බුදු දහම මත ගොඩ නැගුණු ඉන්දු-ලංකා සබඳතා

292

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘතික, ආගමික, භාෂාමය, දැනුම හුවමාරු කරගැනීම සහ අධ්‍යාත්මික සම්බන්ධතාවල ඉතිහාසය අවුරුදු 2500 ට එහා දිවයයි.

ප්‍රාග් බෞද්ධ යුගයේ පවා මෙරට සහ භාරතය අතර දියුණු වෙළෙඳාම් ක්‍රමවේදයන් පැවැතුණ බවට සාක්ෂි ඇතත්, මුල්වරට පිළිගත හැකි සාක්ෂි සාධක හමුවේ. ශ්‍රී ලංකාවේ සුපැහැදිලි භාරත සම්බන්ධතාවක් පිළිබඳ කියැවෙන්නේ ගෞතම බුදු හිමියන්ගේ පළමුවන ලංකාගමනයත් සමගින් ය.

සම්බුද්ධ පිරිනිවනට ද පෙරාතුව ද උන්වහන්සේ, ලක්දිවට ගමන් කරමින් සිටි විජය කුමරුන් ඇතුළු පිරිසට සක් දෙවිඳුන් හරහා ආශිර්වාද පැතූ බව ද මූලාශ්‍රගත ඉතිහාසයේ සඳහන් වේ. එම නිසා විජයාගමනටත් පෙර සිටම ඉන්දියාව සහ මෙරට අතර පවත්වා ශක්තිමත් බන්ධනය එතැන් පටන් බුදු දහමෙන් ද පෝෂණය ලබා ඇත.

කෙසේවෙතත් භාරතය සහ ලක්දිව අතර ප්‍රකටම සබැඳියාව මෙන්ම මෙරට ශිෂ්ටාචාරයට දැඩි බලපෑමක් ඇති කළ සංසිද්ධිය වන්නේ දෙවන පෑතිස් රජ දවස මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු දහම මෙරටට රැගෙන ඒමයි. භාරතයේ අධිරාජයා වූ අශෝක රජු සමගින් පෑනේ මිතුරු ලෙසට බැඳීමක් පවත්වාගෙන යෑමට ලක්දිව රජු වූ තිස්ස රජු සමත් වී ඇති ඇත. එවැනි ප්‍රබල මිතුදමක ආශිර්වාදයෙන් අශෝක අධිරාජයා තම පුත්‍ර රත්නය වූ මහා මහින්ද තෙරුන් වහන්සේම ධූත මෙහෙවරෙහි ලංකාවට වැඩම කිරීමට සලස්වන අතර එනිසාම මහින්දාගමනයත් සමග ශ්‍රී ලංකාව එදා මෙදා තුර ඉන්දියාවෙන් ලද වටිනාම දායාදය නිර්මල වූ බුදු දහම ලෙසට හැඳින්විය හැකිය.

එතැන් පටන් අනුබුදු මිහිඳු හිමියන් බුදු දහමෙන් මෙරට ශිෂ්ටාචාරගත සභ්‍යත්වය පෝෂණය කළ අතරම සිය නැගණිය වූ, එනම් අශෝක අධිරාජයාගේ දෙටු දියණිය වූ සඝමිත් තෙරණින් වහන්සේ ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ නමක් සමග මෙරටට වැඩමවා මෙරට ආරාම කලාව, සිද්ධස්ථාන පිහිටුවීම මෙන්ම ශාසනික ප්‍රතිස්ථාපනය ද සනිටුහන් කරන ලදී. එම නිසාම ලොව පුරා බෞද්ධයින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කරන්නේ ඉමහත් ගෞරවයකින් හා භක්තියකින් යුතුවය.

මහින්දාගමනය සමග මෙරට බොහෝමයක් වෘත්තීය වපසරීන් පෝෂණය ලද සූ සැටක් ශිල්ප ශ්‍රේණීන් ද භාරතයෙන් මෙරටට තිළිණ වූ අතර අදටත් අපට මාහැඟි නිර්මාණ බීජයන් වන කලා සම්ප්‍රදායන් මෙන්ම සාහිත්‍ය නිර්මාණයන් ද මේ හරහා භාරතයෙන් අප ලද දායාදයන් ය.

ඉන්දු ලංකා සහෝදරත්වය යටත් විජිත පරිචයේ දී පවා ලංකාව හා තදින් බැඳී පැවතුණි. දේශීය නිදහස් ව්‍යාපාරයට මෙන්ම අධ්‍යාපනික, ශාස්ත්‍රීය සහ දේශපාලනිකව මෙරට හටගත් නවෝදය විෂයෙහි ද බොහෝමයක් ශ්‍රී ලාංකේය ප්‍රාමාණික වියත්හු ඉන්දියානු සහය සමග ශක්තිමත් වූහ.

බෞද්ධ ප්‍රතිපත්ති අසල්වැසි රටවලට ව්‍යාප්ත කිරීමට උත්සාහ කළ අශෝක මහා අධිරාජ්‍යයාගේ කාලයේ සිටම බුදුන් වහන්සේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ හදවතේ සිටියහ. ඉන්දියාවේ බෞද්ධ උරුමය රාජ්‍යතාන්ත්‍රක උපායමාර්ගික වත්කමක් බවට පත් කිරීමට වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කරමින් සිටීම සැම දෙනාගේම අවධානය දිනා ගෙන ඇත්තේය.

බුද්ධාගම පාලනය කරන ඕනෑම ජාතියක් ආසියාව පාලනය කරනු ඇති බවට ස්ටොබ්ඩාන් පැවසීය. මෝදි එය තේරුම් ගත් අතර ඉන්දියාව ප්‍රධාන බලවතෙකු කිරීමට බුද්ධාගම භාවිත කිරීමට කැමති විය. අගමැති ධුරයට පත් වීමෙන් පසු ඔහුගේ පළමු සංචාරය සඳහා බෞද්ධ රටක් වූ භූතානයට තෝරා ගන්නා ලදී. එහිදී ඔහු බුදු දහමේ අගය දේශනා කළ බ්‍රාහ්මණයෙක් ලෙසට කරුණු ඉදිරිපත් කරන ලදී. මෝදිගේ ශ්‍රී ලංකා සංචාරවලදී බෞද්ධ ස්වාමීන් වහන්සේ ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළේය. තවත් බෞද්ධ බලකොටුවක් වන මොංගෝලියාවට ගිය පළමු ඉන්දීය අගමැතිවරයා ඔහු ය. 2016 දී ජපාන සංචාරයේදී මෝදි බෞද්ධ සිද්ධස්ථාන දෙකක් නැරඹීමට ගිය අතර, ඒකාබද්ධ ප්‍රකාශයේ බුදු දහමේ සඳහනක් දක්නට ලැබුණි. ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණයේ සේවාවන් විවිධ රටවල් විසින් ඉල්ලනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය දැන් දැන් බෞද්ධ උරුමයේ අගය පිළිබඳ මුල් බැස ගනිමින් රාජ්‍යතාන්ත්‍රිකකරණය වෙමින් සිටී. ඉන්දියාව වැඩ වෙසෙන බුදුන් වහන්සේගේ සර්වඥධාතු වහන්සේලා සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ මේ සඳහා කදිම නිදසුනකි.

මෙරට බෞද්ධයකුගේ ජීවිත කාලය තුළදී අත්කර ගැනීමට අපේක්ෂා කරන බලාපොරොත්තු අතුරින් බුදුහිමියන් වැඩසිටි දඹදිව වන්දනාමාන කිරීම ප්‍රමුඛ කාරණයක් වනු නොඅනුමානය. ඒ අනුව වාර්ෂිකව 50,000 ට අධික ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව දඹදිව වන්දනාමාන කිරීම සඳහා සහභාගි වන බවට තොරතුරු වාර්තා වේ.

ඉන්දීය පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි. එරට කැණීම් මගින් සොයා ගැනුණු මෙම අස්ථි කොටස් ලෝකවාසී බෞද්ධයෝ පූජනීය හා වන්දනාමය අර්ථයෙන් “ධාතු” යැයි ව්‍යවහාර කරති. කපිල වස්තු ධාතු නමින් මෙකල හඳුන්වනුයේ ඉහත විස්තර කළ පරිදි බුදු හිමියන්ගේ ශ්‍රී ශරීරය දහනය කොට ශේෂ වූ අස්ථි වලින් එක් කොටසක් ලබාගත් කපිල වස්තුවේ ශාක්‍ය රජ දරුවන් විසින් අදින් වසර 2400 කට පමණ පෙර ඉදි කරන ලද චෛත්‍යය කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබුණු සම්බුද්ධ ධාතූන් වහන්සේය. මෙම ආගමික හා සංස්කෘතික බැඳියාවේ වටිනාකම තේරුම් ගත් ඉන්දියානු රජය බෞද්ධ උරුමය බෙදා හදා ගැනීම සඳහා කපිලවස්තු සර්වඥධාතු වහන්සේ මෙරට කිහිප වතාවක් වැඩම කිරීමට කටයුතු කරන ලදී. මෙම සර්වඥධාතු වහන්සේ පළමු වතාවට 1978 දී ලංකාවට වැඩම කරවන අවස්ථාවේ මිලියනක් බෞද්ධයන්ට එය වන්දනා නමස්කාර කිරීමට හැකි විය. ඉන් අනතුරුව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ද සර්වඥධාතු වහන්සේ වන්දනාමාන කිරීමට ලාංකික බෞද්ධයන්ට අවකාශ හිමිවිය.

සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා

‘මහ රජ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයන් වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියහ” මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු අමතා වදාළහ. දෙපාර්ශ්වය මුණ ගැසුන අවස්ථාවේ ඇති වූ සංවාදය අතිශය බුද්ධිමත් වූවක් බව පෙනේ. එහි ගුණාත්මක වටිනාකම අදටත් වලංගුව පවතී. මේ පොසොන් මාසයයි. වසර කිහිපයකට පසු ශ්‍රී ලාංකික බෞද්ධයන් පසුගිය පොසොන් උත්සවය ඉතා බැති බරව මහත් උද්‍යෝගයෙන් යුක්තව සමරන ලදී. ඒ ඉන්දියාවෙන් අපට හිමි දායාදයන් යළි යළි සිහිපත් කරවමිනි.

නිදහස් ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයෙහි නිරූපණය වන්නේ ධර්මාශෝක මහාධිරාජයාණන් විසින් බුදු රදුන් ඉපදුණු, බුද්ධත්වයට පත්වුණු සහ පිරිනිවන් පෑ ස්ථානවල ඉදිකරන ලද සිංහ හිස් තුනක් සහ ධර්ම චක්‍රය සහිත ශෛලමය කුලුනුවල හිසෙහි ප්‍රතිරූපයයි. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතා වල මූල බීජය බුද්ධ ධර්මය මත පදනම් වී ඇති බවත් එය මානව ශිෂ්ටාචාරය පවතින තක් නොනැසී පවතිනු ඇතැයි අනුමාන කළ හැකිය.

ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment