මැදපෙරදිග ශ්‍රමිකයන් එවන මුදල්වල ඉලක්කම් වෙනස් කර කෝටි 24 කට විදලා

5427

අබුඩාබි මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කළමනාකරුට නඩු

මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිය පවුල් වෙත මාසිකව එවූ මුදලින් රුපියල් 243,193,250.08 ක් (ඩිරාම් 5,813,766.00 ක්) වංචනිකව සිය බිරිඳගේ හා ඥාතීන්ගේ බැංකු ගිණුම් පහකට ප්‍රේෂණය කළේ යැයි කියන අබුඩාබි හි ‘ඩෙල්මා එක්ස්චේන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කළමනාකාර පොන්වීර ආරච්චිගේ ඉරේෂ වික්‍රමසිංහ නමැති සැකකරුට එරෙහි විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

‘ඩෙල්මා එක්ස්චේන්ජ්’ ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ලෙස 2010 වසරේ සිට 2017 වසර දක්වා සේවය කර ඇති සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් එම කරුණු ඉදිරිපත් කළේය.

ශ්‍රී ලාංකිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩායි මුදල් හුවමාරු මධ්‍යස්ථානයට පැමිණිලි කර වංචාව හෙළිදරව් කරගන්නා විට සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඩෙල්මා ආයතනය කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ වැඩිදුර විමර්ශන වාර්තාවක්ද ඉදිරිපත් කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතා කරුණු ඉදිරිපත් කළ අතර මුගංගන්දලුව, ඉලිප්පදෙනිය, හලාවත පදිංචි සැකකරු අදාළ මුදල්වලින් හලාවත ප්‍රදේශයේ ඉඩම් අක්කර ගණනින් මිලදී ගෙන ඇති බවට සනාථ කෙරෙන ඉඩම් ඔප්පු පිටපත් ද ඉදිරිපත් කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය. ඩෙල්මා එක්ස්චේන්ජ් මධ්‍යස්ථානයට ලැබෙන මුදල්වල ඉලක්කම් වෙනස් කරමින් මෙම වංචාව සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව ද සඳහන් කර ඇත.

සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 සමග කියවෙන 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇති බව අනාවරණය වන හෙයින් මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ද පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන හෙයින් එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිදුල රාජපක්ෂ මහතා අධිකරණයට කියා සිටියේ සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසය.

අගතියට පත් මුදල් අහිමි වූවන් හා අබුඩාබි මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ පැමිණිලිකරු වෙනුවෙන් සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ දිල්ශාන් කරුණාරත්න සමඟ නීතිඥ දේශාන් හේවාවිතාන මහතා පෙනී සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය සැකකරුට එරෙහිව විමර්ශන අවසන් බැවින් දැඩි කොන්දේසි යටතේ ඇප ලබා දීමට නියෝග කළාය. රුපියල් ලක්ෂ 150 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය. ඇප තැන්පත් කරන පුද්ගලයන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් අදාළ පත්ඉරු සමගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඇපයට තබන දේපළ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වමින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට දැනුම් දීමක් කරන ලෙසද නියෝග කළාය.

විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දෙසැම්බර් 8 වෙනිදා අධිකරණයට ගොනු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment