වෙන අයට ඇඟිල්ල දික් කරන්න කලින් කබඩි සභාපති මුලින්ම තමන්ගේ චෝදනා අහවර කර ගන්න – ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ

306

* ගුවන් හමුදාපති ගෝල්ෆ්  තරගාවලිය මෙම මස 21 වැනිදා

 ජාතික කබඩි ශුරතාවලියට කණ්ඩායමක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව ගුවන් හමුදා කබඩි සම්මේලනයට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට පෙර කබඩි සම්මේලනයේ සභාපතිවරයා තමන්ට සහ සම්මේලනයේ සාමාජිකයන්ට එරෙහිව ඇති පැමිණිලි අවසන් කර ගන්නා ලෙසට සිහිපත් කර සිටින බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ (12 දා) ප‍්‍රකාශ කළේය.

 ජාතික කබඩි ශුරතාවලියට ගුවන් හමුදාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව ගුවන් හමුදාවට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවට ජාතික කබඩි සම්මේලනයේ සභාපතිවරයා විසින් සිදු කරනු ලැබ ඇතැයි පැවසෙන ප‍්‍රකාශය පිළිබඳව මාධ්‍ය විසින් නඟන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුවන් හමුදාපතිවරයා එසේ පැවසීය.

 ගුවන් හමුදා කබඩි සම්මේලනයට විරුද්ධව පරීක්ෂණයක් පවත්වනවා නම් කී‍්‍රඩා ඇමැතිවරයාට හෝ කී‍්‍රඩා අමාත්‍යාංශයට එවැනි පරීක්ෂණයක් පැවැත්විය හැකි බවත් එක් එක් සම්මේලන වලට අපට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය නොහැකි බවත් ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

 ‘‘අපට විනය පරීක්ෂණ පවත්වන්නට පෙර තමන්ට ඇති විනය පරීක්ෂණ අවසන් කර ගත්තා නම් හොඳයි. කබඩි සම්මේලනයේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට විරුද්ධ පැමිණිලි රාශියක් තියෙනවා. ඒවා අවසන් කර ගෙන එන්න. ඊට පස්සේ අපට එරෙහිව පරීක්ෂණ පැවැත්වුවොත් තමයි හොඳ’’ යැයි ගුවන් හමුදා මූලස්ථානයේ ඊයේ (12 වැනිදා* පැවැති මාධ්‍ය හමුවේදී ගුවන් හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

 ජාතික කබඩි ශුරතාවලියට ගුවන් හමුදාවෙන් කී‍්‍රඩකයන් යොමු නොකිරීමට ගත් තීරණය සාමුහික තීරණයක් බවත් ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය ලෙස මිසක් ගුවන් හමුදාවෙන් තනි තනි කී‍්‍රඩකයන්

 තරගාවලි සඳහා ඉදිරිපත් නොකරන බවත් ගුවන් හමුදාපතිවරයා කීය.

 කී‍්‍රඩකයන්ගේ විනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවත් එහි වගකීම ගුවන් හමුදාව සතු නිසා ජාතික කබඩි ශුරතාවලියට කී‍්‍රඩකයන් වෙන් වෙන් වශයෙන් යොමු කිරීමෙන් වැළකී සිටි බවත් ගුවන් හමුදාපතිවරයා පැවසීය.

 ගුවන් හමුදාව ලෙස රටේ ජාතික ආරක්ෂාවට කැප වී කටයුතු කරනවා මෙන්ම කී‍්‍රඩාවට ද අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් මාර්තු 02 වැනිදාට යෙදෙන ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් ඊයේ (12 දා* පැවැති මාධය හමුවේදී ගුවන් හමුදාපතිවරයා කීය.

 මේ අතර ගුවන් හමුදා පිරිමි පාපැදි සවාරිය මාර්තු මස 04 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වෙන බව ද මාර්තු 04 වැනිදා කොළඹ සිට පුත්තලමට ද, මාර්තු 05 වැනිදා පුත්තලම සිට දඹුල්ලට ද, මාර්තු 06 වැනිදා දඹුල්ල සිට කටුනායක දක්වා ද පාපැදි සවාරිය පැවැත්වෙන බවත් ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

 ගුවන් හමුදා පිරිමි පාපැදි සවාරිය තරගකරුවන් 180 කින් සහ කිලෝමීටර් 400 කින් යුක්ත වන අතර කිලෝමීටර් 105 කට සීමා වී ඇති කාන්තා පාපැදි තරගය සඳහා කී‍්‍රඩිකාවන් 50 ක් පමණ පුත්තලම සිට කටුනායක දක්වා ධාවනයේ නිරත වීමට නියමිත බවත් ගුවන් හමුදාපතිවරයා කීය.

 ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු  තරගාවලිය ජුලි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා මීගමුවේදීද පැවැත්වීමට නියමිත වේ.

 ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2022 ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරගාවලිය, මෙම මස 21 වන දින සිට 23 වන දින දක්වා ති‍්‍රකුණාමලය වරායට සමීප චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇති බවත් ගුවන් හමුදාපතිවරයා කීය.

 ගුවන් හමුදාව විසින් 09 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 100 දෙනකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

 ගුවන් හමුදාපති කුසලානයට අමතරව තරගකරුවන් පිළිවෙළින් කාන්තා සහ පිරිමි කාණ්ඩයන්ට අයත්ව දක්ෂතම ති‍්‍රවිධ හමුදා සේවා කී‍්‍රඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරග වැදීමට නියමිත අතර මෙම තරගාවලියේ ජයග‍්‍රහක ජයග‍්‍රාහිකාවන් සඳහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය මෙම මස 22 වන දින ගුවන් හමුදාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

 මෙම වසරේ ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් තරගාවලිය සඳහා ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනයේ නියෝජ්‍ය සභාපති නවීන් පීරිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ති‍්‍රකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන ගුවන් හමුදාපති කුසලාන ගෝල්ෆ් තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා අනුග‍්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය භාග්‍යයක් කොට සලකන බවයි.

 කුෂාන් සුබසිංහ
 ඡායාරූප නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment