අති පූජ්‍ය වරකාගොඩ කාශ්‍යප හිමි හා දෙහිවල පුණ්‍යවර්ධනාරාමාධිපති, අති පූජ්‍ය තලංගල්ලේ සුදම්ම හිමි ඇතුළු හිමිවරු කිහිපනමක් එදින වැඩම කළහ.

හේමන්ත විතානගේ, මෙන්ඩිස් වික්‍රමසිංහ සහ පවුල, අශෝක හරිස්චන්ද්‍ර, රංජන් කරුණානායක, ජනක විතානගේ, අමිල ලක්මාල්, සපුමල්, කලේන්ද්‍ර හා මෙම ලියුම්කරු ඇතුළු ගිහි පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ.

ආගමික වතාවත්වලින් අනතුරුව එම වෘක්ෂය සිහි කර දුන් පැළයක් සිටුවීම ද පිරිස අතින් සිදු විය.

දශක දෙකකටත් වඩා අප යන එන විට දුටු, අවට සිදුවෙන වෙනස්කම් වසර පන්සියයකටත් වඩා නිහඬව බලා සිටිය, අපට සේම විසල් පද්ධතියකට සෙවණ දුන් ඒ මහ වෘක්ෂයට ගැහෙන හදින් යුතුව අවසන අපි සමුදුන්නෙමු.

නයනක රන්වැල්ල

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment