නන්දිකඩාල් ගෙන යායුතු නවක වධය

962

සති කිහිපයකට පසු, නැවත වතාවක් සෑහෙන තරම් අමිහිරි මාතෘකාවක් ගැන කතාකිරීමට අපට සිදුවී තිබේ. එය වූකලී නවක වධය නමැති තුච්ඡ, අමන, නීච ක්‍රියාවය. නූතන නවක වධකයා යනු පරපීඩා කාමුකයෙකි. ලිංගික පිස්සෙකි. මී හරක් සිතුවිලි ඇත්තෙකි. ඔහු හෝ ඇය සුදුසු වන්නේ විශ්වවිද්‍යාලයට නොව ගොන් කරත්ත ඇදීමටය. එහෙත් මී හරක් යොදා ගොන් කරත්ත ඇදීමේ සිරිතක් නැති බැවින් නවක වධක මී ගොනුන් සහ මී වැස්සියන් අල්ලා ඔවුන් කුඹුරු හෑම පිණිස යෙදිය යුතුය. චීන සංස්කෘතික විප්ලවය පැවති සමයේදී මාවෝ සේතුං ට විරුද්ධ වූ ප්‍රති විප්ලවකාරී කොටස් අත්අඩංගුවට ගෙන ඔවුන් නගුල්වලට ඈඳා ඔවුන් සීසෑම පිණිස යොදවන ලදී. එය අමානුෂික වැඩකි. ප්‍රතිවිප්ලවකරුවා කළේ මාවෝ සේතුංගේ මර්දනකාරී දේශපාලන වැඩපිළිවෙළට ප්‍රතිවිරුද්ධ අදහස් දැරීම පමණි. එබැවින් ඔවුන් කුඹුරු හෑම පිණිස යොදාගැනීම මනුෂ්‍යත්වයට කරන ලද නිග්‍රහයකි. නවක වධක ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ප්‍රතිවිප්ලවකාරී චරිතයක් නොවුවද ඉන්තේරුවෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි චරිතයකි. එබැවින් ඔවුන්ට සුදුසු වන්නේ හිර ගෙදර, කුඹුර වැනි තැන්ය. මෙවර අපි නඩු ඇසීමට පෙරම දඬුවම ප්‍රකාශයට පත්කර ඇත්තෙමු. මෙතැන් සිට නඩු අසනු ලැබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධක තිරිසන් ශිෂ්‍ය පිරිසක් කනිෂ්ඨ ශිෂ්‍යයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට කුණුහරුපයෙන් බැන වැදී, ශාරීරික හිංසා පීඩා කොට පිළුණු බත් කැවූ බව දැනගන්නට තිබේ. මේ වධකයන්ගේ පන්ති තහනම් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වුවහොත් දැඩි දඬුවම් දෙන ලෙස අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටිමු. වඩාත් සුදුසු වන්නේ ඔවුන් විශ්වවිද්‍යාලයෙන් නෙරපීමය. අන්තර්ජාලයේ තිබෙන වඩාත්ම විශ්වාසදායක online විශ්ව කෝෂයේ නම විකිපීඩියා වේ. මේ විශ්ව කෝෂයේ එන පරිදි ලෝකයේ වඩාත්ම දරුණු ලෙස නවක වධය දෙන රටවල් දෙකක් ඇත. ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවය. දෙවැන්න ඉන්දියාවය. රටේ විශාලත්වය සහ ජන ඝනත්වය යන කාරණා දෙක මත පදනම්ව සලකා බැලීමේදී වැඩි නවක වධ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එහෙත් නිරන්තර නවක වධය සහ දරුණු නවක වධය යන කාරණාවලදී ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවය. ලංකාවේ පැරණිතම අධ්‍යාපන ආයතන දෙක වන්නේ මහා විහාරය සහ අභයගිරි විහාරය වේ. මේ දෙකම භික්ෂු විශ්වවිද්‍යාල වෙති. ඒවායේ කිසි කලෙකත් නවක වධයක් තිබුණේ නැත. එහෙත් ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යනු නවක වධ ගුහාවකි. මේවායේ සිටින ආධුනික සිවුරුකාරයෝ අරක්කු බොති. පාටි දමති. හදිසි අවස්ථාවකදී සිවුර වීසිකොට අඳනකඩය පිටින් පැන දුවති. ශ්‍රී ලංකාව මෙපමණ අශිෂ්ට ජාතියක් වුණේ කෙසේද? මෙයට අවුරුදු පන්සීයකට පමණ පෙර ලංකාව ගැන විස්තරයක් ලියූ ෆාහියන් නමැති චීන ජාතික බෞද්ධ භික්ෂුව මෙරට සිටින ජනතාව නපුරු ගති ඇති නමුත් ඉතා ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය කොට්ඨාසයක් බව ලියා ඇත. ධර්මය විසින් ශිෂ්ට සම්පන්න කරන ලද මේ ජාතිය අන් අයට උපකාර කළ හැටි ඒ ගමන් විස්තරයේ සඳහන්ය. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මේ ළඟදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් උගත් දොස්තර මහතෙක් සිය 96 හැවිරිදි මිත්තණියට හොඳටම ගුටි දුන්නේය. සූදුකාරයකු වූ පියෙක් සිය කුඩා දියණිය පොලී මුදලාලි කෙනකුට විකුණා සූදු කෙළියේය. පොලී මුදලාලි විසින් ස්වකීය ලිංගික සන්තර්පන කටයුතු සඳහා මේ කුඩා දැරිය යොදාගන්නා ලදී.

සිංහල රාජාණ්ඩු පැවති යුගය යනු සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපනයට තැනක් ලැබුණු වකවානුවක් නොවේ. ඒ නිසා අකුරු ශාස්ත්‍රය දැනගත්තේ මහණ දම් පිරූ අයත් රජතුමාත් එතුමාගේ පුත් කුමාරවරුත් පමණි. මේ රටේ අවසන් සිංහල රාජ සභාවේ කටයුතු කළ ඇතැම් ඇමැතියකුට තිබූ එකම උගත්කම වූයේ දෙමළ භාෂාවෙන් අත්සන් කිරීමට තිබූ හැකියාව පමණි. ඒ අත්සන සඳහාද ඔහු විසින් යොදන ලද්දේ එකම එක අකුරක් පමණි. ඒ අකුර ලිව්වොත් අධිකාරම්තුමාගේ නම හෙළිවන බැවින් නිහඬව සිටීමට අපි තීරණය කළෙමු. රට පුරාම තිබූ නූගත්භාවය නිසාත් උගත්කම ඉතාම සීමාසහිත පන්තියක් අතර ගැවසුණු ආයුධයක් නිසාත් එකල ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් නොවීය. එබැවින් සාමාන්‍ය මිනිසුන් එදිනෙදා රජතුමාගෙන්ද, අධිකාරම්වරුන්ගෙන්ද, වැඩවසම් රදළ නායකයන්ගෙන්ද,

අවශේෂ වලව් කාරයන්ගෙන්ද විඳින ලද වේදනාවලට අමතරව වෙනත් වේදනාවක් වින්දේ නැත. නවක වධය ශ්‍රී ලංකාවට බෝවන්නේ මේ රට තුළ සංවිධානාත්මක ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් පටන්ගැනීමෙන් පසුවය. දැනගන්නට ඇති පරිදි දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ රටේ ආධුනිකයන් සිටි සෑම අංශයකට පාහේ නවක වධය බෝවිය. යුද හමුදාවට බඳවා ගත් ආධුනික සෙබළුන්ට නවක වධය දෙන ලදී. පාසල්වල වධය දෙන ලදී. සෑම මිනිසකු තුළම දෙවියෙක් සහ යකෙක් සිටිතියි මතයක් පවතී. දෙවන ලෝක යුද්ධයෙන් පසු මනුෂ්‍යයන්ගේ ශරීර තුළ සිටි යකා වෙනත් ස්වරූපවලට අමතරව නවක වධ ස්වරූපයෙන්ද මතුවිය. ලංකාවේ තත්ත්වය එය වුවද ඉන්දියාවේ නවක වධය එරටට නිදහස ලැබීමට පළමුව සිටම තිබිණ. එයට හේතු වූයේ ඉන්දියාව තනිකරම යුද කඳවුරක් ලෙස පවත්වාගෙන යෑමට බ්‍රිතාන්‍ය කිරීටය පියවර ගෙන තිබීමය. එබැවින් හැම විටම හමුදා කඳවුරුවලට එන ආධුනික සෙබළුන් නවක වධයට ලක්කරන ලදී. එහෙත් මේ නවක වධය ඉතාම ශිෂ්ට සම්පන්න වූද හාස්‍යජනක වූද මට්ටමකින් පවත්වාගෙන යන ලදී. අදවන විට ඉන්දියාවේ තත්ත්වය ඉතා බරපතළය. එහිදී නිතරම ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදුවෙයි. ශ්‍රී ලංකාවේ තත්ත්වයද මේ හා සමාන වෙයි. නවක වධය ඉවසා ගැනීමට බැරිව මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් සියදිවි නසාගෙන ඇත.

නවක වධය යනු තනිකරම බටහිර ලෝකයෙන් පැමිණි සංකල්පයකි. විශ්වවිද්‍යාලය හෝ උසස් පාඨශාලාවල නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්මිශ්‍රණය කිරීමේ කටයුත්ත සඳහා බටහිර ලෝකයේ රටවල් නවක වධය යොදාගෙන ඇත. ඕනෑම දෙයක් කල්යන විට වෙනස් වෙයි. බළල් පැටවකු වැනි චූටි කොටි පැටියා උස්මහත් වන විට අනෙකා මරාගෙන කෑමට පුරුදු වෙයි. ඒ ආකාරයෙන්ම ඉතා අහිංසක සහ හාස්‍යජනක සංකල්පයක්ව පැවති නවක වධය නූතන උසස් අධ්‍යාපනය මරාගෙන කමින් භයානක ත්‍රස්තවාදියකුගේ තත්ත්වයට පත්ව ඇත. එය නන්දිකඩාල් කලපුවට ගෙනගොස් තබමු.

advertistmentadvertistment
advertistmentadvertistment