පළමු කාර්තු දෙකේ මැණික් විකුණලා ඩොලර් මිලියන 331ක් ලැබුවා – මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා

68

අපනයන ඉලක්කය ඩොලර් බිලියනයක්: ඒක අපට කරන්න පුළුවන්

රේගු වංචා තොරතුරු දෙන අයට තෑගි දෙනවා – රේගු අධ්‍යක්ෂ සීවලී ආරුක්ගොඩ

මෙම වසරේ පළමු කාර්තු දෙකේ දී සිය ආයතනය මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 331ක ආදායමක් මෙරටට හිමි කර දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා මහතා ඊයේ (01 වැනිදා) සඳහන් කළේය.

එය සියයට 33% ක අපනයන සංවර්ධන වේගයක් බවත් එය මෙරට අනෙකුත් අපනයන ක්‍ෂේත්‍රයන් හා සංසන්දනය කිරීමේ ඉහළතම වර්ධන වේගය බවත් මහ බැංකු වාර්තා සඳහන් කර ඇති බවත් හෙතෙම කීවේය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා මහතා ඊයේ (01 වැනිදා) එම අදහස් පළ කළේ කොල්ලුපිටියේ පිහිටි එම අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා මහතා මෙසේය කීවේය.

මෙම වසරේ ඔවුන්ගේ අපනයන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන එකක්. එය අපට කළ හැකි තත්ත්වයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් අප වෙත ලබාදී තිබෙනවා. එය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විට අප සකසමින් තිබෙන්නේ.

රටේ මහජනතාවගේ සම්පතක් වන මැණික් සම්පත හොර රහසේ රටින් පිටමං කිරීම තුළ රටට හිමිවිය යුතු විශාල ධනයක් අහිමි වෙමින් තිබෙනවා. එවැනි නීති විරෝධී කටයුතුවල නියැළෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ හරි මාර්ගයෙන් ගොස් මැණික් අපනයනය කරන ලෙසයි. ඒ සඳහා අප හඳුන්වා දී තිබෙන මාර්ගය ඉතා සරලයි. අපනයන මධ්‍යස්ථානයක් තුළින් මැණික් අපනයනයේදී අප අය කරනු ලබන්නේ සියයට 0.25 ක් වැනි සුළු මුදලක් පමණයි. එම නිසා නිසි ක්‍රමවේදයන් ඔස්සේ මැණික් අපනයනය කර රට මේ මොහොතේ වැටී ඇති ආර්ථික තත්ත්වයෙන් මුදා ගැනීමට සහාය වන සෑම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වසර තුළ අප මිලියන 144ක් ආදායමක් බලාපොරොත්තු වුවත් මේ වන විට අප මිලියන 288 ක ආදායමක් ලබා ගෙන තිබෙනවා. එය සියයට දෙසීයක වර්ධනයක්.

මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුග්ගොඩ මහතා –

පසුගිය තිස් වැනිදා මෙතෙක් රටින් හොර රහසේ පිටමන් කිරීමේ දී අත්අඩංගුවට ගත් විශාලතම මැණික් ගල් තොගය වන කෝටි 29.1 ක් වටිනා මැණික් ගල් තොගය අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වුණා. ඒ සන්තකයේ තබාගෙන සිටියේ කාන්තාවක්. ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචි කාරිණියක්. ඇය මැණික් කර්මාන්තයට සම්බන්ධ අයෙක් නොවෙයි.

ඇය පිළිබඳ විමර්ශන කටයුතු මධ්‍යම විමර්ශන අංශය මේ වන විට සිදු කරමින් පවතිනවා. වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙන නිසා ඇය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

රේගු වංචා සම්බන්ධයෙන් තොරතුරු දෙන අයවලුන් වෙත ත්‍යාග මුදල් ලබාදීමට අප කටයුතු කරනවා. ලබා දෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීමක් කර එහි වටිනාකම රාජසන්තක කර, විකුණා දමා හෝ දඩ මුදල් අය කර ගැනීමක් සිදුවුවහොත් එම මුදලින් තුනෙන් එකක් ඔත්තුකරු වෙත ලබාදීමට අප කටයුතු කරනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment