කිත්තම්පහුව ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට – මහ මොළකරු බ්ලූමැන්ඩල් රවී

439

ව්‍යාපාරිකයා සමග ඇසුරු කර මඟට එක්කන් එන්න කියා රවීගේ ගෝලයෙක් සල්ලි දුන්නා – සැකකාරියක් කියයි

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා රෙදි පිළි ව්‍යාපරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඊට ආධාර හා අනුබල දුන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාතේ දකුණු දිසා අපරාධ කොට්ඨාසය පෙරේදා (31 දා) සමත් විය.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඝාතනයට ලක්වූ අය සමග සමීප සම්බන්ධතාවක් පවත්වා තිබූ බව හෙළිවිණැයි ද එම කොට්ඨාසය කියයි.

මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ මෝදර පදිංචිව සිටි තමීන් මොහොමඩ් නමැති 47 හැවිරිදි අයෙකි. ඔහු ත්‍රිරෝද රථ රැකියාවක මෙන්ම රෙදිපිළි ව්‍යාපාරයක ද නිරත වූ අයකු බවට ද හෙළිවී ඇත.

මෙම ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 33 හැවිරිදි කොළඹ 15 පදිංචි සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බ්ලූමැන්ඩල් රවී’ නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවූ බව අපරාධ කොට්ඨාසයට පවසා තිබේ.

අදාළ රෙදිපිළි ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් ආරම්භ කරගෙන ඔහු කිසියම් ස්ථානයකට රැගෙන එන ලෙස ‘බ්ලූමැන්ඩල් රවී’ නමැත්තාගේ ගෝලයකු හරහා මුදල් ලබාදී ඇයට පවසා තිබේ.

ඒ අනුව තමන් අදාළ මරණකරුව වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයට කැඳවාගෙන ආ බව ඇයගෙන් අපරාධ කොට්ඨාසය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

ඒ අනුව ඇයගෙන් තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ කාන්තාවට මුදල් ලබාදුන් බව කියන 41 හැවිරිදි සැකකරු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්ද, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්‍ෂ 17ක මුදලක්ද, ජංගම දුරකථන 9ක්ද පොලිස් භාරයට ගනු ලැබීය.

‘බ්ලූමැන්ඩල් රවී’ නමැත්තාගේ කීමට අදාළ කාන්තාවට සහ වෙඩික්කරුවන්ට මුදල් ගෙවා මෙම ඝාතනය සිදුකළ බව අදාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසී යැයි එම කොට්ඨාසය කියයි.

‘බ්ලූමැන්ඩල් රවී’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් පරිහරණය සිදුකරන්නේද මෙම පුද්ගලයා බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment