සංගීතයකදී වලි දමාගත් අය රෝහලට ඇවිත් රෝහල් පොලිසියේ දෙදෙනෙකුටත් පහර දීලා

400

4 දෙනෙක් අත්අඩංගුවට

කහවත්ත මූලික රෝහලේ රාජකාරියේ යෙදුණු පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට පහර දුන් බවට සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු කහවත්ත පොලිසිය විසින් (12දා) අත්අඩංගුවට ගෙන තිබේ. සංගීත ප්‍රසංගයක් අතරවාරයේ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූවන් කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබද්දී 11 රාත්‍රි එහි පැමිණි දෙපිරිසක් යළි රෝහල් භූමියේදී ගැටුමක් ඇතිකර ගැනීම නිසා එය සමථයකට පත් කිරීමට උත්සාහ ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මෙලෙස ප්‍රහාරයට ලක්වූ බව පොලිසිය පවසයි. පහර කෑ පොලිස් නිලධාරීන් දෙදෙනා ද කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. දෙපිරිස අතර ගැටුමෙන් සිව් දෙනෙකු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ. නොමිලේ පවත්වන සංගීත ප්‍රසංගයක් රස විදීමට නොහැකිව ගැටුම් ඇතිකරන මෙවැනි අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති. පොලිස් නිලධාරීන්ට පහර දුන් සැකකරුවන් පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් අනුව කහවත්ත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment