ආගන්තුකයන් ගෙනා කේක් හා බීම විෂවී එකම පවුලේ 5ක් රෝහලේ

845

පුත්තලම නගරයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් නිවැසියන්ට ලබා දුන් කේක් හා බීම ආහාරයට ගැනීමෙන් පසු ක්ලාන්තව හා සිහිසුන්ව අසාධ්‍ය වූ එකම පවුලේ පස් දෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

අනුරාධපුර මාර්ගයේ කතෝලික දෙවස්ථානය ආසන්නයේ පිහිටි මෙම නිවසට නාඳුනන ආගන්තුක සැකකරුවන් පැමිණ ඇත්තේ 15 වෙනි දින සවස 4.00 ට පමණ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ එම නිවසේ පදිංචි වයස අවුරුදු 65ක කරණවෑමියකු හා ඔහුගේ 63 හැවිරිදි බිරිඳ, 29 හැවිරිදි දියණිය, කරණවෑමියාගේ 86 හැවිරිදි පියා හා 84 හැවිරිදි මව ඇතුළු පිරිසයි.

එසේ පැමිණි සැකකරුවන් හෘද සැත්කමකට ලක්කර සිටි මෙම නිවෙස් හිමි කරණවෑමියා කලක සිට හඳුනන බව පවසා අදාළ කරණවෑමියාට පුද්ගලික ආයතනයකින් රුපියල් පනස් දහසක මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බව පවසා හිතවත්කමක් ඇතිකරගෙන තිබේ.

අනතුරුව අදාළ චෙක්පත ලබාදීමට ප්‍රථම මෙම නාඳුනන ආගන්තුක සැකකරුවන් රැගෙන ආ බීම බෝතලය හා කේක් කපා ආහාරයට ගෙන එය ඡායාරූප ගෙන චෙක්පත ප්‍රදානය කිරීමට සූදානම් වන ආයතනයට යැවිය යුතු බව පවසා තිබේ.

ඒ අනුව එම යෝජනාවට නිවැසියන් එකඟ වී ඉන් පසුව කේක් කපා ආහාරයට ගැනීමටත් බීම පානය කිරීමටත් කටයුතු කර ඇත.

නමුත් නිවෙස් හිමි හෘද රෝගී කරණවෑමියා කුඩා කේක් කෑල්ලක පමනක් රස බලා බීම පානය කර නොමැති බව කියයි.

එසේ සිටියදී මෙම නාඳුනන ආගන්තුකයන් රැගෙන ආ කේක් හා බීම පානය කළ තම බිරිඳ, දියණිය පියා හා මව සුළු වේලාවකින් සිහිසුන්ව ඇද වැටෙනු දුටු මෙම නිවෙස් හිමි කරණවෑමියා කඩිනමින් පුත්තලම නගරයේ රැකියාවක නිරත දියණියට ජංගම දුරකථනයකින් නංගී වැටුනා යැයි පමනක් පවසා ඇති බවත් ඒ සමගම මෙම කරණවෑමියාද සිහිසුන්ව ඇද වැටී ඇති බව කියයි.

මෙම තැනැත්තා දියණියට දුරකථන ඇමතුම ලබා දීමෙන් පසු කලබල වූ නිවසට පැමිණ සිටි ආගන්තුක සැකකරුවන් දෙදෙනා කඩිනමින් නිවසින් පැන ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

තම පියා ලබා දුන් දුරකථන ඇමතුමෙන් පසු කිසිදු පිළිතුරක් පියාගෙන් නොලැබීමෙන් කලබලයට පත් වැඩිමහල් දියණිය කඩිනමින් කුලී ත්‍රිරෝදයක නැගී නිවෙසට පැමිණ ඇති අතර ඒ වන විට නිවසේ සියලු දෙනාම සිහිසුන්ව ඇද වැටී සිට ඇත. ඉන් පසුව අසල්වැසියන්ට කෑගසා මෙම සියලු දෙනා පුත්තලම රෝහලට රැගෙන යෑමට ඇය කටයුතු කර ඇත.

නමුත් වැඩිමහල් දියණිය නිවසට පැමිණි විට පිටස්තර කිසිවකු නොසිටි බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

පොලිස් පරීක්ෂණවලදී මේ වන විට තහවුරු කර ගෙන ඇත්තේ මෙම නිවස කොල්ලකෑම හෝ වෙනත් අරමුණකින් මෙම සැකකරුවන් දෙදෙනා පැමිණ ඇති බවයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පස් දෙනා අතරින් 86 හැවිරිදි පියා හා 84 හැවිරිදි මව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment