එල්පීඑල් හෙට ඇරැඹේ

268

පළමු තරගය යාපනය සහ කොළඹ අතර

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්පීඑල්) තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර හෙට (30 වැනිදා) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල නායකත්වය ලබා දෙයි.

එම කණ්ඩායම් දෙක පිළිවෙළින් පසුගියවර ශූරයන් සහ අනුශූරයන් වේ. තරගාවලියට සහභාගි වීමට නියමිත විදෙස් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මේ වන විටත් දිවයිනට පැමිණ තිබෙන අතර ඔවුන් පසුගිය දින දෙක තුළ පටන් පුහුණුවීම් ආරම්භ කර තිබේ.

මෙවර පැවැත්වෙන්නේ එල්පීඑල් 4 වෙනි තරගාවලිය වන අතර පසුගිය අවස්ථා තුනේදීම ශූරයන් බවට පත්වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් සහභාගි වන අතර මූලික වටය සහ අවසන් වටය ලෙස අදියර දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ.

හෙට ආරම්භ වන මූලික වටය අගෝස්තු 15 වැනිදා අවසන් වන අතර අවසන් වටය අගෝස්තු 17 වැනිදා ආරම්භ වේ. මූලික වටයට අයත් තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිත අතර අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මූලික වටයේදී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8 ක් තරගාවලියට ඇතුළත් වේ.

මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන හතර හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් වටයට සුදුසුකම් ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙක ඔවුනොවුන්ට එරෙහිව තරග වදී. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට තේරී පත්වේ. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි තැන හිමිකර ගන්නා කණ්ඩායම් දෙක ඔවුනොවුන්ට එරෙහිව තරග වදින අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පළමු තරගයෙන් පරාජය වන (ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටි) කණ්ඩායම සමග තරග කරයි. ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි ක්‍රමය යටතේ තෝරා ගනු ලැබූ අතර එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ තේරී පත් වූයේය.

දේශීය ක්‍රීඩකයන් 204 දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයන් 156 දෙනෙක් එම වෙන්දේසියට අයත් වූහ.

මෙවර තරගාවලිය සඳහා වෙන්දේසි ක්‍රමය පැවැත්වීමටත් පෙර පහත සඳහන් විදෙස් ක්‍රීඩකයෝ ඒ ඒ කණ්ඩායම්වලට සෘජුවම සුදුසුකම් ලබා සිටියහ.

බාබර් අසාම් සහ නසීම් ෂා කොළඹ කණ්ඩායමටත් (කළම්බු ස්ට්‍රයිකර්ස්), මැතිව් වේඩ් සහ ලුංගි න්ගිඩි දඹුල්ල කණ්ඩායමටත් (දඹුල්ල අවුරා), ෂකීබ් අල් හසන් සහ තබ්‍රේස් ශම්සි ගාල්ල කණ්ඩායමටත් (ගාල්ල ටයිටන්ස්), ඩේවිඩ් මිලර් සහ රහ්මනුල්ලා ගුර්බාස් යාපනය කණ්ඩායමටත් (ජැෆ්නා කිංග්ස්), මුජිබුර් රහමන් සහ ෆකර් සමාන් මහනුවර කණ්ඩායමටත් (බී-ලව්) මෙම වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වූ විදෙස් ක්‍රීඩකයෝ වෙති.

මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කොළඹ කණ්ඩායමටත්, කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායමටත්, දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගාල්ල කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ සහ තිසර පෙරේරා යාපනය කණ්ඩායමටත්, වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමටත් එසේ වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් හා එක්වූ දේශීය ක්‍රීඩකයෝ වෙති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment