මහා බලසම්පන්න රුද්‍රාක්‍ෂ ගැන දැන ගනිමු

156

පුරාණයේ විසූ ඍෂිවරුන් විසින් රුද්‍රාක්‍ෂ නමැති ඇට වර්ගය ලොවට හඳුන්වා දී ඇත. මේවා පුරාණයේ විසූ ඍෂිවරු පැලඳි බවත්, යම් යම් ලෙඩ රෝගවලට පාවිච්චි කළ බවත් සඳහන්ය. මැලේසියාව, නේපාලය වැනි රටවල පිහිටි වනාන්තර මධ්‍යයේ වැවෙන විශාල ශාකයකින් හට ගන්නා මෙම රුද්‍රාක්‍ෂ බීජය නිල් පැහැති පොත්තකින් ආවරණය වී ඇත. එම නිල්පාට පොත්ත ගැලවුණුවිට නොයෙක් කැටයම් සහිත බීජයක් හට ගනී. එය රුද්‍රාක්‍ෂ බීජයයි. එම රුද්‍රාක්‍ෂ බීජ වර්ග 3කින් යුක්තය. ඒවා ඉතා කුඩා රුද්‍රාක්ෂ ලෙසය. මධ්‍යම ප්‍රමාණයේ රුද්‍රාක්‍ෂ හා විශාල ප්‍රමාණයේ රුද්‍රාක්‍ෂ වන්නේ සෙන්ටි මීටර් 2ක් හෝ 3ක පමණ විශාල ලොකු රුද්‍රාක්‍ෂ ඇටයයි.

මෙම රුද්‍රාක්‍ෂ ඇටය ශිව දෙවියාගෙන් මනුෂ්‍යයන්ට ලැබුණු දායාදයක් බව ද සඳහන්ය. ශිව දෙවියන්ගේ ඇසින් වැටුණු කඳුළුවලින් රුද්‍රාක්‍ෂ ගස පැළවුණ බවත් පුරාණයේ සඳහන්ය. රුද්‍රාක්ෂ නොයෙකුත් කැටයම්වලින් යුක්තය. එම කැටයම් වර්ග 21කි. නමුත් දැනට භාවිතයේ ඇත්තේ රුද්‍රාක්‍ෂ බීජ වර්ග 14 ක් පමණි. මෙම රුද්‍රාක්‍ෂ බීජවල මුහුණත් දක්නට ලැබේ. ඒවා මුඛී ලෙස හඳුන්වයි.

මෙම රුද්‍රාක්‍ෂ ශිව දෙවියන්ගේ කඳුළුවලින් හටගත් බැවින් දුක් කරදරවලින් නිදහස්වීමටත් සතුට සැනසීම ළඟාකර ගැනීමටත්, බුද්ධිය හා ධාර්මික වීමටත් රුද්‍රාක්‍ෂයේ ප්‍රබල බලයක් ඇතැයි ඍෂි පිළිගැනීමයි. මෙම රුද්‍රාක්ෂ බීජ පැලඳීමේදී ඒවා ජපකිරීමෙන් තොරව පැළඳීමෙන් ඉහත සඳහන් සහන නොලැබෙන බවත් එහි රුද්‍රාක්‍ෂ සෑම දිනකම ශිව, ලක්ෂ්මී, දුර්ගා හෝ විෂ්ණු ස්තෝත්‍රවලින් ජප කර පැලඳීම තුළින් පමණක් සුබ ප්‍රතිඵල අත්වන බවත් මතයයි.

මෙම රුද්‍රාක්‍ෂ මුලින්ම ගෙල පැලඳීමේදී පෝය දිනක රාත්‍රියේ පැලඳීය යුතු අතර එම රුද්‍රාක්‍ෂ රත්‍රං හෝ රිදී හෝ රතු පැහැති නූලකට හෝ සවිකර පැලඳිය යුතුය. ‘තුන්නූර්’ අළු නළලේ ගලා ‘මිට් නමඃ ශිවාය’ යනුවෙන් කිහිපවරක් ජපකර එම රුද්‍රාක්‍ෂ බීජ ඇමණූ මාලය ගෙල පැලඳිය යුතුයි. මෙම රුද්‍රාක්‍ෂවලින් සැදූ මාලයට ඇමුණූ ඇට ගණන අනුව ලැබෙන ප්‍රතිඵල ද වෙනස්වේ. රුද්‍රාක්‍ෂ බීජ 108ක් යෙදූ මාල පැලඳීමෙන් භෞතික සැප සම්පත් ළඟාවන බවත්, බීජ 140ක් යෙදු මාලයක් පැලඳීමෙන් රුව වඩවන බවත් රුද්‍රාක්‍ෂ බීජ 32ක් පැලඳීමෙන් භෞතික දියුණුව සමග ලෙඩ දුක් දුරුවන බවත් ඍෂි උතුමන්ගේ මතයයි. මෙයට අමතරව මෙම රුද්‍රාක්‍ෂ ඉන්දියාවේ නොයෙකුත් රෝග සඳහා ද පුරාණයේ භාවිත කළ බව ද සඳහන් වේ. මෙම රුද්‍රාක්‍ෂ පෙරන්ගා කිරිවල දමා උතුරුවා පානය කිරීමෙන් හෘද රෝග, කක්කල් කැස්ස, මානසික රෝග හා අධි රුධිර පීඩනය වැනි රෝග සුව වූ බව සඳහන්ය.

මෙම රුද්‍රාක්‍ෂ නොයෙකුත් කැටයම්වලින් යුක්තය. ත්‍රීශූල, ශංඛ, අඩසඳ, සවස්ථික ලකුණ හා නාග පෙන එම රුද්‍රාක්ෂ අතර වේ. මීට අමතරව මුඛී අනුව ද රුද්‍රාක්‍ෂ වර්ග 21 කි. ඒත් මුඛී රුද්‍රාක්‍ෂගේ සිට විස් එක් මුඛී රුද්‍රාක්ෂය දක්වා වේ. මේවා එකිනෙක වෙනස් වන්නේ රුද්‍රාක්‍ෂයේ හැඩය හා එහි ඇති මුඛී සංඛ්‍යාව අනුවය.

මෙම රුද්‍රාක්ෂ බීජ සැපත, සතුට, සෞභාග්‍ය වෙනුවෙන් මෙන්ම ග්‍රහ අපල දුරුවීමට ද යොදා ගනී. සියලු නවග්‍රහයින්ගේ අපලවලදී එනම් රවි, සඳු කුජ බුධ සිකුරු ශනි ගුරු රාහු කේතු යන ග්‍රහයින්ගේ අපලවල දී අදාළ මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම තුළින් එම අපලය නැතිවී යයි. මෙම අපල මහ දශා, අතුරු දශාවලදී පමණක් නොව, අදාළ ග්‍රහයින්ගේ ගෝචර ගමනේ දීත් යොදා ගැනේ. නවග්‍රහයින්ගේ අපල සඳහා භාවිතයට ගන්නා රුද්‍රාක්ෂ මෙසේයි. රවිගේ අපලයට ඒකමුඛී රුද්‍රාක්ෂ හෝ දොළොස් මුඛී රුද්‍රාක්ෂය, සඳුගේ අපලයට ද්වි මුඛී රුද්‍රාක්ෂය, කුජගේ අපලයට ත්‍රී මුඛී රුද්‍රාක්ෂය, බුධගේ අපලයට චතුර් මුඛී රුද්‍රාක්ෂය ගුරුගේ අපලයට පංච මුඛී රුද්‍රාක්‍ෂය, සිකුරුගේ අපලයට සය මුඛී රුද්‍රාක්ෂ, ශනිගේ අපලයට සප්ත මුඛී රුද්‍රාක්ෂය, රාහුගේ අපලයට අෂ්ට මුඛී රුද්‍රාක්‍ෂය, කේතුගේ අපලයට නව මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීය යුතුයි.

දශාවන්ට අදාළ ග්‍රහයින් වෙනුවෙන් පලඳින රුද්‍රාක්‍ෂවලට අමතරව තමන්ගේ ලග්නයට අදාළව පැලඳිය යුතු රුද්‍රාක්‍ෂ ද ඇත. තමන්ට හිමි ලග්නය මුළු ජීවිත කාලයේම පවතින බැවින් ලග්නයට අදාළව පලඳින රුද්‍රාක්‍ෂය ද මුළු ජීවිත කාලය පුරාම පැලඳිය හැක. එසේ පැලඳීමෙන් ජීවිතයට සෞභාග්‍ය, යහපත නිතැතින් ලැබෙන බව ඍෂි මතයයි. ලග්නය අනුව පලඳින රුද්‍රාක්‍ෂ මෙසේය. මේෂ ලග්නයට ත්‍රී මුඛී රුද්‍රාක්‍ෂය, වෘෂභ ලග්නයට චතුර් මුඛී රුද්‍රාක්‍ෂය හෝ සප්ත මුඛී රුද්‍රාක්ෂය, කටක ලග්නයට ද්වි මුඛී හෝ ත්‍රී මුඛී රුද්‍රාක්‍ෂය, සිංහ ලග්නයට දොළොස් මුඛී රුද්‍රාක්‍ෂය, කන්‍යා ලග්නයට චතුර් මුඛී හෝ සප්ත මුඛී රුද්‍රාක්‍ෂය, තුලා ලග්නයට සය මුඛී හෝ සප්ත මුඛී රුද්‍රාක්‍ෂය, වෘශ්චික ලග්නයට ද්වි මුඛී හෝ පංච මුඛී රුද්‍රාක්‍ෂය, ධනු ලග්නයට පංච මුඛී හෝ දොළොස් මුඛී රුද්‍රාක්‍ෂය, මකර ලග්නයට සය මුඛී හෝ සප්ත මුඛී රුද්‍රාක්‍ෂය, කුම්භ ලග්නයට සය මුඛී හෝ සප්ත මුඛී රුද්‍රාක්‍ෂය මීන ලග්නයට ත්‍රී මුඛී හෝ පංච මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම සිදුකරයි.

මීට අමතරව අංක විiාවේදී ද තමන්ගේ ජන්ම අංකයට අදාළ රුද්‍රාක්‍ෂ වර්ග ද සඳහන් කර ඇත. ඒවා මෙසේයි. ජන්ම අංකය 1 නම් ඒක මුඛී රුද්‍රාක්ෂය ද 2 නම් ද්වි මුඛී රුද්‍රාක්ෂයද 3 නම් පංච මුඛී රුද්‍රාක්‍ෂය ද 4 නම් අෂ්ට මුඛී රුද්‍රාක්‍ෂය ද 5 නම් චතුර් මුඛී රුද්‍රාක්‍ෂය ද 6 නම් සය මුඛී රුද්‍රාක්‍ෂයද 7 නම් නව මුඛී රුද්‍රාක්‍ෂය ද 8 නම් සප්ත මුඛී රුද්‍රාක්‍ෂය ද 9 නම් ත්‍රී මුඛී රුද්‍රාෂය ලෙස ද සඳහන් වේ.

මෙම රුද්‍රාක්ෂ පුද්ගලයෙකුගේ ජන්ම නැකත අනුවද පැලඳිය හැක. ඒවා මෙසේයි. අස්විද මා, මුල යන කේතුගේ නැකැත් තුනට නව මුඛී රුද්‍රාෂය ද බෙරණ, පුවපල්, පුවසල යන සිකුරුගේ නැකැත් තුනට සය මුඛී රුද්‍රාක්‍ෂය ද කැති, උත්‍රපල්, උත්‍රසල යන රවිගේ නැකැත් තුනට ඒක මුඛී රුද්‍රාක්‍ෂය ද, රෙහෙණ, හත, සුවණ, යන සඳුගේ නැකැත් නුනට ද්වි මුඛී රුද්‍රාක්ෂය ද මුවසිරිස, සිත, දෙණට යන කුජගේ නැකැත් තුනට ත්‍රී මුඛී රුද්‍රාක්‍ෂය ද, පුනාවස, විසා, පුවපුටුප යන ගුරුගේ නැකැත් තුනට පංච මුඛී රුද්‍රාක්‍ෂයද පුෂ, අනුර, උත්‍රපුටුප යන ශනිගේ නැකත් තුනට චතුර් මුඛී රුද්‍රාක්‍ෂය ද අස්ලිය, දෙට, රේවතී, යන බුධගේ නැකැත් තුනට චතුර් මුඛි රුද්‍රාක්ෂයද අද, සා සියාවස යන රාහුගේ නැකත් තුනට අෂ්ට මුඛී රුද්‍රාක්ෂය ද, පැලඳිය යුතු බව සඳහන්ය.

පුද්ගලයකුට දශාවට අදාළ රුද්‍රාක්ෂය, ලග්නයට අදාළ රුද්‍රාක්‍ෂ, ජන්ම අංකයට අදාළ රුද්‍රාක්‍ෂ හා ජන්ම නැකතට අදාළ රුද්‍රාක්‍ෂ යන වර්ග කිහිපයක්ම මිශ්‍රකර මාලයක් සාදා, ස්ත්‍රෝතවලින් ජපකර පැලඳීමෙන් දියුණුව, සෞභාග්‍ය, වාසනාව, නිරෝගී බව හා ප්‍රීතිය ආදී සුබඵල ලබාගත හැක. තවද සෑදෙන රෝගවලට ද සහනය සැලසීම රුද්‍රාක්‍ෂයේ තවත් ගුණයකි. අදාළ රෝගයට, අදාළ රුද්‍රාක්‍ෂ මාලයක් හෝ පෙන්ඩනයක් සාදා පැලඳීම තුළින් අදාළ රෝගය සුවවී සහනය උදාවේ. මීට අමතරව රෝගයට අදාළ රුද්‍රාක්‍ෂය උණු කිරට දමා උතුරුවා බීම තුළින් මෙන්ම කල්ක සාදා ආහාරයට ගැනීම තුළින් රෝග නිවාරණය වේ. ශරීරයේ උෂ්ණත්වය සිසිලස, පාලනය කරන උසස් ඖෂධයක් ලෙස රුද්‍රාක්‍ෂ සැලකේ.

මෙම රුද්‍රාක්‍ෂ වෙළෙඳ පොළේ ව්‍යාජ ලෙස සකසා ඇති අවස්ථාද නැතිවා නොවේ. ඒවා හඳුනාගැනීමට ජලයට දැමිය යුතුයි. සැබෑ රුද්‍රාක්‍ෂය ජලය යට ගිලෙන අතර ව්‍යාජ රුද්‍රාක්‍ෂය ජලයට දැමූවිට පා වේ. ශ්‍රී ලංකාව තුළ සැබෑ රුද්‍රාක්‍ෂ ඉතා අඩුය. ඇත්තේ ‘මසන්’ ඇටය. ඒවායේ රුද්‍රාක්‍ෂයේ ඇති බලය නොමැත. පෙනුම පමණක් සමාන බැවින් මිනිසුන් සැබෑ රුද්‍රාක්‍ෂ ලෙස මසන් ඇටවලට රැවටේ.

මෙම සැබෑ රුද්‍රාක්‍ෂ ස්තෝත්‍රවලින් ජීවම් කරනවා මෙන්ම නව අරහදි බුදු ගුණෙන් පිරිත් කිරීමද ඉතා අගනේය. පිරිත්වලින් 108 වරක් පිරිත් කළ නවගුණ වැලක් බොහෝ බලවත්ය. නමුත් මෙම නවගුණවැල ආභරණයක් සේ යොදා නොගත යුතුයි. ගෞරවයෙන් හා භක්තියෙන් මෙය පැලඳිය යුතුයි.

මහා බලසම්පන්න රුද්‍රාක්‍ෂ ගැන දැන ගනිමු

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment