පනත් තුනක් වෙනස් කර මැතිවරණ විශේෂ විධිවිධාන පනත ගෙනෙයි

110

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ විශේෂ විධිවිධාන පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ පනත, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පනත් යන පනත් සංශෝධනය කරමින් මැතිවරණ විශේෂ විධිවිධාන පනත ලෙසින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

මැතිවරණයක් සඳහා තරග වදින දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් මෙන්ම අපේක්‍ෂකයන් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන විශේෂිත ඡන්දායකයන් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම මෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මාධ්‍ය උපමාන උල්ලංඝනය කළහොත් නෛතික ක්‍රියාමාර්ග ගත හැකිවන අන්දමින් නව පනත ගෙන ඒමට නියමිතය. මෙම මැතිවරණ පනත් සංශෝධනය කිරීම සඳහා ඉකුත් 2022 වසරේ දෙසැම්බර් 12 වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් එකී සංශෝධන සහිතව මේ වන විට නව මැතිවරණ පනත් සකස් කරමින් සිටින අතර එකී සියලු පනත් එක් පනතක් ලෙසින් පැවතීම යෝග්‍ය බව පෙනී යෑම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත.

එකී සියලු සංශෝධන සහිතව මැතිවරණ විශේෂ විධිවිධාන නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට පෙරේදා (12 වැනිදා) කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මැතිවරණ පනතක් ගෙන එනු පිණිස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධාන බලාත්මක වීමත් සමඟ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පනත්වලට අනුශාංගික සංශෝධන සිදු කිරීම පිණිස ඉකුත් 2023 ජනවාරි 23 වැනිදා කැබිනට් අනුමැතිය ලබා දෙනු ලැබිණි.

ඒ අනුව නීති කෙටුම්පත සම්පාදක විසින් සකස් කරනු ලැබූ අදාළ සංශෝධන සහිත පනත් සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබෙන බැවින් ඒවා ගැසට් පත්‍රයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment